දුර්දාන්තදමනයෙහි එන “ආදිත්තජාතක දසබ්‍රාහ්මණ ජාතකාදියැ විචෙය්‍යදාන දෙවමින්” යන වැකියෙහි ‘විචෙය්‍යදාන’ යනු ‘විශෙෂදාන’ යි සොරතසංස්කරණයෙහි දු මහානාම සංස්කරණයෙහි දු යෙදිණ. “විචෙසදාන, විචෙවදාන, විචෙයදාන” යන නානා පාඨ පුස්කොළ පොත්හි ඇත. සඳහන් කළ ජාතකකථා විස්තර කරමින් “විචෙය්‍යදානන්ති දක්ඛිණං ච දක්ඛිණෙය්‍යං ච විචිනිත්වා දින්නදානං” යනු අටුවාහි වදාළහ. “විචෙය්‍ය, (-සං: විචිත්‍ය) දෙයධර්ම හා පිළිගාවන් හා ඉලියා-අන්වෙෂණය කොට දෙන දානය ‘විචෙය්‍යදාන’ නම් වේ” යනු ඒ අටුවාවෙහි වදාළ සැටිය වෙයි. එයින් මෙහි ශුද්ධපාඨය ‘විචෙය්‍යදාන” යනු පාළිපදය මැ වෙයි. පොත්හි එන ‘විචෙයදාන’ යන පාඨය බෞද්ධ සංස්කෘත වශයෙන් සලකත් මැ පිළිගත හෙතුදු, සංස්කෘත භාෂායෙහි ‘විචෙය’ යි පූර්ව ක්‍රියායෙක් නො ලැබේ. එයින් පොත්හි එන ‘විචෙයදාන’ යන පාඨය ශුද්ධරූපයෙක් ද නොවේ. ‘අමාවතුරෙ’හි නොඑක් තැනැ පාළිපද සියබසෙහි ලා යොදනුයෙන් අටුවාහි වදාළ ‘විචෙය්‍යදාන’ යන පදය මැ මෙ තන්හි යෙදුසෙ සළකම්හ. ආදිත්ත ජාතකයෙහි දු දසබ්‍රාහ්මණ ජාතකයෙහි දු ‘විචෙය්‍යදාන’ යනු අප පාඨයෙකි. ශොධකයන් ‘විචෙස’ යන සදොසපාඨය පෙරළා ‘විශෙෂ’ කියා නිර්දොෂපාඨයක් තනා ගන්නට සිතුබව පෙනෙතුදු, අටුවා බලන්නට සිතුබවෙක් නො පෙනේ.
දුර්දාන්තදමනයෙහි “භූරිදත්තජාතක සංඛපාලජාතක චම්පෙය්‍ය ජාතකාදියැ තණපතක් සෙ දිවි පියා පොළොව පෙරළන්නක්හුසෙ සිල් පොහො පිසමින්” යන වැකියෙහි “සිල් පොහො පිසමින්” යනු ‘සිල් පොපියමින්’ කියා පැරැණි පොත්හි එයි. එ කී ජාතක වනාහි සිල් හා පොහොය හා දෙක වෙසෙසින් දුක්වන ජාතක වෙයි. උපොසථය මතු නො දක්වයි. එයින් ‘සිල් පොහො’ යනු ශීලය හා උපොෂධය හා දෙක එකවට පරිපාචනා කළසෙ දැක්වීමෙකි. ‘පිසමින්’ යනු ‘පාචනය කෙරෙමින් - මුහුකරුවමින්’ යන අරුත් ඇති පදයෙකි. තෙල පරිච්ඡෙදයෙහි අගැ “ශීලසමාධිප්‍රඥාලක්ෂණ ගුණ ධර්මයන් පිසමින්” යන මෙහි දු එය යෙදිණ. මෙ වැකියෙහි ‘පිරිපසමින්’ යි පොත්හි එන පදාන්තරය ද මෙයට පමණ කටයුතු තැනෙකි. මෙ හැම එක් කොටැ ගනුත් මැ, “ශීලය හා උපොෂධය හා දෙක පරිපාචනා කෙරෙමින්” යන අර්ථය ලැබේ. වම්පෙය්‍යජාතකාදිය එය මැනැවින් දක්වන්නේ යැ. ‘පොළොව පෙරළන්නක්හු සෙ’ යන මෙයින් කළ සෙ දුෂ්කර බව අඟවයි. ස්වසන්තානදමනයෙහි ලා “සහවුරුද්දක් පොළො පෙරළනුවන් සෙයින් අහස ගැට ලනුවන් සෙයින් කිසි කෙනකුනුදු විසින් නොකටහැකි කෙළ පත් මහත් වීර්යය කොට” - යනාදි වැකියෙහි ගුරුළුගොමීහු මැ දුෂ්කරභාවය කියන්නට එ උපමා අළහ. ‘පොහොපො’යි ද පිසමින් - පියමින්’ යි දැයි පෙරැළුණු දෙ පද එක් වැ ‘පොපියමින්’ යන අප පාඨය සිද්ධ වී යැ. තෙල අපපාඨය ප්‍රමාණපාඨ කොට ගෙනැ ඒ ඒ උගතුන් නන් ලෙසින් ව්‍යාබ්‍යාන කරතුදු, අපි මෙ සංස්කරණයෙහි දී ‘සිල් පොහො පිසමින්’ කියා සකස් කළම්හ.
ස්වසන්තානදමනයෙහි “බෝසතාණො වනාහි ඇත්ගණනින් කෙළ දහසක් ඇත්නට බල ඇතියව්හු. පුරුෂගණනායෙන් දස කෙළ දහසක් පුරුෂයනට බල ඇතියව්හු” යන වැකියෙහි “කෙළ ලක්‍ෂයක් පුරුෂයන්ට බල ඇතියව්හු” යනු සොරතසංස්කරණයෙහි එයි. හැම පුස්කොළපොත්හි එ පාඨය ඇත. අපි “දසපුරිසකොටිසහස්සානං” යන අටුවා බලා “දස කෙළ දහසක් පුරුෂයනට” යනු යොදා-ලුම්හ. ගුරුළුගොමීන් ‘ධර්මප්‍රදීපිකා’ යෙහි දී “ප්‍රකෘතිහස්තිගණනායෙන් කොටිසහස්‍රයන් ඇත්නට බල ඇත්තාහ. පුරුෂගණනායෙන් දශ කොටිසහස්‍රයක් පුරුෂයනට බල ඇත්තාහ” යනු කියුයෙත් ‘අමාවතුරෙහි’ හි දි ලියන්නන් කළ වරද විශද වැ පෙනේ.
