තවද: උපෙක්‍ෂාව නැති කල්හි සියලු සත්ත්‍වයන් විසින් කරනලද විප්‍රකාරය සිතට විකාර උපදවන්නේය. චිත්තවිකාරය ඇතිකල්හි දානශීලාදි බෝධිසම්භාර ධර්මයන්ගේ ලැබීමෙක්ම නැතැයි කියාද, මෙත්තා-කරුණා-මුදිතා-සඞ්ඛ්‍යාත ස්නේහයෙන් පිනවන ලද සිත්හි උපේක්‍ෂාව නැතිව බෝධිසම්භාරයෙන් පිරිසුදු බවෙක් නොවන්නේය යි කියාද, උපේක්‍ෂා නැත්තේ බෝධිසම්භාරයෙහි කුශලසම්භාරය හා එහි විපාකය හා සත්ත්‍වයන්ට වැඩ පිණිස පිරිනමන්ට අසමර්ථ වන්නේය යි කියාද, උපේක්‍ෂාව නැතිකල්හි දායක-ප්‍රතිග්‍රාහක දෙදෙනා කෙරෙහි වෙනසක් නැතිකොට වස්තුපරිත්‍යාගය කරන්ට නොපිළිවන් වන්නේයයි කියාද, උපේක්‍ෂාව නැති කල්හි ජීවිතප්‍රවෘත්තියට සුදුසු වස්තූන්ගෙන් ජීවිතයෙහිත් අන්තරාය සිහිනොකොට සිල්පිරිසිදු කරන්ට නොපිළිවනැයි කියාද, උපේක්‍ෂා වශයෙන්ම වස්තුයෙහි ඇල්ම නොඇල්ම සහනය කරන්නාහටම නෛෂ්කර්මය බලය සිද්ධවන හෙයින්ද, උත්පත්ති හෙයින් බැලීම් වශයෙන්ම බෝධිසම්භාර කෘත්‍යය සමෘද්ධවන හෙයින්ද, අධිකවීර්යය ඇත්තාහට උපේක්‍ෂා නො කිරීමෙහි වීර්යකෘත්‍යය ඔලිනව කරණ හෙයින්ද, උපෙක්‍ෂාවෙන් යුක්තයහටම ක්‍ෂමාචින්තාව සම්භවන හෙයින්ද, උපෙක්‍ෂා වශයෙන්ම සත්ත්‍වසංස්කාරයන් නො වරදවා කියන හෙයින්ද අෂ්ටලෝකධර්මයන්ට උපෙක්‍ෂාවීමෙන් තමා විසින් සමාදන්වන ලද සියලු ධර්මයෙහි නිශ්චලපිහිටීම සිද්ධවන හෙයින්ද, පරෝපකාරාදියෙහි අනාභොග වශයෙන්ම මෛත්‍රී පාරමිතාව සිද්ධවන හෙයින්ද, සියලු බෝධිසම්භාරධර්මයන්ගේ සමාදානය-අධිෂ්ඨානය-පරිපූර්ණය-නිෂ්පත්තිය යන මේ සියල්ල උපෙක්‍ෂානුභාවයෙන්ම සමෘද්ධවන්නේය යන මේ ආදි ක්‍රමයෙන් උපෙක්‍ෂාපාරමිතාව ප්‍රත්‍යවෙක්‍ෂා කටයුත්තේය.
මෙසේ අපරිත්‍යාග පරිත්‍යාගයෙහි ක්‍රමයෙන් ආදීනවානශංස ප්‍රත්‍යවෙක්‍ෂා කිරීම දානාදි සියලු පාරමිතාවන්ට ප්‍රත්‍යයෙකැයි දතයුත්තේය.