ඒ බුදුන් දක්නෝ

මෙයින් පිටත් අවශේෂ සත්ත්‍වයන්ගෙන් දුගී-මගී සත්ත්‍වයන් හා මහණ බමුණන්ට දන්දුන්නෝ ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ දකිත්මය. පන්සිල් රක්‍ෂාකළෝ දකිත්මය. පෙහෙවස් රක්‍ෂාකළෝ දකිත්මය. බඹසර රක්‍ෂාකළෝත් දකිත්මය. දාගැප් කරවූවෝ දකිත්මය. බෝධිපිහිටුවූවෝ දකිත්මය. පුෂ්පාරාම, ඵලාරාම කැරැවූවෝ දකිත්මය. උයන්-පොකුණු කැරැවූවෝ දකිත්මය. ඒදඬු ලැව්වෝ දකිති. ගොනටු කැරැවූවෝ දකිති. අම්බලම් කැරැවූවෝ දකිති. මං හෙලිකැරැවූවෝ දකිති. ධර්මශාලා-භෝජනශාලා කැරැවූවෝ දකිති. ලිං කැණැවූවෝ දකිති. පිනපැන තුබුවෝ දකිති. බුදුන්සසුන ඇතිකරනට ඉවහල්වුවෝ දකිති. ධර්මකථිකයන්ට මණ්ඩප කරවා පිළිගැන්වූවෝ දකිති. ධර්මාසන සැරහුවෝ දකිති. දණ්ඩාසන-කබලි-බණවසුන් දුන්නෝ දකිති. විජිනිපත්‍ර අතට ඔසවා දුන්නෝ දකිති. බණකියනා ගෙයි වියන් බැන්දෝ දකිති. වියනේ මලලොඹු දුන්නෝ දකිති. රන්මල්-රිදීමල් ආදිය පිදුවෝ දකිති. සුවඳමල්-සුවඳසුණු පිදුවෝ දකිති. සුවඳදුම්ලූවෝ දකිති. බණකියන ගෙයි පහන්දැල්වූවෝ දකිති. බණට අඬගෑවෝ දකිති. බණකියන කල සාධුකාර දුන්නෝ වෙති. බණකියන්නන් පයසේදූවෝ දකිති. මේ සියලු වතාවත් කොට නිමවා බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩාගෙනවුත් ධර්මාසනයේ හිඳුවා සකස්කොට බණ පැවැත්වූවෝ ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ දකිත්මය.

තවද ආමිසදාන, ධර්මදානාදීන් සඞ්ඝයා වහන්සේට පූජාසත්කාර කළෝ ඒ මෛත්‍රෙය සර්වඥයන් දකිත්මය. මවුන්ට උපස්ථාන කළෝ දකිති. පියන්ට උපස්ථාන කළෝ දකිති. කුලදෙටුවන්ට උපස්ථාන කළෝ දකිති. ලාබත්-පොහෝබත්-අවදිබත් දුන්නෝ දකිති. දසපින් කිරියවත් පිරුවෝ දකිති. සඞ්ඝාරාම කැරැවූවෝ දකිති. පිළිමගෙවල් කැරැවූවෝ දකිති. පිළිම කරවා ඇස්තැබ්බවූවෝ දකිති. බණපොත් ලියවා දුන්නෝ දකිති.

තවද ඒ මෛත්‍රෙය සර්වඥයන් දකුම්හයි පතා යටත්පිරිසෙයින් එකමල්මිටක්, එකපහනක්, එකබත්ආලෝපයක් පමණ දන් දුන්නෝද ඒ මෛත්‍රෙය සර්වඥයන්වහන්සේ දකිත්මය. අනුන්කළ පින් සමසිතින් සතුටුව අනුමෝදන්වූවෝත් ඒ මෛත්‍රෙය සර්වඥයන්වහන්සේ දකිත්මය. තවද ඒ බුද්ධොත්පාදයෙහි උපදමෝවයි පතා කුසල් කළ දිව්‍යමනුෂ්‍යයෝ ඒ මෛත්‍රෙය සර්වඥයන් වහන්සේ දකිත්මය. ඒ දිව්‍යමනුෂ්‍යයෝද, මෛත්‍රෙය සර්වඥයන්ගෙන් ධර්මය අසා මාර්ගඵලයට පැමිණෙන්නාහුය. මාර්ගඵලයට පැමිණෙන්ට අසමර්ථ කෙනෙක් ස්වර්ගයෙහි උපදනාහ. එසේ හෙයින් නුවණැත්තාවූ සියලු සත්ත්‍වයෙනි! පඤ්චශීල-දශශීල-කෝටියක් සංවරශීලාදි වශයෙන් ශීලසංරක්‍ෂණය කෙරෙමින් උතුම්වූ බඹසරවස් රක්‍ෂාකරව.