ස්වසන්තානදමනයෙහි “අස් හට විළුම්සන් කොටැ, අසු, අඩ ඉස්බක් පමණ පළල් ගඟ පැනැ පරතෙර ගොස් සිටි කලැ අසුපිටින් බැසැ..........” යන වාක්‍යයෙහි දී සොරත සංස්කරණයෙහි “අසූ අට ඉස්බක්” යනු එයි. ඉස්බ ගණනින් අටාසුවෙක් ගොස් බඹ විසින් තුන් දහස් තිසෙක් වෙයි. බඹ තුන්දහස් තිසෙක් ගොස් රියන් විසින් දොළොස් දහස් තුන්සියවිස්සෙක් වෙයි. කන්ථක අස්රජ දොළොස් දහස් තුන්සිය විසිරියනක් පමණ පළල් ගඟ පැනැ ගියසෙ එයින් පැවැසිණ. මෙසෙ සොරතසංස්කරණයෙහි එනුයෙ පුස්කොළ පොත්හි එන සැටි මැයි.
“අස්සො උප්පත්තිවා අඩ්ඪ - උසභවිත්ථාරාය නදියා පාරිමතීරෙ අට්ඨාසි” යනු මෙහි අටුවාකථා වෙයි. “අසු පැනැ අඩ ඉස්බක් පමණ පළල ගඟැ පරතෙරැ සිටියෙ” එයින් වදාළහ. ඉස්බෙහි අඩ නම් : සැත්තෑ රියනෙකි. කන්ථක අස්රජු කුලවත් අසකු වන බැවින් සැත්තෑ රියනක් පමණ තැන් පනනු පිළිගත හෙයි. කිසි පොතෙකැ “අට්ඨ - උසභවිත්ථාරාය” යන පාඨ ඇත. එය ගනුත් මැ, ‘අට ඉෂ්බෙක්’ පැවැසෙ. එය ගොස් එක් දහස් එක් සිය විසි රියනෙක් වෙයි. කිසි පොතෙකැ “අට්ඨාරස උසහවිත්ථාරාය” යන පාඨ ඇත. එය ගනුත් මැ, ‘අටළොස් ඉස්බෙක්’ පැවැසෙ. තෙල පාඨ එකෙකුදු නො වටී. අද ද පවා අසු පැනැ ගිය තැන් ඇසින් දැකැ මැනැ ගත හෙන හෙයිනි. අමාවතුරු පාඨයෙහි එන ‘සිටිකලැ’ යනුවෙන් කී ස්ථිතික්‍රියායෙහි කර්තෘ ‘අසු’ යි දැක්විණ. එ “අශිති” යෙහි වැටෙන පද විසින් වරදවා ගැනීමෙන් “අසූඅට ඉස්බෙක්” ගෙතිණ. එයින් වූයෙ කිම? අසු පැනැ ගත් සැත්තෑ රියනක් පමණ පළල තැනෙක දොළොස් දහස් තුන්සිය විසිරියනක් පමණ පළල වී යැ. අපි ‘අසු’ යනු අශ්වවාචක වත් මුත්, අශීතිවාචක නොවන සෙ ගෙනැ පද බිඳැ යෙදුම්හ. “අඩ්ඪ - උසභවිත්ථාරාය” යන අටුවා ප්‍රමාණ කොටැ ගෙනැ “අඩ ඉස්බක්” යනු සුදුසු පාඨ සෙ ගතුම්හ.
ස්වසන්තානදමනයෙහි මාරයුද්ධය කියන තැනැ “වන දු, ගසුදු, රුකුදු එ සෙයින් මැ උපුරා.........” යන වැකියෙහි දී “වන දහසුදු රුකුදු එ සෙයින් මැ උපුරා......” යනු දක්නා ලැබේ. පුස්කොළ පොත්හි දු එ සැටි මැ එයි. “වන ගච්ඡරුක්ඛාදීනි” යනු මෙහි අටුවා වේ. වනත් ගසුත් රුකුත් වෙන වෙන ගස්සෙ අටුවා පාඨයෙන් පෙනේ. ‘වන ද, ගසුදු’ න මෙහි ‘ද’ - කාරයා ‘වන’ ශබ්දයෙන් ඈත් වැ ‘ගසුදු’ යන්න හා සමඟ ළඟ වි යැ. එයින් සිද්ධියට ගිය ‘දගසුදු’ යනු දුටු ලියන්නො ‘දහසුදු’ යි සකස් කැරැ ගත්හ. සොරතසංස්කාරණාදියෙහි එනුයෙ ලියන්නන් කළ එ විපර්යාසය මුත් යථාර්ථය නොවන බව පෙනේ.
මාරයුද්ධය කියන තන්හි මැ “එ සෙයින් මැ මවන ලද වැලිවැසි දුමමින් දිලියෙමින් අහසින් ගොස් මහසත්හු පාමුලැ දිවසඳුන්සුණු බවට ගියො. එ සෙයින් මැ මවන ලද සියුම් වැලිවැසි දුමමින් දිලියෙමින් අහසින් ගොස් මහස්තහු කරා පැමිණැ දිවකුසුම්රොන් බවට ගියො” යනු සොරතසංස්කරණාදියෙහි දක්නා ලැබේ. මෙ දිනැ වාත යැ, වර්ෂ යැ, පාෂාණ යැ, ප්‍රහරණ යැ, අංගාර යැ, කුකූල යැ, වාලිකා යැ, කලල යැ, අන්ධකාර යැ යි නවවිධ වර්ෂායෙක් වැටිණ. “මෙ නවමහවැස්සෙන්” යි ගුරුළුගොමීහු දු එ බව සඳහන් කෙරෙති. ‘වැලිවැසි එකෙකැ, සියුම් වැලිවැසි අනෙකෙකැ’යි වෙන වෙන ගණනට නොහැකි යැ. එහි ද්‍රව්‍යභෙදයක් නොවන හෙයිනි. එ දෙක එක් වත් මැ, සොරතසංස්කරණාදියෙන් ලැබෙනුයෙ අටමහ වැස්සෙකි. අටුවායෙහි නම් විසින් වෙන් කොටැ වදාළ ‘කුකුලවර්ෂා’ තුබුව මනා තන්හි ‘වැලිවැසි’ යනු ‘හළුවැසි’යි සකස් කැරැ ලුම්හ. එ විටැ අටුවා හා අමාවතුර හා ඝටිත වෙයි.
