පස්වන ප්‍රශ්නය

කවරකෙනකුන් වහන්සේගේ ආරාධනාවෙන් දෙසන ලද්දේ ද? යත්:-

ධම්සෙනෙවිසැරියුත් මහතෙරුන් වහන්සේගේ ආරාධනාවෙන් දෙසනලද්දේය. හේ කෙසේ ද? යත්:-

ඉක්බිත්තෙන් ආයුෂ්මත් වූ ධම්සෙනෙවි සැරියුත් මහතෙරුන්වහන්සේ රජගහනුවර ගිජුකුළුපව්වෙහි වසනසේක් භාග්‍යවත් වූ සර්වඥයන් වහන්සේ කිඹුල්වත් නුවර ආකාශයෙහි රුවන්සක්මනක් මවා එහි සක්මන් කරන්නා දුටුසේක. ඒ බුදුහු කෙබඳු වූ ශ්‍රීසමෘද්ධියෙන් යුක්ත වූ සේක් ද? යත්:- දෙතිස්මහා පුරුෂලක්‍ෂණයෙන් හා අසූඅනුව්‍යඤ්ජනයෙන් බබළන්නා වූ උතුම් වූ ශ්‍රීශරීර ඇති සේක. ශරත්කාලයෙහි සම්පූර්ණ වූ චන්‍ද්‍ර මණ්ඩලය වැනි සේක. අග සිට මුල දක්වා පිපී වැනී ගිය මල් ඇති යොදුන්සියක් උස ඇති පරසතුමදාරා රුක වැනි සේක. අටළොස් රියන් බුද්ධරූපය වටා සිටියා වූ බ්‍යාමප්‍රභාමණ්ඩලයෙන් සශ්‍රීක සේක. ගමන්ගත් උතුම් වූ රුවන්මෙරක් වැනි සේක. සුපිපි පියුමෙන් ගැවැසී ගත්තා වූ පියුම්විලක් වැනි සේක. නොයෙක් රත්නයෙන් විසිතුරු වූ උතුම් රුවන්තොරණක් වැනි සේක. තාරකාරස්මීන් ගැවැසී ගත්තා වූ ආකාශතලයක් වැනි සේක. ඈත මෑත දිවන්නා වූ පනන්නා වූ ෂට්වර්ණ වූ ඝන බුද්ධරස්මිමාලාවන් විහිදුවන සේක. නිරුත්තර වූ බුද්ධශ්‍රීන් හා උපමාවිෂයාතික්‍රාන්ත වූ බුද්ධවිලාශයෙන් බබළන සේක. මෙබඳු වූ බුද්ධශ්‍රීන් විරාජමාන ව සක්මන් කරන්නා වූ ඒ බුදුරජාණන් වහන්සේ දැක මේ සියලු දසදහසක් සක්වළ දිව්‍යබ්‍රහ්මාදීහු රැස්වූහ. මෙ තැන්හි වූකලි මහත්වූ ධර්මදේශනාවක් විය යුතුය. බුද්ධවංශ දේශනාව වූකලි බොහෝසත්ත්‍වයන්ට උපකාරීය. ප්‍රසාදවහය. එසේ හෙයින් මම දශබලධාරී වූ සර්වඥයන් වහන්සේගේ මූලප්‍රණිධානයෙහි පටන් බුද්ධවංශදේශනාව විචාළෙම් වී නම්, යහපත් වන්නේය යි සිතා තමන්වහන්සේගේ පරිවාරභික්‍ෂූන් පන්සියක් දෙනා වහන්සේ හා සමග ආකාශයෙන් ගොස් සර්වඥයන් වහන්සේ සමීපයට එළඹැ නමස්කාර කොට දොහොත් මුදුනෙහි පිහිටුවා සිට මහත් වූ වීර්යය ඇති නරොත්තම වූ සර්වඥයන් වහන්ස! නුඹවහන්සේගේ ප්‍රථමප්‍රණිධානය කෙබඳු ද? කවරකලෙක නුඹවහන්සේ විසින් මේ උතුම් වූ බුදුබව ප්‍රාර්ථනා කරන ලද්දේ දැයි විචාළ සේක. එසඳ අසාධාරණඥාන ඇති සංසාරදුක්ඛාදි වූ සියලුදුක්ඛයන් ප්‍රහීණ කළා වූ භාවනායෙන් වඩනා ලද සිත් ඇති, මිහිරි වූ කටහඬ ඇති, මහර්ෂි වූ ධර්මරාජන් වූ සර්වඥයන් වහන්සේ මේ කල්පයට සාරාසඞ්ඛ්‍යකප්ලක්‍ෂයකින් මත්තෙහි දර්ශනීය වූ මනොඥ වූ අමර නම් පුරෙක් වූයේ ය. යනාදීන් බුද්ධවංශදේශනාව නිමවා, කෙළවර මේ භද්‍රකල්පයෙහි කකුසඳය - කෝණාගමනය - කාශ්‍යපය යන සර්වඥවරයෝ තුන්දෙනෙක් උපන්නාහුය. මම දැන් සතරවැනි ව ගෞතම නම් බුදු වීමි. මතු මෛත්‍රෙය නම් සර්වඥකෙනෙක් ලෝකයෙහි පහළවෙති. අෂ්ටලෝකධර්මයෙන් අකම්ප්‍ය වූ සියලු ලෝකවාසී වූ සත්ත්වයන් කෙරෙහි පතළා වූ කරුණා ඇති, මේ සර්වඥවරයෝ පස්දෙන ම මේ කල්පයෙහි ම පහළවන්නාහයි, අනාගතවංශදේශනාවට අවසර තබා බුද්ධවංශදේශනාව නිමවා වදාළ සේක.