ජම්බුද්වීප ශ්‍රී

මෙසේ කෙතුමතී නම් රාජධානියෙහි ශ්‍රී සමෘද්ධිය දක්වා දැන් ජම්බුද්වීපයෙහි ශ්‍රී සමෘද්ධිය දක්වන්නාවූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ:-

“දස යොජන සහස්සානි ජම්බුදීපො භවිස්සතී

අකණ්ටකො අගහණො සමොසරීතසද්දලො”

යනාදීන් මෙසේ වදාළ සේක.

එසමයෙහි දසදහසක් යොදුන් ජම්බුද්වීපය චොරකණ්ටක විරහිතබැවින් ද, නිල්හීතණ මොළොක් වැලි ආදියෙන් ගැවසීගත් බැවින්ද, පය ඇනෙන්ට නිසි කටු නැති බැවින්ද නිෂ්කණ්ටක වන්නේය. මිථ්‍යාදෘෂ්ටි සමූහයන් නැති බැවින්ද, අලඞ්කෘතොද්‍යානයක් මෙන් සිත්කලු බැවින් ද, කණ්ටක යනාදීන් නැති බැවින්ද, අගහණය. භෙරිතලයක් හා සමානවූ භූමිප්‍රදේශ ඇති බැවින්ද සමතලවන්නේය. රතිඳුගොවුවන් සහිත නිල් මොළොක් සුව පහස් ඇති හීතණයෙන් ගැවසී ගත්තේය.

තවද ඒ ජම්බුද්වීපයෙහි සත්ත්‍වයන්ට අටඅනූවක් රෝග අතුරෙන් ඇසරුජා බඩරුජා ආදිවූ එක්තරා එක්රෝගයෙක් නො වන්නේය. වැළි මොවුන්ට රෝග නම් කවරේද? යත්:-

ඉච්ඡාය-අනසනය-ජරාය යන මේ රෝග තුන වන්නේය. ඒ තුනින් සියලු පෘථිවි මණ්ඩලයෙහි සියලු සත්ත්‍වයන්ට සම්පත් නැත්තේවේදැයි, මුතුමැණික් ආදිවූ උපභෝග පරිභෝග වස්තු පැතීමක් එසමයෙහි නැති බැවින් බත් අනුභව කරන වේලෙහි උපදනා අනුභව කරනු කැමති තෘෂ්ණාව ඉච්ඡාරෝග නම් වන්නේය. අතිමධුර භෝජනය අනුභව කිරීමෙන් ඒ ආහාරානුභවය කරන්නාවූ සත්ත්‍වයන්ට භුක්තාලස්‍යය නිසා නැවත නොකනු කැමති බව උපදවන්නාවූ කායදුර්වලත්‍වය ඇතිව කය තෙමරිකිරීම අනසනරෝග නම් වන්නේය. ආයුකෙළවර වලිත පලිත දන්ත ශෛථිල්‍යාදි වශයෙන් ප්‍රකාශව පෙනෙන්නාවූ ජරාව ජරාරෝග නම් වන්නේය. මෙතුන් රෝගය හැර එසමයෙහි සත්ත්‍වයන්ට අන් රෝගයක් නම් නැත්තේය.

පන්සියක් ඇවිරිදි කුමාරයට පන්සියක් ඇවිරිදි කුමාරිකාව අන්කුලයකින් ගෙනහැර පාවාදීම් වශයෙන් ආවාහ කරන්නාහ.

මෙසේ කරන ලද ආවාහ විවාහ ඇති ස්ත්‍රීපුරුෂයෝ සමග සතුටුව හැමකලම මටසිලුටුබස් ඇතිව ඔවුනොවුන්ට ප්‍රියතෙපුල් බෙණෙමින් කලහ විග්‍රහ නැතිව වාසය කරන්නාහුය.