ගහපතිදමනයෙහි “කුමහර හට ‘කිරිමිල වළමිල’ යැයි එ එ තැනින් අළ ධන සියදහසක් කෙළ යැ” යන මෙහි මූලපාඨ නම්: “කුමාරස්ස ඛීරමණිමූලං හොතූති තතො තතො ආභතධනං කොටිසතසහස්සං අහොසි” යනුයි. එයින් වළමිල’ යනු කුමරපළඳනා පිණිසැ එලවන වළලු සඳහා අළ මිලසෙ පෙනේ. “ඛීරමණිමූලං” යන මෙහි ‘මණිකෙ ගණ්හථ මණිකෙ කියත්. සෙරිවාණිජ ජාතකයෙහි එන “මණිකෙ ගණ්හථ මණිකෙ ගණ්හ” යන තැනැ ගැටපද කරුවන් ‘මණික ශබ්දය වළල්ලෙහි ලා අර්ථ කියූයෙන් ‘මණිමූල’ යන වළලු මිලසෙ සළකන්නෙ යැ. “වැළ, වල, වළා” යන රූප ද ගැටපදපොත්හි එතියි ජාතක අටුවා ගැටපදය ප්‍රකාශයට ලූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක පණ්ඩිරත්නයෝ කියති. අමාවතුරු පොත්හි දු ‘වැල මිල, වළමිල’ යන දෙ සැටිය එයි. එයින් ‘වළමිල’ යනු බැහැර ලන්නට කරුණෙක් නැත. සොරතසංස්කරණයෙහි ‘වැලමිල’ යනු මෙ තන්හි යොදා ගත්හ.
“වැලමිල - වැලිකෙළිය සඳහා වුව මනා දෙයට අවශ්‍ය මුදල්; මේ දෙකම සඳහා පපංචසූදනියෙහි යෙදුනේ ‘ඛීරමණිමූලං’ යන්නෙහි එහි අර්ථය නම් ‘කිරිමිල මණිමිල’ යනුයි. ‘මණිමූල’ යයි කීයේ. ආභරණ සඳහා මුදල් යයි හඟිමු” යනු සොරත සංස්කරණයෙහි ලා කළ විවරණ යි. මූලපාඨයෙහි අර්ථ වටහා ගත් කලැ ‘වැලිමිල’ යන ශුද්ධිය නොපිළිගත හෙයි. ‘මණි’ ශබ්දය වළල්ලෙහි වැටෙනසෙ ‘වළ’ ශබ්දය සියබසෙහි ‘වළලු’ - අරුත් ඇතිසෙ පෙනෙන හෙයින් අපි පැරැණි පොත්හි එන ‘වළමිල’ යනු මැ ශුද්ධ සෙ සළකම්හ. ‘වැලිමිල’ යනු මූලපාඨය හා නොසැසැඳෙන හෙයිනුදු පැරැණි පොත්හි නො ලැබෙන හෙයිනුදු අශුද්ධ පාඨයෙකි.
ගහපතිදමනයෙහි “එතෙකුදු හොත් ශස්‍යඵල කැමැත්තාහු ගොඩද් දෙණද් අනුපයෙහිද් බිජු වපුරෙති. වැසි බොහෝ වී නම්, ගොඩ වපුළ බිජු ඵල දෙයි. තුබු චැනැ වපුළ බිජු කුණු වෙයි. වැසි මඳ වී නම්, දෙණ වපුල බිජු ඵල දෙයි. තුබු තැන වපුළ බිජු මියෙයි. සම වැසි වී නම්, තුන් තැනම වපුළ බිජු ඵල දෙයි. වැසි නැත්නම්, හෝ නිසා ගඟ නිසා වැවළවිල්වල වපුළ බිජු දියෙන් හෝ යෙයි (දියෙන් හෝ එයි)”
තෙල වැකිය පොත්හි අවුල් වැ සිටුනා තැනෙකි. සොරත සංස්කරණයෙහි වේ වයි, මහානාම සංස්කරණයෙහි වේ වයි, එ අවුල නිරවුල් නොවී. මෙහි අතිවෘෂ්ටි යැ, මන්දවෘෂ්ටි යැ, සමවෘෂ්ටි යැයි වැසිකල් තුනක් ගෙනැ, ස්ථල යැ, නිම්න යැ, අනූප යැයි කෙත් තුනක් ගෙනැ, අනුබු යන තුන් කෙත කියූ බැවින් ‘වැසි බොහො වී නම්’ යි පටන් ගත් අතිවෘෂ‍්ටිප්‍රතිඵල පිළිවෙලින් එ තුන් කෙතෙහි ලා කියැ යුතු යැ. පොත්හි එන සැටිය බලත් මැ, එ නොකියනසෙ පෙනේ. “වැසි නැත්නම්, හෝ නිසා ගඟ නිසා වෑවළවිල්වල වපුල බිජු දියෙන් හෝ යෙයි. දියෙන් හෝ එයි” යන අගැ කොටස අතිවෘෂ්ටි ප්‍රතිඵල කියන තැනැ තුබුව මැනැවින් අපි ශුද්ධ කොටැ එ තන්හි යොදා ලුම්හ. එවිට අර්ථය සපුරා සිටුනේ යැ. ලියන්නකු ගෙ පමාදොසකින් කැඩී දුර ගිය එ කොටස අර්ථ සම්බන්ධ නැති වැ තුබුසෙ දුටු යමකු විසින් “වැසි නැත්නම්” යනුවක් ඇරැ සාර්ථක කැරුණේ යැ. එසෙ වතුදු, අටුවා හා සමඟ නො සැසැඳෙයි. “දියෙන් හෝ එයි, දියෙන් හෝ යෙයි” යනුදු කිලිටෙහි එරුණු තැනෙකි. වැකියෙහි බැසැ සිටුනා “වෑවළවිල්වල” යනුදු දොෂදුෂ්ට යැ. වෑ-වැව් නම්: වාපි යැ. වළ නම්: ආවාට යැ. විල් නම්: තඩාග යැ. මෙ හැම අනූප - (-ජලබහුල භූමි) යි. එයින් මැ එය ඝටිත වතුදු, බහ්වර්ථය අඟවන ‘වල්’ යනු ගුරුළුගොමීන් ගෙ බසෙක් නොවේ. ඔවුන් බසෙහි ආධාර බහුවචන කියන විශෙෂරූප නැතියෙනුදු නවීනයන් ප්‍රත්‍යයස්වරූපයෙන් ගන්නා ‘වල්’ යනු ඔබගේ වැකියෙහි නොයෙදෙන හෙයිනුදු අපි “වෑවළවිලැ’ යනු ශුද්ධරූප කොටැ යෙදුම්හ. එ ද පොත්හි එන පාඨයෙක් මැ යැ. දැන් සැසැඳිලි කරනුවන් පිණිසැ අටුවා හා සමඟ ශොධිත වාක්‍යය දක්වම්හ.
