ශ්‍රී ලංකා සාහිත්‍යයෙහි වංශකථාවන්ට ලැබෙන්නේ අද්විතීය ස්ථානයකි. මේ වංශකථා සාහිත්‍යයට පාළි භාෂාවෙන් මෙන්ම සිංහල භාෂාවෙන් ද ලියැවුණු කෘතීන් රැසක් ඇතුළත්ය. විෂය ක්ෂේත්‍රය අනුව වර්ග කළහොත් මේ වංශකථා හා ඓතිහාසික වංශකථා හා ආගමික වංශකථා වශයෙන් පුළුල් ලෙස දෙකොටසකට බෙදා දැක්විය හැකිය. ඓතිහාසික වංශකථා ඇසුරෙන් දීපවංස හා මහාවංස යන ග්‍රන්ථ දෙක ශ්‍රී ලංකා ද්වීපයේත්, ජාතියේත්, එමෙන්ම බුදුදහමේත් වංශකථාව ප්‍රාමාණික ලෙස විස්තර කරන ඉතා අගනා කෘතීන් වශයෙන් ඉතිහාසඥයින්ගේ ප්‍රශංසාවට ලක්ව ඇත.
ආගමික වංශකථා රචනා වී ඇත්තේ බෞද්ධයින්ගේ අතිමහත් ගෞරවපුරස්කෘතභක්ත්‍යාදරයට භාජන වන පූජනීය වස්තූන් අරභයාය. මේ ශ්‍රී දළදා වහන්සේ, ශ්‍රී මහා බෝධීන් වහන්සේ, සර්වඥධාතූන් නිධන් කිරීම නිසා පූජනීයත්වයට පත් ස්ථූප ආදිය ය. මෙම ආගමික වංශකථා අතර ශ්‍රී දළදා වහන්සේ වස්තු කොට ගෙන ලියැවුණු දාඨාවංස, ධාතුවංස, දළදාසිරිත, දළදා පූජාවලිය ආදී වංශ කථා විස්සක් පමණ වේ. ශ්‍රී මහාබෝධීන් වහන්සේ අරභයා බෝධිවංස, චූලබෝධිවංස, සිංහල බෝධිවංශය ආදී වශයෙන් ලොකු කුඩා ග්‍රන්ථ තිහකට ආසන්න සංඛ්‍යාවක් සැකසී ඇත. ථූපවංශය ස්ථූපයේ ප්‍රභවය, වර්ධනය ආදී විස්තර ක්‍රමානුකූලව ඉදිරිපත් කරන අගනා වංශ කථාවකි. මේ වංශකථා අතුරෙන් වැඩි ප්‍රමාණ්‍යක් මුල් පාලි කෘතිවල පරිවර්තන වශයෙන් සැලකේ.
ආගමික වංශකථා අතුරෙන් අනාගතවංශය නම් සිංහල කෘතියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඊට ප්‍රධාන හේතුව එහි අපූර්ව වස්තු විෂයය. අනාගතයේ දී ලෝක සත්ත්වයාගේ හිත-සුව පිණිස ලොව පහළ වන මෛත්‍රිය බුදුන්වහන්සේ පිළිබඳ කථා පුවත ඉදිරිපත් කිරීම මෙහි මුඛ්‍ය අරමුණය. මේ නිසාම මෙම වංශකථාව “මෙතේ බුදු සිරිත” යන නමින් ද හැඳින්වේ.
සිංහල අනාගතවංශය ස්වතන්ත්‍ර නිර්මාණයක් නොවේ. එය මුල් පාළි කෘති දෙකක් ආශ්‍රයෙන් සිංහලට සැකසුණකි. මේ සඳහා මූලාශ්‍ර වී ඇති පාළි කෘති දෙක නම්, පාළි බුද්ධවංසයේ අතිරේකයක් වශයෙන් පාළි භාෂාවෙන් ලියැවී ඇති “අනාගතවංස” යන කෘතියත් ඊට අටුවා වශයෙන් සම්පාදනය වුණු සමන්තභද්දිකා යන කෘතියත් ය.
අනාගතවංස නම් පාළි කෘතිය කිනම් වකවානුවකට අයත් කවුරුන් විසින් රචනා කරන ලද්දක් ද යන්න නිශ්චිත ලෙස කිව නොහැකිය. බුද්ධවංසයට අතිරේකයක් වශයෙන් සැකසී ඇති නිසාත්, බුද්ධවංස නම් කෘතිය ඛුද්දකනිකායට අයත් යැයි සැලකෙන නිසාත් අනාගතවංස නම් පාලි කෘතිය ද ඛුද්දකනිකායට ම ඇතුළත් කොට සැලකිය යුතු යයි තර්ක කළ හැකිය. එසේ නම් එය ත්‍රිපිටකයට අයත් කෘතියක් ලෙස පිළිගැණුනු බවක් දක්නට නැත. පාළි අනාගතවංසය මෝහවිච්ඡේදනී, විමතිවිනෝදනී, බුද්ධවංස ආදී පාලි ග්‍රන්ථ සම්පාදනය කළ චෝළදේශවාසි කස්සප නම් ස්ථවිරයන්ගේ ම කෘතියක් ලෙස සැලකිය හැකි බවට බුද්ධවංස, සාසනවංසදීප ආදී කෘතිවල සටහන් වී ඇතැයි ශ්‍රී ලංකාවේ පාළි සාහිත්‍යය පිළිබඳව ගැඹුරු පර්යේෂණයක යෙදුණු මහාචාර්ය ගුණපාල මලලසේකර ශ්‍රීමතාණන් දක්වා ඇත.
කරුණු එසේ වුවද ප්‍රචලිත ඉපැරණි සම්ප්‍රදාය අනුවත්, පාළි-සිංහල අනාගතවංශයන්හි සඳහන් පරිදිත් මෙම කෘතිය බුද්ධභාෂිතයක් වශයෙන් සැලකුණු බව පැහැදිලිය.
“සකල ගුණ නිධාන වූ කරුණාවෙන් සිහිල් වූ, තිලෝගුරු සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් බුද්ධවංශ දේශනාවසානයෙහි දහම් සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේගේ ආරාධනාවෙන් ආකාශයෙහි රුවන් සක්මනක් මවා එහි සක්මන් කෙරෙමින් සිට වදාළා වූ අනාගතවංශ දේසනාව.....” යන සිංහල අනාගතවංශයෙහි ඇතුළත් පාඨය මුල් පාලි කෘතියෙහි අනුවාදයකි. මෙයින් පැහැදිලි වන්නේ මෙම කෘතිය බුද්ධභාෂිතයක් සේ සැලකීම පැරණි සම්ප්‍රදාය බවය. සද්ධර්මාලංකාරයෙහි යෙදෙන “ඒ වනාහි මතු උපදනා මෛත්‍රිය බුදුන්ගේ බුද්ධශ්‍රීය ප්‍රකාශ කිරීම වශයෙන් අප මහා ගෞතම බුදුන් විසින් වදාරණ ලද අනාගතවංශ දේශනාවමය. එබැවින් විස්තර කථාව අනාගතවංශයෙන්ම දත යුතු” යන පාඨයද මෙම සම්ප්‍රදාය පැරණි බව තවදුරටත් තහවුරු කරයි.
අනාගතවංස නම් පාළි කෘතිය මිනායෙෆ් නැමැති විදේශික විද්වතකු විසින් සංස්කරණය කොට පාළි ග්‍රන්ථ සමාගමේ 1886 වර්ෂයේ සඟරාවේ මුල්වරට පළ කරනු ලැබිණි.
සිංහල අනාගතවංශයට මූලාශ්‍රය වූ දෙවන කෘතිය නම් සමන්තභද්දිකා නමින් පාළි අනාගතවංසයට ලියැවුණු අටුවා ග්‍රන්ථයයි. මෙය කාලවාපි (කලාවැව) විහාරයේ සේනරාජප්‍රාසාදවාසි උපසේන නම් ස්ථවිරයකුගේ කෘතියකි. අනාගතවංශයේ එක් සංස්කරණයක් කළ වටද්දර මෙධානන්ද ස්ථවිරයන් ස්වකීය සංස්කරණයට ලියූ ප්‍රස්ථාවනාවෙහි මෙසේ සඳහන් කරයි. බුරුම රටින් ලක්දිවට ලැබී තිබෙන පැරණි ලිපියක අනාගතවංශට්ඨකථා නාමයෙන් එහි කර්‍තෘපාදයෝ ලක්දිව උපසේන මහා ස්ථවිරයන් වහන්සේ බව දක්වා තිබේ. මේ උපසේන ස්ථවිරයන් වහන්සේ නම් නිද්දේසට්ඨකථාදියෙහි කර්තෘ භූත තෙවෙනි අටුවාචාරීන් වහන්සේ යයි පිළිගත හැකිය.