තවද සියලු පෘථිවිමණ්ඩලයෙහි නැංගාවූ ලතාජාතියද, සිත්කලු වූ නිෂ්කණ්ටකවූ ගහණ නොවන්නාවූ වනලැහැප් රුක් ආදියද, හැමකල්ම පුෂ්පඵලයෙන් සමෘද්ධව සම්පූර්ණ වන්නේය. මුළු පොළොව ඉඹුල්පුළුන් කපුපුළුන් සා මොළොක්වූ පත්ලට සැප උපදවන්නාවූ සතරඟුල් පමණ උසනැගී තෘණජාතිය ඇති වන්නේය. එසමයෙහි සත්ත්‍වයන්ගේ ශරීරයට පීඩාකරන්නාවූ සත්ත්‍වයන් සිතට අනභිප්‍රායවන පමණ සීතයෙක්වත් උෂ්ණයෙක් වත් නොවන්නේය. එක් ජනපදයක වැසිවැස එක්ජනපදයක නො වස්නේද, බිම් තෙමෙන පමණකටවස්නේද, වෑමියර පොකුණුමියර ආදිය බිඳගෙන මහවතුරු මැඬගෙන යන පරිද්දෙන් වස්නේද, කලට නො වස්නේද, නො කලට වස්නේද, විෂමවර්ෂා නම් වෙයි. එසේ නොවැස වැව් පොකුණු ගං හෝ ආදිය පිරෙන පමණක් කොට පසළොස් දවසින් දසදවසින් පස්දවසින් සියලු සත්ත්‍වයන් කා බී සැරසීසුත් පසු මධ්‍යමරාත්‍රියෙහි වස්නා වර්ෂා සමවර්ෂා නම් වෙයි. එසමයෙහි එබඳු සමවර්ෂා වස්නේය. ගේ සෙවෙනි බිඳීම් හා මහරුක් අතුපතර බිඳීම් ආදිය ඇති කොට තදව විෂමව පවන්හැමීම් නැතිවන්නේය. වටාපත් පවන් බදු මඳ මඳ පවන් සත්ත්‍වයන්ගේ ශරීරයට අභිප්‍රාය පමණකට හමන්නේය. හැමකල්හිම හිම-ශිශිර-වසන්ත-ග්‍රීෂ්ම-වර්ෂා-ශරත් යන ෂට්සෘතුව ඒ ඒ කලට අවිරුද්ධව කල්වූ පරිද්දෙන් සමෘද්ධව තිබෙන්නේය. වැව්පොකුණු ගං හෝ කඳුරැලි මහවිල් තටාක හෙප් වළ ආදිය පැන් පිරූ බඳුනක් මෙන් ජලභරිතව සම්පූර්ණව තිබෙන්නේය. ඒ ඒ භූමිප්‍රදේශයෙහි නො තද නො රළු සිනිඳු මටසිලුටු පිරිසිදු ධවල වැලිතැනී තිබෙන්නේය. ඉන් දළ වැලි කලත් ඇට පමණ වන්නේය. සීන්වැලි මුඟැට පමණ වන්නේය. උක්තප්‍රකාර වැලි මුතුකැබලි බඳුය. ඒ ඒ තන්හි විසිර පැතිර තිබෙන්නේය.

චක්‍රවර්ති රජ්ජුරුවන්ට සරහා පිළියෙල කරනලද උතුම් වූ උයන්බිමක් මෙන් සියලු ජම්බුද්වීපයෙහි භූමිප්‍රදේශය සිත්ඇලෙන්ට සුදුසු වන්නේය.

උපභෝග පරිභෝග වස්තුවෙන් හා මනුෂ්‍යාදීන්ගෙන් විශේෂයක් නැතිව අප්‍රසිද්ධවූයේ ගම් නම් වෙයි. උපභෝග පරිභෝගාදියෙන් හා මනුෂ්‍යාදීන්ගෙන් විශේෂ ඇතිව ප්‍රසිද්ධවූයේ නියම්ගම් නම් වෙයි. මෙබඳු ගම්, නියම්ගම්, වස්ත්‍රාභරණ, ධනධාන්‍යාදීන් සම්පූර්ණව හුණවන බටවන පරිද්දෙන් ඝනීභූතව ඒ ඒ තන්හි ඉතා ආසන්නව පිහිටන්නේය. තවද එක්ගමෙක ගෙවල සෙවෙනි පිටින් අනික්ගම ගෙවල සෙවෙනිපිට කුකුළන් පක්‍ෂ ප්‍රහාරකොට ගොස් වැටෙන්ට සුදුසු බැවින්ද, නොහොත් එක් ගමකින් එක්ගමකට කුකුළන් පයින්ම පළායන්ට සුදුසු හෙයින්ද, කුකුළුපියාසරගමැයි, ප්‍රසිද්ධවූ මහත්වූ ගම්, නියම්ගම් ජම්බුද්වීපයෙහි එකල බොහෝ වන්නේය. අවීචිමහනරකය මෙන් ද, නළෙකපුරාලූ තුඹසුණු පරිද්දෙන් ද මනුෂ්‍යයන්ගෙන් අතුරක් නැත්තේය. පිරී තිබෙන්නේය.

තවද ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණාදි චතුර්වර්ණයෙහි ස්ත්‍රීපුරුෂයන්ගෙන් නිරන්තරව ඝනව තිබෙන්නේය. සුවඳ බඩු ආදි නොයෙක් උපකරණයෙන් අතුරුනැතිව පිරී තිබෙන්නේය. පිළීසඹඩම්ආදි නොයෙක් උපකරණයෙන් අවිකලබැවින් වෙලඳුන් අතින් බඩු ගන්නෝ නැත. එසෙයින් වෙළඳුන්ගේ භාණ්ඩයෙහි අගය නැති වන්නේය.

තවද ඒ දඹදිව සියලු සත්ත්‍වයෝ රන්සන්නාහ රන් සැට්ටයෙන් සන්නද්ධව සැරහී අනර්ඝ වූ කුණ්ඩලාභරණ පැළඳ සිරිකන්සිරොජාලා, රන්මාලා ආදියෙනුදු සැරහී සකල ශරීරයෙහි රන්වන්සුවඳැති සඳුන් විලවුන් ගල්වා උතුම් වූ අනර්ඝ කසීවස්ත්‍රයන් හැඳ පෙරව ඇවිදිනාහුය.

තවද ඒ සියලු දඹදිව මනුෂ්‍යයෝ මුක්තාමාණික්‍යාදි දශවිධ රත්නයෙන්ද, ශාලිව්‍රීහ්‍යාදි සප්තවිධ ධාන්‍යයෙන්ද, අඩුවක් නැති බැවින් විපුලවූ වස්ත්‍රාභරණ ධනධාන්‍යාදීන් සමෘද්ධව රාත්‍රින්‍දිනයෙහි අතුරු නැතිව පවත්නාවූ දිව්‍යගන්‍ධර්වයන් හා සමාන විචිත්‍රගන්‍ධර්වනාදයෙන් හා වීණා, වස්කුලල්, කංසතාලම්, සින්තාලම්, අත්තල ආදි නොයෙක් ශබ්දයෙන් පොබයන ලද්දාහු නිර්භයව රොගොපද්‍රවයක් නැතිව හැමකල්හි පඤ්චකාමරතියෙහිත් රාජවිල් ආදි අනෙකප්‍රකාර ක්‍රීඩාවෙහිත් නිරත බැවින් තුටුපහටුව ඔදවැඩී කුල්මත්ව නකත්කෙළි කෙළනාවුන් පරිද්දෙන් උත්සවයෙන් යුක්තව නිරන්තරයෙන් කායික චෛතසික සැපයෙන් යුක්තව වාසය කරන්නාහුය.

තවද ඒ දඹදිව්වැසි සත්ත්‍වයන් අනුභවකරන්ට සුදුසු වූ බත් පූපාපූප රසමස් ආදිය හා බුලත් පුවක් කඩ කස්තුරු කපුරුලම්හ තකුල් ආදිය සුලභ වන්නේය. එසමයට දඹදිව චාතුර්මහාරාජිකදෙවියන්ගේ ආලකමන්‍දා නම් රාජධානිය මෙන්ද, කුවෙර නම් වෙසවුණු රජ්ජුරුවන්ගේ විෂාණා නම් රාජධානිය මෙන්ද, කුරුරට වාසීන්ගේ උත්තරකුරුද්වීපය මෙන්ද, ඉතා සිත්කලු වන්නේය.

තවද එසමයෙහි සියලු ජම්බුද්වීපය ඉන්‍ද්‍රනීල මාණික්‍යමය භූමියක් මෙන් සතරඟල් පමණ උස නැඟි ගිරාවන් නීල්හීතණින් ගැවසී ගත්තේය. හැම කල්හි සුපුෂ්පිතවූ පුෂ්පයන් ඇති වෘක්‍ෂලතා වන ලැහැප් ආදියෙන් ගැවසී ගෙණ කුකුළුපියාසර ගම් නියම්ගම් ආදියෙන් අතුරු නැතිව චොරකණ්ටක විරහිතවූ මිථ්‍යාදෘෂ්ටිසත්ත්‍වයන්ගෙන් ගහණ නොවන්නා වූ රාජධානියෙන් බබලමින් උතුරුකුරු, ආලකමන්‍දා විෂාණා රාජධානි මෙන් පරමරමණීයව සර්වරත්නයෙන් සම්පූර්ණව ජලයෙන් පිරුණු ගං හෝ වැව් පොකුණු ආදියෙන් යුක්තව බොහෝ ඛාද්‍යභොජ්‍ය ලෙය්‍ය පෙය්‍ය මත්ස්‍ය මාංස සුරාපානාදි ආහාරපාන වර්ගයෙන් සුභික්‍ෂව වස්ත්‍රාභරණාදි උපභෝග පරිභෝග වස්තුවෙන්ද, සමෘද්ධව භෙරිශබ්දය මෘදඞ්ගශබ්දය ශඞ්ඛශබ්දය පණව ශබ්දය සම්මශබ්දය තාලශබ්දය හස්තිශබ්දය අශ්වශබ්දය කවබොව යනාදි මේ සියලු ශබ්දයෙන් එකනිර්ඝොෂව එකනින්නාද වන්නේය. සියලු පෘථිවිමණ්ඩලය උත්සවකෙළි කෙළනා පිණිස ඝොෂණය කරන ලද දිව්‍යපුරයක් මෙන්ද, සරහා පිළියෙල කරණලද නන්‍දනවනොද්‍යානය මෙන්ද, පරසතුමදාරාමල් කෙළි නක්කෙළි ආදියෙන් යුක්ත වූ සුධර්මා නම් දිව්‍යසභාව මෙන් ද, ඉතා සශ්‍රීකව සියලු ලෝකෙයහි ශ්‍රී සමෘද්ධිතාක් ගෙනහැර එක් තැනෙක රැස්කොටලූවාක් මෙන් උතුම්වූ ශ්‍රී සෞන්‍දර්යයෙන් අග්‍රප්‍රාප්ත වන්නේය.