“සස්සඵලං ආසිංසමානා තීසුපි ඛෙත්තෙසු බීජං වපන්ති. තත්‍ථ අතිවුට්ඨිකාලෙ ථලෙ සස්සං සම්පජ්ජති. නින්නෙ පූතිකං හොති. අනූපෙ නදිං ච තළාකං ච නිස්සාය කතං ඔඝෙන වුය්හති. මන්ද වුට්ඨිකාලෙ ථලෙ ඛෙත්තං විපජ්ජති. නින්නෙ පන ථොකං සම්පජ්ජති. අනූපෙ න සම්පජ්ජතෙ’ව. සමවුට්ඨිකාලෙ ථලෙ ඛෙත්තං ථොකං සම්පජ්ජති. ඉතරෙසු සම්පජ්ජතෙ’ව” යනු අටුවා යැ.
“ශස්‍යඵල කැමැත්තාහු ගොඩැද් දෙණැද් අනුබුයෙහිත් බිජු වපුරති. වැසි බොහො වී නම්, ගොඩැ වපුළ බිජ් ඵල දෙයි. දෙණැ වපුළ බිජ් කුණු වෙයි. හො නිසා ගඟ නිසා වෑවළවිලැ වපුළ බිජ් හො දියෙන් යෙයි. ගඟ දියෙන් හො යෙයි. වැසි මඳ වී නම්, දෙණැ වපුළ බිජ් ඵල දෙයි. තුබු තැනැ වපුළ බිජ් මියෙයි. සම වැසි වී නම්, තුන් කෙතැ මැ වපුල බිජ් ඵල දෙයි” යනු අනුවාද යි.
උපාලිදමනයෙහි “කන් හුරු කොටැ ගෙනැ ඇවිදුනෙ” යන මෙ තැනැ ‘හුරු කොටැ - ගෙනැ’ යනු උචිතාර්ථයක් දියැ හෙන පාඨයක් වුව ද, ‘රුකොටැ’ ගෙනැ’ යන පාඨය ශුද්ධ සෙ සළකන්නේ යැ. භික්‍ෂුදමනයෙහි දු ‘රුකොට-ගෙනැ’ යන පාඨය එයි. එහි දී පුස්කොළ පොත්හි එන පාඨාන්තරයකුදු නුදුටුම්හ. ‘රුකොටැ’ යනු ‘රුකුර’ ධාතුයෙහි පූර්වක්‍රියා නිපාතයෙකි. දම්පියාඅටුවා ගැටපද සන්නයෙහි තිස්සත්ථෙර වස්තුයෙහි “පට්ඨපෙසි, රුකුළු” යි අර්ථ කීහ. එහි විබ්භන්තක වස්තුයෙහි “පට්ඨපෙත්වා, රුකොට” යි අර්ථ කීහ. මෙසෙ ‘පට්ඨපෙසි, පට්ඨපෙත්වා’ යන දෙ තැනැ පිළිවෙලින් ‘රුකුළු, රුකොට’ යි කී සැටියෙන් රුකුර ධාතුයෙහි රූප නැඟෙන සැටි දු පෙනේ. මාතෘභාෂායෙහි අසංඛ්‍යපූර්වක පදයක් මිසැ සෙසු තැනක් පිණිසැ රුකුරධාතුයෙන් අරුත් කියුසෙ නුදුටුම්හ. එයින් ‘රු+කර’ - යන ප්‍රකෘති දෙක එක් වැ ගෙනැ ‘රුකුර’ ධාතු සිද්ධ යැයි ද, ‘කර’ ධාතු හට අතිශයර්ථයක් දෙන්නට ‘රු’ - යන ප්‍රකෘතිය ළඟ වැ සිටුනේ යැයි ද සැළැකියැ හෙයි. ‘රු’ - යනු උපපද කොටැ සිටුනා ‘කර’ ධාතු මෙහි පෙනෙතුදු, සිද්ධාන්ත සංග්‍රහයෙහි දී නිෂ්පන්න ප්‍රකෘති විසින් දුටහ. සියබසෙහි අලංකාරාර්ථ කියන ‘ලකුර’ ධාතු ද මෙබඳු තැනෙකි. ‘රු’ - යන මෙයින් කර ධාතු හට දෙන අර්ථාතිශය නම්: නතු කිරීම්, නඟා ලීම්, පටන් ගැනුම් ආදිය වේ. ‘ආරොහ, ආරද්ධ’ ආදි පද ‘රු’ - ශබ්දයෙහි ප්‍රභවයෙහි ලා සැළැකියැ හෙන හෙයිනි. “කන් රුකොටැ - ගෙනැ” යනු යෙදුණේ ‘ඔහිතසොත’ යන මෙහි අරුත් දක්වනු පිණිස යැ, පොත්හි පාඨ කිහිපයක් එතුදු, එයින් ශුද්ධපාඨය නම්: ‘රුකොටැ - ගෙනැ’ යනු යි. සොරත සංස්කරණයෙහි “කුරු කොට ගෙණ” යනුත් මහානාම සංස්කරණයෙහි “කරුකොට ගෙන” යනුත් කියති.
ගහපති දමනයෙහි අගැ “ආදි ශබ්දයෙන් දසමගහපතිසිට්නුදු” යන තැනැ ‘දසම’ නම් ගහපතියකු කියයි. ‘දස මහගහපති’ යි අන් සැටියෙකින් ලියා-ගත් කිසි කෙනෙක් ගෘහපතීන් දශ දෙනා සොයමින් අද ද පවා වෙහෙස දරත්. ධර්මප්‍රදීපිකායෙහි: “උපාලි ගහපති යැ, පොතලිය ගහපති යැ, විසාඛ ගහපති යැ, දසම ගහපති යැ, සුදත්ත පණ්ඩිතයො” යි දසම ගහපති වෙන මැ කී හෙයින් අපි එය වෙනස් කරන්න නො සිතුම්හ. ගුරුළුගොමීන් දුටු ‘දසම’ යන් ශොධකයො නො දැකැ ‘දස මහගහපති’ යි තමන් මැ මවා-ගත් ගනඳුරුයෙහි පිළිසරණට එළියකුදු නො ලැබැ ඇවිදුති.
බ්‍රාහ්මණදමනයෙහි “සත්ත ච අජසතානි සත්ත ච උරබ්භසතානි” යන පෙළ පිණිසැ “සත් සියක් එළුවන් සත් සියක් එළුදරු මැඬවුන්” යනු පොත්හි එන සැටි යැ. “එළුදරුමැඬවුන්, එළුනාම්බන්” යි ගැටපදකරුවෝ අර්ථ ද කියති. “තරුණමෙණ්ඩකා” යනු පෙළෙහි ලා අටුවා ආ සැටියි. ‘ළදරුමැඬවුන්’ යනු “එළුදරු මැඬවුන්” යි අව්‍යක්ත ලේඛකයන් අතින් කිලිටි වැ ගියසෙ එයින් පෙනේ. අපි ‘ළදරු මැඬවුන්’ යි ශුද්ධියට ගතුම්හ. එ විට ‘තරුණමෙණ්ඩකා’ යි අටුවාහි වදාළ අර්ථය යෙදේ. බ්‍රාහ්මණදමනයෙහි අගැ ‘එළුපැටවුන්’ යි එය මැ අන් වචනයෙකිනුදු කියත්. පුස්කොළපොත්හි ‘ළ-ළු’ දෙ අකුරු බෙහෙවින් එකාකාර වැ සිටුනා හෙයින් ‘ළුදරු’ යි ලියැ වී ගිය පාඨය දුටු ලියන්නන්න ‘ළු’ - කාරය හෙළා ‘එළුදරු’ යි ලියා-ගත්සෙ මිසැ ගත මනා දැයෙක් නැත.
බ්‍රාහ්මණදමනයෙහි “බුදුනට ඇඳිලි බැන්දාහු ළ දෙ ගත්තාහ” යන මෙහි ‘ළ ඳෙ යනු ‘ලද’ යි පොත්හි එයි. සොරත සංස්කරණය පිණිසැ කළ ගැටපදයෙහි “ලද, අන්‍යලබ්ධි” යි අර්ථ ද කියති. මූල පාඨය හා අනුවාදය හා ළං කොට බලත් මැ, මහත් වරදක් මෙහි ඇතිසෙ පෙනේ.
“යෙ තෙ උභතොපක්ඛිකා තෙ එවං වින්තයිංසු. “සචෙ නො මිච්ඡාදිට්ඨිකා චොදෙස්සන්ති, කස්මා තුම්හෙ සමණං ගොතමං වන්දිත්ථා ‘ති’? තෙසං, ‘කිං අංජලිමත්තකරණෙන’පි වන්දිතං නාම හොතීති’ වක්ඛාම. සචෙ නො සම්මාදිට්ඨිකා චොදෙස්සන්ති, ‘කස්මා භගවන්තං න වන්දිත් ථා’ති? තෙසං, ‘කිං සීසෙන භූමිං පහරන්තෙනෙ’ව වන්දිතං හොති, නනු අංජලිකම්මම්පි වන්දනා එවා’ති” යනු මූලපාඨයි.
“එහි බුදුනට ඇඳිලි බැන්දාහු ළ දෙ ගත්තාහ. ඉදින් මිසදිට්හ ගත්තාහු, ‘තෙපි මහණ ගොයුම්හු වැන්දාව?’යි කීහු නම්, ‘ඇඳිලි බැඳි මාත්‍රයෙකින් වැන්දාවමො ද?’ යම්හ. සම්දිට්හ ගත්තාහු, ‘බුදුන් කුමට නො වැන්දාව?’යි කීහු නම්, ‘හිස බිමැ පහරවා මැ වැන්ද මනා ද? අත් නඟා වඳුනෙ වැඳුම් නො වෙද?’ යම්හ’ යි ඇඳිලි බඳහු” යනු අනුවාදයි.
ඇතැම් බමුණන් හා ගහපතිහු බුදුන් වැඳැ එකත් පස් වැ හුන්හ. ඇතැම්හු බුදුන් හා සාරාණිය කථා බැණැ එකත් පස් වැ හුන්හ. ඇතැම්හු බුදුනට ඇඳිලි බැඳැ එකත් පස් වැ හුන්හ. ඇතැම්හු නම් ගොත් කියා එකත් පස් වැ හුන්හ. ඇතැම්හු නො බැණැ එකත් පස් වැ හුන්හ. මෙයට වෙන වෙන හේතු දක්වමින් “එහි බුදුනට ඇඳිලි බැන්දාහු ළ දෙ ගත්තාහ” යනු කියත්. මිසදිටුවන් ඇසුව, ‘මෙසෙ කියම්හ’ සම්දිටුවන් ඇසුව, ‘මෙසෙ කියම්හ’ යි ළ දෙ (-සිත් දෙක) ඇත්තාහු යැ, ඇඳිලි බැන්දාහු නම්.
මූලපාඨයෙහි “උභතො පක්ඛිකා” යනු ඔවුන් ගෙනැ කීහ. එහි ‘උභතො’ යනු ‘දෙ’ යි සියබසින් මෙහි තැබූහ. මෙ ග්‍රන්ථයෙහි මැ මාතංගකථායෙහිලා “උභතො අනන්තරගෙහවාසිකා” යනු “දෙ එක්බිති ගෙයි ඇත්තො”යි ගත් සැටි දු එය හා සසඳන්නේ යැ. මුලැ දී ‘ළ දෙ’ යි සිටි ද දෙක ‘ළ ද’යි පෙරැළි පසු ‘ලද’ යි එක් පදයක් වැ මූලරූපයෙන් අන් අතෙකැ ගිළිණ.
රාජදමනයෙහි “උවකමු දොළෙක තිට උපන්නෙ යැ” යන මෙහි ලා මහානාම සංස්කරණයෙහි ‘සැවකමු’ යනුත් සොරත සංස්කරණයෙහි ‘සුවකමු’ යනුත් යොදති. එයින් ‘සැවකමු’ යනු අමාවතුරු පුස්කොළ පොත්හි දක්නට ඇත ද, ‘සුවකමු’ යනු දක්නට නො ලැබිණ. “සැව කමු, සවකමු, සව්කම්, සැළුවකමු” යනාදි නානාරූප පොත්හි ඇත. අපි ‘උවකමු’ යනු ශුද්ධරූප සෙ සළකම්හ. මෙ ග්‍රන්ථයෙහි නාගදමනයෙහි එන “මහණ ගොයුම්හු ගෙ රූපයෙහි අග්පත් සිරිරු දැකැ කිසි මිනිසෙක් උපක්‍රම නොනිස්සැ” යන පාඨයෙහි ‘උපක්‍රම’ (-උවකමු) යනු කැඩුම් බිදුම් ඈ විසින් ලේ සලන ක්‍රියායෙක් වෙයි.
දම්පියාඅටුවාගැටපදයෙහි “විදුරු නොබිඳෙතුජු අවුවෙහි තුබුව, හුණු තවාහි වන සෙයින් උවකුම් හමියෙහි නොබිඳෙතුජු අන්තශ් චලන මාත්‍රයෙක් වේ”යි දෙව්දත් තෙරුන් වත්හි එන මෙ වැකියෙහි දු ‘උවකුම්’ යනු කැඩුම් බිඳුම් පිණිසැ කරන ක්‍රියායෙහි ලා යෙදිණ. පාළියෙහි දු ‘උපක්කම’ ශබ්ද ආයුධාදීන් ලේ සලන්නට දෙන පහර කියයි. ශාස්ත්‍රයෙහි ‘උපක්‍රම’ ශබ්දය චිකිත්සායෙහි දු පළට වේ.
“වෙදු ගෙන්වා - ගෙනැ රත් සැතින් දසරුව පළවා රන් තැටියෙන් ලේ ගෙනැ දිය හා මුසු කොටැ පොවා - ලී යැ” යන මෙයින් දොළ සන්හිඳුණුසෙ පැවැසිණ. ‘උවකමුදොළ’ එයින් මෙහි ඝටිත වෙයි. රජු ගෙ සිරිර සැත්කැමින් බිඳුණු හෙයිනුදු එයින් මැ චිකිත්සාවට පාත්‍ර වූ හෙයිනුදු එහි ‘උපක්‍රම’ යෙක් ඇත. එයින් එ දොළ ‘උපකමුදොළ’ නම් වී. උවකමුදොළක් වූයෙන් මැ “නෛමිත්තිකයො එ ගබ රදු සතුරු දරුයෙකැ, ඔහු විසින් රජ නස්සි යි කීහු. “යන අනාගත ඵල කථනය ද මෙහි සැසැඳේ. සොරත සංස්කරණයෙහි දී ප්‍රමාණපාඨ විසින් ගත් පූජාවලියෙහි එන ‘සුවකමු’ යන පාඨය ද ‘උවකමු’ යනු මැ වියැ හෙයි. එහි බන්ධුලමල්ලයන් ද දොළ සන්හිඳුවන්නට උපක්‍රමයක්-ලේ බිඳීමක් මැ කළ හෙයිනි. පූජාවලිකාරයන් අමාවතුරෙහි එන නොඑක් දෑ පැහැර ගත්සෙ පෙනෙන හෙයින් ඔවුන් අමාවතුරෙන් උදුරා-ගත් ‘උවකමුදොළ’ යන පදය ලියන්නන් ‘සුවකමුදොළ’ කළහ යි සිතියැ හෙයි. පූජාවලිය කරන අවධියෙහි දු අමාවතුරෙහි ලිපිදොෂ වශයෙන් එ පාඨය තිබියැ හැකි ද වෙයි. පූජාවලියෙහි එන ‘සුවකමු’ යන මෙහි දු අමාවතුරෙහි පාඨාන්තරයන් කෙරෙහි එන ‘සැළුවකමු’ යන මෙහි දු ‘උවකමු’ යන්න ගිලිහී ඇත. පාළියෙහි ‘උපක්කම’ ශබ්දයත් අමාවතුරෙහි මැ ‘උපක්‍රම’ ශබ්දයත් ලේ බිඳීම කියනු පිණිසැ එළියෙහි මැ ඇත.
අඟුල්මනයෙහි “ශිල්පසමහරයට උපචාර” යැ යන තැනැ “සංහාරයට, සමාහාරයට, සම්භාරයට” යනාදි නානාරූප පොත්හි ඇත. සොරත සංස්කරණයෙහි දී ‘ශිල්ප සංහාරයට’ යනු යෙදුව ද, ගැටපදයෙහි දී ‘ශිල්පසම්හාරයට’ යි සකස් කැරැ-ලූහ. පරිබ්‍රාජක දමනයෙහි “සමහරයෙහි හුනස්නෙන් නැඟී” යන තැනක් යක්‍ෂදමනයෙහි “ගාථාව සමහර දු” යන තැනත් භික්‍ෂුදමනයෙහි “සමහරයෙහි මහත් කොටැ සාධුකාර දුන” යන තැනත් ගහපතිදමනයෙහි “බණ සමහර කළ කලැ” යන තැනක් මෙ වචනය යෙදිණ. මෙ හැම තැනැ ‘සමහර’ යන පදය පර්යවසානය කියයි. ශිල්ප සමහරයට උපචාර යැ” යන මෙහිදු ශිල්පයා ගෙ පර්යවසානය කියයි. ශිල්ප සමහරට උපචාර යැ” යන මෙහිදු ශිල්පයා ගෙ පර්යවසානය මැ කියන හෙයින් “සමහර” යන පාඨය මැ අපි යොදා-ලුම්හ. “පරියොසානුපචාරො” යනු මෙ තන්හි අටුවා යැ. එයිනුදු අප ගත් සෙ ඝටිතෙ වෙයි. ගුරුළුගොමීන් ‘ගමන්ශ්‍රම, පුත්‍රසනා’ ආදි විසින් මිශ්‍ර කොටස් පදඝටනා කෙළෙන් මෙහි දුර්ඝටයෙක් ද නැති.
අඟුල්දමනයෙහි අගැ “කෙළ දරුවන් කෙළකන්සුණු මහ තෙරුන් අතැවැසි නවසියක් සොරුනුදු” යන මෙ තැනැ දී ‘කෙළරුවන් කසුඛු’ යනුවක් මහානාම සංස්කරණයෙහි එයි. සොරත සංස්කරණයෙහි ‘කෙළරුවන් කල’ යනුවක් එතුදු, ගැටපදයෙහි ලා ‘කෙළකන් සෝණ’ යි ගත මනා සෙයට කරුණු කියති. පොත්හි “කෙළරුවන් කල, කෙළරුවන් කෙළ, කෙළරුවන් කසුඛු” යන පාඨ වෙන වෙනම දක්නට ඇත. හැම පොතෙකැ ම ‘කෙළරුවන්’ යනු එක සේ සිටුනේ යැ. එක සේ සිටුනා පාඨය හා ‘කෙළ, කසුඛු’ යන ඉතිරි පාඨ හා පෙළ ගසා සකස් කළ කලැ ‘කෙළරුවන් කෙළ කසුඛු’ යනු සිද්ධ වෙයි.
‘මෙහි අගැ ‘සුඛු’ යි සිටුනේ, ‘සොණ’ ශබ්දයෙහි තද්භවප්‍රකෘති වන ‘සුණු, යනුයි. ‘කෙළක’ යි සිටුනේ, ‘කොටිකණ්ණ’ ශබ්දයෙන් ආ ‘කෙළකන්’ යනුයි. ‘කෙළරුවන්’ යි සිටුනේ, ‘කෙළදරුවන්’ යනුයි. මෙසේ අකුරු නැස්මෙනුදු පෙරැළීමෙනුදු විලුප්ත වැ ගිය පදවැළ සස් කැරැ-ගත් කල්හි කාලීපුත්‍ර කොටිකණ්ණසොණ යන සංඥානාමය සිද්ධ වේ. වැකියෙහි කියන සොරමුළ කොටිකණ්ණසොණ තෙරණුවන් ගේ බණ අසා ඔබ අතැවැසි වූසෙ අටුවායෙහි වදාරති. සොණමහතෙරහු ශාසනයෙහි සුවිශ්‍රැත මහොපාසිකාවක වන කාලිය ගේ පුතණුවෝ යැ. එයින් අපි “කෙළ දරුවන් කෙළකන් සුණු මහ තෙරුන්” යි ශුද්ධියට නඟා-ලූම්හ.
තාපසදමනයෙහි “ධම්දෙසුන් නිමි කලැ ඒ ඒ රටැ සිටැ, තව්සන් අනු වැ ආ මිනිස්හු බුදුන් ගෙ ආනුභාවයෙන් තමන් තමන්ගේ ගම් නියම්ගම් ආදියැ පැනුණුහු” යන වැකියෙහි අගැ ‘ආදියැ පැනුණුහු’ යන තැනැ සොරත සංස්කරණයෙහි ‘ආදියට පැමිණුනුහු’ යි සිටුනේ යැ. වටාලා තමන් තමන්ගේ ගම් නියම්ගම් ආදියට පැමිණෙනු පිණිසැ බුදුන් ගේ අනුභාවයෙන් කම් නැත. එය නැත ද, ස්වශක්තියෙන් ආ ඔහු හැම ගම් බලා යෙත් මැ යැ. බුදුන්ගේ අනුභාවයෙන් වන දැය පෙළහරක් වුව මැනැවින් ‘ගම් නියම්ගම් ආදියැ පැනුණුහු’යි කිව මැනැවැ, ‘පැණුනුහු’ යන පාඨය කරුණු නොදත් ලියන්න අතින් ‘පැමිණුනුහු’ යි වැරදි සෙ යෙදිණ. මෙහි මූලපාටය හා සසඳත් මැ, එ වරද හෙළි වෙයි. “නිට්ඨිතාය පන ධම්මදෙසනාය තතො තතො ආගතා මනුස්සා භගවතො ආනුභාවෙන අත්තනො අත්තනො ගාමනිගමාදීස්වෙ’ව පාතුරහෙසුං” යනු අටුවා යැ. මෙහි ‘ගාමනි ගමාදීස්වෙ’ච පාතුරහෙසුං’ යනු ‘ගම් නියම්ගම් ආදියැ පැනුණුහු’යි සියබසින් අනුවාද කොට-ගෙනැ තුබුසෙ සළකන්නේ යැ. එවිට බුදුන්ගේ අනුභාවයෙන් වූ පෙළහර කියැ වෙයි.
භික්‍ෂුදමනයෙහි “කිඹුල්වත් නුවර වැස්සො ද, තොප දින් මැඩුන් කොටගෙන පුරා තුබූ කලැ, ඇපි රත්රන් නිල්මිණි කහවනු ගෙනැ මලු පැස් ගෙනැ තොප ගෙ - දොරැ ඇවිදුනට යමො ද!” යන වැකියෙහි ‘දින්’ - යනු ශස්‍යමඤ්ජරීන් කියයි. දම්පියාඅටුවාගැටපදයෙහි සක්වත්හි “දින් දන ඈ නන් නියරහි” යන මෙහි ‘දින් දන’ යනු ශස්‍ය්‍යන් කැපීම කියන තැනෙකි. එහි ‘දින්’ යි යෙදුණේ, ශස්‍යයන් කියනු පිණිසයි. ‘මැඩුන්’ - යනු මැඩැ රැස් කළ වී කියයි. ‘කොටඟෙ යනු කුශුලය කියයි.’ “තුම්හෙසු කෙට්ඨෙ පූරෙත්වා ඨිතෙසු” යනු මෙහි මූලපාඨයි. ‘කොට්ඨෙ පූරෙත්වා’ යනු ‘කොටගෙ පුරා’ යි සියබසින් ගුරුළුගොමීහු අනුවාද කළහ. සොරත සංස්කරණයෙහි ලා ‘දින් මැඬුන්’ යනු කැපුම් පෑගුම් දැක්වීමෙකි. ‘කොටඟෙ යනු පෙර කිරියක් හා ගෙයක් වෙන වෙන ගැනීමෙකි.
භික්‍ෂුදමනයෙහි “යම් කෙනෙක් නිවහලු වැ තිරිසන් ගතියැ සතුන් සෙයින් බුදුරු රුක්හි වුසුහු ද” යන වැකියෙහි එන ‘බුදුරු රුක්හි’ යනු ‘බුහුරු රුක්හි’ යි ලියති. සොරත සංස්කරණයෙහි දු එ ලෙස මැ එයි. ‘බුහුරු’ යනු සිදුරෙහි වැටෙයි. ‘බුදුරු රුක්’ කිය, සිදුරු ඇති ගස් මිසැ වෘක්‍ෂ විශෙෂ්‍යක් නොගත හෙන්නේ යැ. එයින් මෙ තන්හි තුබුව මනා විශෙෂවෘක්‍ෂ’ වන ‘කොලිවෘක්‍ෂ’ වෙන් වැ නොසිටුනේ වෙයි. ‘කොලිය’ යන නම ‘කොලි’ නම් වෘක්‍ෂ විශෙෂය පිණිසැ කියත් මිසැ සිදුරු ගස් නිසා නො කියයි. දම්පියාඅටුවාගැටපදයෙහි ‘සාකිය කොලිය’ වත්හි ලා “කොලරුක්ඛෙ, කළරුක්හි” යි කී බව මුත් ‘බුහුරුරුක්හි’ යි නොකී සැටි දු විමසන්නේ යැ. මෙ හැම බලත් මැ, ‘කොලරුක්ඛෙ’ යන අටුවාපාඨය ගෙනැ ‘බුහුරුරුක්හි’ යි අනුවාද කළහයි නොපිළි ගත හැකි යැ. කොලිවෘක්‍ෂ කියන නම් වැළෙහි ‘බදරී’ යනුදු ඇත. එය ‘බුදුරු’ යි සියබසැ සිටි. එයින් “තිරිසන් ගතියැ සතුන් සෙයින් බුදුරු රුක්හි වුසුහු ද” යනු ශුද්ධ ලෙස සළකම්හ. අප සොයා-ගත් පොත් අතුරෙන් ඉපැරැණි පොතෙකැ ‘බුදුරු’ යනු දක්නට ලැබිණ.
භික්‍ෂුදමනයෙහි “පැදුන් සක්වළ මුවවිටියෙහි බට බඹ, නීලකිසුණු සමවත් සමවැද නිල්රස් විහිදැ, දහදහස් සක්වළැ ඉඳුනිල්මිණි කවජ පොරොවන්නක්හු සෙයින් තමා ආ පරිදි දන්වා, බුද්ධවීථියැ කිසි කෙනකුන් සිටුනට නොපොහොසත් බැවින් පාළ මහත් බුද්ධවීථින් අවුදු, පැදුන් සක්වළ මුවවිටියෙහි මැ ගොස් සිටියෙ යැ.” යන වැකියෙහි ‘පාළ මහත් බුද්ධවීථින්’ යන පදවැළ ‘පාළ මඟක් බඳු විථීන්’ යනුවෙන් පොත්හි ඇත.
තෙල කථායෙහි දී බඹහු සතර දෙනෙක් සතර දිගින් අවුදු බුදුන් සඟුන් ගුණ වනා වටා ලා පසු බැස, සිටි තැන්හි මැ සිටියහ. දකුණු පැල උතුරු නන් දිගින් ආ බඹහු බුද්ධවීථීන් ආ සැටි අමාවතුරෙහි මැ කියති. බුද්ධවීථියැ කිසි කෙනෙක් සිටුනට නොපොහොසත් වෙති. එයින් මැ එ නිරාකුල යැ. එහි සිටිය, එ වීථිය ආකුලව්‍යාකූල වැ ගමනාගමනසම්පන්න නො වෙයි. හැම තැන දෙවියන් විසින් පරිපූර්ණ වූයෙන් යා හෙන මඟෙක් බුද්ධවීථිය මිසැ නැත. එයින් ප්‍රකට-විශද මහත් බුද්ධවීථින් ආසෙ ‘පාළ මහත් බුද්ධවීථින් අවුදු’ යනුවෙන් පැවැසිණ. “බුද්ධවීති නාම කෙනචි ඔත්ථරිතුං න සක්කා. තස්මා මහතියා’ච බුද්ධවීථියා ආගන්ත්වා” යනු මෙහි මූලය වන ‘සංයුක්තනිකායාර්ථකථා’ වෙයි. ‘මහතියා බුද්ධවීථියා’ යන පද ගෙනැ ලියූ ‘මහත් බුද්ධවීතින්’ යන පාඨය ලිපිදොසින් අවුල් වැ ‘මඟක් බඳු වීථින්, යන සැටියෙන් පුස්කොළපොත්හි ඇත. මහානාම-සොරත සංස්කරණ දෙක්හි මැ ‘මඟක් බඳු වීථින්’ යන ඒ දෝෂය එයි.
දෙවදමනයෙහි “සක්දෙව්රජහු මිනිස් පියෙහි වසන කලැ යන එන ගමනින් වැදැ වසන හලක් කරවා දුන් පින්කැමින් නිපන්නෙයි” යන වැකියෙහි ‘ගමනින්’ යනු බැහැර කොට එ පිණිසැ ‘මඟින්’ යන රූපය කිසි පොතෙකැ එයි. ‘ගමනින්’ යනු වැරැදිසෙ සිතු ලියන්නන් එසෙ කළහයි සිතම්හ. මෙහි දී කෙනෙක් වැරදි සෙ එහි අර්ථ කීහු:
“යන එන ගමනින් වැදැ වසන හලක්-යන එන ගමන්වලින් වැළකී පිවිස වාසය කරන ශාලාවක්; ‘ගමනින්’ යනු අවධි විභක්ත්‍යන්ත පදයෙකි. මෙය උපාත්තවිෂය (අධ්‍යාහාර කරන ලද ක්‍රියාව විෂය කොට ඇති) අවධියි. ........කිසි අවධියෙක් අධ්‍යාහාර කරන ලද ක්‍රියාව විෂය කොට පවතී. ‘වලාකුළින් විදුලිය බබළයි’ යන තන්හි මෙනි. ‘වලාකුළින්’ යන අවධිය ‘නික්ම’ යන අධ්‍යහාර ක්‍රියාව විෂය කොට පවතී. ‘ගමනින් වැඳ යනු ද මෙසේ මැයි.”
ඔවුන් කළ තෙල පරිකථායෙන් ‘ගමනින්’ යන පදය ගෙනැ අර්ථ පරිකල්පනා කළ අයුරු විශද වතුදු, එ අප සිත් නො ගන්නේ යැ. දම්පියාඅටුවා ගැටපදයෙහි “ගමිකස්ස; ගමනී හට” යනුදු (232 පිට) “පදගාමෙහි: පයