මෙසේ මෙබඳු සත්ත්‍වයන්ගේ වාසනාදෝෂ හා අන්‍යවුත් සියදහස්ගණන් සත්ත්‍වයන්ගේ වාසනාදෝෂ මෙන් සත්පුරුෂය! තාගේ වාසනාදෝෂය දිව්‍යමනුෂ්‍යපර්ෂද් මධ්‍යයෙහි අනාගතයෙහි උපදනා සර්වඥවරයෝ ප්‍රකාශකොට කියන්නාහ. ඒ තාගේ වාසනාදෝෂය දෙවි මිනිස් පිරිස්මැද පහළ කොට කීමෙන් තට මහත්වූ නින්දා වන්නීයයි අවවාද කරන සේක.
තවද සොඳුරු වූ සත්පුරුෂය! සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සුපායාස නැමැති ජලයෙන් සම්පූර්ණ වූ ජාති-ජරා-ව්‍යාධි-මරණ නැමැති මහත්වූ රළපතර බිඳුනාවූ ලෝභ-ද්වේෂ-මෝහ-මද-මාන-මාත්සර්යාදි චණ්ඩමත්ස්‍යසමූහයාගෙන් ගැවසීගත්තාවූ ගෘහරාක්‍ෂසීයයි කියන ලද ස්ත්‍රීන්ට වාසස්ථාන වූ නොහොත් මාතුගාම නැමැති උදකරාක්‍ෂසයන් ගෙන් ගැවසී ගත්තාවූ තෘෂ්ණා නැමැති ගංගාජලය වැදීමට පිහිටවූ රූප ශබ්දාදි පඤ්චකාම කොට්ඨාස නැමැති සලාවැටුම් ඇති ඉතා ගැඹුරු වූ පරතෙර දැක්ක නොහැකි සංසාරසාගරයෙහි ගැලෙමින් කාමවිතර්කාදි නැමැති තරඞ්ගවේගයෙන් පහරණා ලදුව, ඇවිදිනාවූ තෝ දැන් ශීල-සමාධි-ප්‍රඥා-විමුක්ති-විමුක්තිඥාන දර්ශනාදි කෙහෙල් සුවඳ හැල්වී-මීඅඹ-තල්-පොල් ආදිවූ ඵලවෘක්‍ෂයෙන් සමෘද්ධ වූ සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම නැමැති රත්නාකරයට වැද දිවසැපත් නිවන් සැපත් දෙන්නාවූ සිත්කලුවූ මාගේ ශාසන නැමැති දිවයිනට පැමිණ උතුම් බලවත් පිහිට ලැබගෙන සංසාර නැමැති මුහුදින් නැගී කෙලෙස් නැමැති සැඩදිය වතුරෙන් ගොස් අපාය නැමැති වඩබාමුඛයෙහි නොවැටෙන පිණිස බඹසරවත් රක්‍ෂා කරව.
තවද සත්පුරුෂය! තෝ සංසාර නැමැති රසාතලයට බට අවිද්‍යා නැමැති මහමුල් ඇති, මහත් ඝනසාර වූ සංස්කාර නැමැති කඳ ඇති, භවාග්‍රය දක්වා නැඟි ජරා මරණ නැමැති අත් ඇති, සියලු ලෝකයෙහි විසිර සිටි තෘෂ්ණා නැමැති අතුපතර ඇති, රූපාදි පඤ්චකාම විෂය නැමැති වසමල් පිපෙන්නාවූ දුක් නැමැති විෂඵලයෙන් භරිත වූ කර්මවර්තක්ලේශව තිත-විපාකවර්තසංඛ්‍යාත ත්‍රෛභූමිකවර්ත නැමැති විෂවෘක්‍ෂය කර්මස්ථාන මනස්කාර නැමැති පොරොවින් කපා සංක්‍ෂේපයෙන් සතරමහාභූතයන්ගේ මනස්කාරයෙන් කඩ කඩ කොට දෙසාළිස් කොට්ඨාසයෙහි විස්තරමනස්කාරයෙන් පළා නාම රූපරිග්‍රහයෙන් කැබලි කැබලි කොට ලැහැලි වපුරා එම නාමරූපධර්මයන්ට ප්‍රත්‍යය පර්යේෂණය කිරීමෙන් මුල් උදුරා අනුපූර්වවිදර්ශනා නැමැති අව්සුළඟින් වියලා අර්හත්ඵලප්‍රාප්ති නැමැති ගින්නෙන් දවාපිය.
එහෙයින් දැන්ම තෝ මදජලයෙන් යුක්තවූ කපොලස්ථල ඇති, ඒ කාරණයෙන්ම වැහෙන්නාවූ මදජල ඇති, භෘඞ්ගනාදයෙන් දොඩමලුවූ මුහුණු ඇති, හස්තියක්හු වජ්‍රාංකුශයෙන් කොටා මුදවා හික්මවන්නාක් මෙන් පඤ්චකාමවිෂයෙහි ලොල් වූ සිතට නුවණ නැමැති වීදුරු එබූ අකුස්සෙන් පැහැර නිග්‍රහ කර, එපරිද්දෙන් චිත්තනිග්‍රහකරන්ට තට ඉතා පිළිවන්ම වන්නේය. හේ කෙසේද? යත්:-
අතීතචිත්තය අතික්‍රාන්තම විය. අනාගතචිත්තය අසම්ප්‍රාප්තවිය. වර්තමාන චිත්තක්‍ෂණයම රක්‍ෂාකර. එසේ එපරිද්දෙන් චිත්තසංරක්‍ෂණය කිරීම තට බොහෝ කලක් හිත සැප පිණිස වන්නේය, යන මේ ආදි ක්‍රමයෙන් අනෙකප්‍රකාරයෙන් අවවාද කොට හිරුරැසින් පුබුදුවන මහපියුමක් මෙන් ඒ සත්ත්‍වයන්ගේ චිත්ත නැමැති පද්මය තමන්වහන්සේගේ අවවාදධර්මදේශනා නැමැති සූර්යරශ්මීන් ප්‍රබෝධ කොට ආකාශයට පැනනැගී ඇසිල්ලකින් මෑත තමන් වහන්සේ වසන්නාවූ ගඳකිළියට වඩනාසේක. එසේ හෙයින් කියනලදි.
“බොධනෙය්‍යං ජනං දිස්වා සතසහස්සෙ පි යොජනෙ,
ඛණෙන උපගන්ත්‍වාන බොධයිස්සති සො ජිනො”යි.