දන්දෙන්නාවූ සත්ත්‍වයෝ බොහෝ ජනයාට ප්‍රියවන්නෝය. ඔවුන් බොහෝ ජනයෝ භජනය කෙරෙති. කීර්තියටත් පැමිණෙන්නෝය. ඔහුගේ යසස් වැඩෙන්නෝය. මකුත් නොවී කරත් නොබා සිව්වණක් පර්ෂද් මධ්‍යයට වදනාහ. විසාරදවන්නාහ. මසුරු නො වන්නාහ. බුහුටි වන්නෝය යන මෙතෙක් ගුණ ඇති ඓහලෞකික-පාරලෞකික සැපත් එළවන්නාවූ කෙළවර අමෘතමහානිර්වාණය සාදා දෙන්නා වූ මහාර්ඝ වූ අන්න-පාන-වස්ත්‍ර-යාන-මාලා-ගන්‍ධ-විලෙපන-ශය්‍යාවසථ-ප්‍රදීපෙයසඞ්ඛ්‍යාත දශවිධ දානවස්තූන් ශ්‍රමණබ්‍රාහ්මණාදීන් විෂයෙහි පිහිටි වී මෙන් මහදන් පවත්වව. අටවක-තුදුස්වක-පසළොස්වක සමාදන්ව රැක්කයුත් උපොෂිතශීලය සමාදන්ව පෙහෙවස් රක්‍ෂා කරව. තමාය-තමාට හියෝය-මධ්‍යස්ථයෝය-වෛරීය යන චතුර්විධ සත්ත්‍වයන් කෙරෙහි සියලු සත්හු සුවපත් වෙත්වයි, නිදුක් වෙත්වයි, නීරෝගී වෙත්වයි, තමන් තමන්ගේ ධනධාන්‍ය සම්පත්තියෙන් නො පිරිහී සැපසේ ආත්මපෝෂ්‍යය කෙරෙත්වයි යන මේ ආදි ක්‍රමයෙන් මෛත්‍රීභාවනා කරව. අප්‍රමාදව ප්‍රතිපත්තියෙහි ඇලී වාසය කරව. හැමකලම කුසල්කිරීමෙහි පසු නො බැස බලවත් ඇලුම් ඇතිව කුසල් කරව.

තවද කුශලක්‍රියාවට ආකරවූ බුද්ධොත්පාදකාලයෙහි දාන-ශීල-භාවනාදි අනෙකප්‍රකාර කුසල් රැස්කරව. ඒ කළාවූ කුසලයෙන් අනෙකප්‍රකාරවූ දුක්කෙළවර කොට අමෘතමහා නිර්වාණයට පැමිණෙවයි, අවවාද අනුශාසනා කොට දේශනාව නිමවා වදාළසේක. ඒ ධර්මදේශනාවසානයෙහි කෙළලක්‍ෂයක් දිව්‍යමනුෂ්‍යයෝ දීපඞ්කරසර්වඥයන්වහන්සේ ආදිකොට ඇති මෛත්‍රෙය සර්වඥයන්වහන්සේ කෙළවරකොට ඇති සවිස්සක් පමණ සර්වඥවරයන් වහන්සේගේ බුද්ධවංශය අසා අර්හත්ඵලයෙහි පිහිටියාහ. අසඞ්ඛ්‍යයක් දිව්‍යමනුෂ්‍යයෝ සෝවාන් සෙදගැමි අනගැමි යන තුන්මඟ තුන්ඵලයට පැමිණියාහුය.