ගන්ධවංශයට අනුව ශ්‍රී ලංකාදීප වාසී උපතිස්ස නම් ස්ථවිරයකුගේ අටුවා කථාවත් අනාගතවංසය සඳහා වූ බවත්, එම අටුවාකථාව වඩා පැරණි මූලාශ්‍රයක් පදනම් කොටගෙන සැකසුනක් බවත් මහාචාර්ය මලලසේකර විද්වතාණන්ගේ අදහස ය.
පාළි අනාගතවංස නම් කෘතිය හා ඊට අටුවාකථාව වශයෙන් ලියැවුණු සමන්තභද්දිකා නම් කෘතිය මූලාශ්‍ර කොට සැකසුණ සිංහල අනාගතවංශය හුදු පරිවර්තනයක් නොවේ. පාළි මූලාශ්‍රයන්හි දක්නට නොමැති උපමා-රූපක ශබ්දාලංකාරාදියත් විවිධ අර්ථකථනත් උපයෝගී කොට ගෙන ස්වකීය කෘතිය රසයෙන් හා අර්ථයෙන් වඩාත් පරිපූර්ණ කොට පෝෂණය කිරීමට කර්තෘ උත්සාහගෙන තිබේ.
සිංහල අනාගතවංශයේ කර්තෘ විල්ගම්මුල ස්ථවිරපාදයන් වහන්සේය. මේ “විල්ලගම්මුල” යන්න පුද්ගලනාමයක් ද යන වග පැහැදිලි නැත. විල්ගම්මුල, සරසිගාම, සරෝගාම ආදී නම්වලින් හැඳින්වුණ, අධ්‍යාපන මූලස්ථානයක් පැරණි ආරාමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ අෂ්ටායතන අතර විය. පුරාණ විල්ගම් වෙහෙර යනු දැනට සේරුවිල නමින් ප්‍රසිද්ධ වෙහෙර බව වටද්දර මෙධානන්ද හිමියන්ගේ අදහස ය. පොළොන්නරු යුගයේ සිට ඉතා ශීඝ්‍රයෙන් දියුණුවට පත් මේ ආයතනය කුරුණෑගල රාජධානි සමයේ ද ඉතා ක්‍රියාකාරී ලෙස පැවැතියේ ය. 13 වන සියවසේදී එහි මූලස්ථානය කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොට්න්ගේ ප්‍රදේශයේ පැවැතියේයි. මහාචාර්ය මැන්දිස් රෝහණදීර මහතා “ශ්‍රී ලංකාවේ සංඝ සංවිධානය” නම් සිය කෘතියෙහි අනුමාන වශයෙන් සඳහන් කරයි.
“විල්ගම්මුල” යන්න විල්ගම්මුල ආයතනයේ අධීශ්වර බව ලැබූ මහතෙරවරුන් හැඳින්වීමට යෙදූ පදවි නාමයක් සේ සැලකිය හැක. කුරුණෑගල යුගයේ දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහි (=හතරවෙනි පරාක්‍රමබාහු) රාජ සමයේ විල්ගම්මුල ආයතනයේ අධීශ්වර වූයේ සිරිමෙවන් කැළණි මහා විහාරයෙහි අධිපති වූ ශ්‍රී පරාක්‍රමබාහු මහා ස්ථවිරයන් වහන්සේ බවත්, එනිසා උන්වහන්සේ විල්ගම්මුල මහා ස්ථවිරයන් වහන්සේ වශයෙන් හැඳින්වුණු බවත් පිළිගත් මතයකි. අනාගතවංශය මුන්වහන්සේගේ කෘතියකි. එම වකවානුවේදී විල්ගම්මුල ආයතනය විශේෂ රාජානුග්‍රහයට ලක් වූ අතර විල්ගම්මුල ස්ථවිරයන් වහන්සේ මා හිමි නැතහොත් සංඝරාජ පදවිය ද හෙබවූහ.
මුන්වහන්සේ විසින් අනාගතවංශය සම්පාදනය කරන ලද්දේ දෙවෙනි පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ ඇරයුමෙන් බව ග්‍රන්ථයේම දැක්වේ. ඒ ඇරයුම පිළිගත් විල්ගම්මුල මහා ස්ථවිරයෝ “ශ්‍රද්ධා බුද්ධි පූර්වාංගම අදහසින් පාළි පාඨයෙන් කිසිවකුත් නොපිරිහෙළා. මේ අනාගතවංශ නම් වූ ධර්ම ප්‍රබන්ධය ස්වභාෂාවෙන් කොට මස්තකප්‍රාප්ත කළසේක” යයි ග්‍රන්ථාවසානයෙහි සඳහන් වේ. ග්‍රන්ථයේ සමාරම්භයේ ද මේ බව අවධාරණයෙන් දැක්වේ.
දෙවෙනි පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා කලා හා සාහිත්‍ය ප්‍රබෝධයට සුවිශේෂ සේවාවක් කළ රජතුමෙකි. එතුමා සාමාන්‍යයෙන් ම ධර්මශ්‍රවණයට රිසිබවක් දැක්වූ අතර අනාගතවංශ දේශනාව ඇසීමට ඉමහත් සේ කැමති වූ බව ප්‍රකටය. අනාගතවංශය සිංහලෙන් සැකසීමට එතුමා විසින් ඇරැයුම් කෙරුණේ මේ කැමැත්ත නිසා විය යුතුය.
සත්පුරුෂයින්ගේ පහන් සංවේගය සඳහා අනාගතවංශය උපකාරී වන්නේ එය අනාගතයේ බුදු බවට පත්වීමට සිටින මෛත්‍රිය බුදුන්වහන්සේගේ චරිතාපදානය ඉදිරිපත් කරන හේතුවෙනි. අතීත අනාගත බුදුවරයන් වහන්සේලා පිළිබඳ විශ්වාසය ඉපැරණි අවධියක සිට බෞද්ධයින්ගේ සිත් සතන්වල මුල් බැස ගෙන තිබෙන්නකි. දීපංකර බුදුන්වහන්සේගෙන් ඇරඹෙන අතීත බුද්ධ වංශකථාවේ අතීත බුදුවරයන් වහන්සේලා විසිහත් නමක් ගැන සඳහන් ය. විසි අටවැනි බුදුවරයාණන් වහන්සේ සඳහන් වන්නේ ගෞතම බුදුන්වහන්සේය. මෙම අටවිසි බුදුවරයන් වහන්සේලා අතුරෙන් බුදුවරයන් වහන්සේලා හතර නමක්ම මෙම කල්පයට අයත් යයි පිළිගැනේ. උන්වහන්සේලාගේ නම් මෙසේය. කකුසඳ, කෝණාගම, කස්සප සහ ගෞතම මෛත්‍රිය බුදුන් වහන්සේ මෙම යුගයෙහි පහළ වන පස්වන බුදුන්වහන්සේය. බුදුවරයන් වහන්සේලා පස්නමක් පහළ වන කල්පයක් හෙයින් මෙයට “භද්‍ර කල්පය” යන නම ලැබී ඇත.
අනාගත බුදුන් වහන්සේලා පිළිබඳ සංකල්පය අතීත බුදුවරයන් වහන්සේලා පිළිබඳ සංකල්පය තරමට දියුණු වී නැත. 12 වන සියවසට අයත් “දසබෝධිසත්ත උප්පත්තිකථා” නම් කෘතියක මෛත්‍රිය බෝධිසත්ත්වයන් ඇතුළුව අනාගතයේදී බුදු වන බෝධිසත්ත්වවරුන් දසදෙනෙකු ගැන සඳහන් වන බව කියැවේ. මේ අතරින් වංශකථාවක් සඳහා වස්තු විෂය වශයෙන් භාවිත වී ඇත්තේ මෛත්‍රිය බුද්ධචරිතාපදානය පමණි.
මෛත්‍රිය බුදුන්වහන්සේ ගැන ඇති එක් ඉපැරණිම සඳහනක් දීඝනිකායේ චක්කවත්ති සීහනාද සූත්‍රයේ ඇතුළත් වේ. ඉන් අනතුරුව වෙනත් කෘතිවල වරින් වර තැනින් තැන සඳහන් වී ඇතතත් පූර්ණ චරිත කථාවක් වශයෙන් ඉදිරිපත් කෙරෙන්නේ පාළි අනාගතවංසයේය. අනාගතයේදී දඹදිව සකල සෞභාග්‍යයෙන් සපිරි පුණ්‍ය ක්ෂේත්‍රයක් වන කෙතුමතී නම් නුවර සබ්‍රාහ්මණ සහ බ්‍රහ්මවතී නම් දෙගුරුන්ට දාව අජිත නම් උපත ලබන අනාගත බුදුවරයාණන් වහන්සේ මෛත්‍රිය නමින් බුදු බවට පත්වන ආකාරය මේ වංශකථාවෙන් බුද්ධාලම්බන ප්‍රීතිය සිත් සතන් තුළ දනවන අන්දමින් ඉදිරිපත් කෙරේ.
මෛත්‍රිය බුදුන්වහන්සේ ශ්‍රී ලංකාවාසී ශ්‍රද්ධා සම්පන්න බෞද්ධ ජනතාවගේ සිත් සතන් තුළ වඩාත් සමීපවීමට හේතුවුණු පුරාවෘත්තයක් වංශකථා සම්ප්‍රදායෙහි ගැබ්ව ඇත. අනාගතවංශයේ දැක්වෙන සම්ප්‍රදායට අතිරේක වූ මෙම පුරාවෘත්තය මහාවංශයෙහි ඇතුළත්ය. මේ අනුව අනාගතයේදී මෛත්‍රිය බුදුන්වහන්සේගේ දෙගුරුන් වන්නේ කාවන්තිස්ස රජු හා විහාරමහාදේවී බිසවුන්ය. පුත් වන්නේ සාලිය කුමරාය. දුටුගැමුණු හා සද්ධාතිස්ස යන දෙසොහොයුරු රජවරු මෛත්‍රිය බුදුන්වහන්සේගේ අග්‍රශ්‍රාවකයින් වහන්සේලා වශයෙන් උපදිනු ඇත. ශ්‍රී ලංකා වාසීන්ගේ ඉමහත් ගෞරවාදරයට පත් රජ පවුලක් හා මෛත්‍රිය බුදුන් වහන්සේ අතර ඇති සම්බන්ධය මෛත්‍රිය බුදුන්වහන්සේ කෙරෙහි ලංකාවාසී බෞද්ධ ජනතාව තුළ අචල භක්තියක් පුබුදුවාලීමට හේතු වී ඇති බව නිසැකය. ශ්‍රී ලංකාවාසී ශ්‍රද්ධා සම්පන්න බෞද්ධයින්ගේ එකම පොදු පැතුම අනාගතයේදී ලොව පහළ වන මෛත්‍රිය බුදුන්වහන්සේ දැක නිවන් පසක් කර ගැනීමය.
අනාගතවංශය මීට පෙර ප්‍රකාශයට පත්ව ඇත. ඉස්වැල්ලේ ජිනරතන ස්ථවිරයන් විසින් කෙරුණු සංස්කරණය 1934 දී ද වටද්දර මෙධානන්ද ස්ථවිරයන් විසින් කෙරුණු සංස්කරණය 1959 දී ද පළවිනි. දැනට පහසුවෙන් ලබා ගත නොහැකි එහෙත් සැදැහැවත් බෞද්ධයින් විසින් කියවීමට ඉතා ආශා කරන එසේම කියවිය යුතු මේ මහැඟි කෘතිය නැවත වරක් පළ කිරීම බෞද්ධ පාඨකයිනට පිදෙන උපහාරයක් බඳුය.
සනත් නානායක්කාර
බෞද්ධ විශ්වකෝෂයෙහි හිටපු නියෝජ්‍ය කර්තෘ
01-02-1997
සිංහල
අනාගතවංශය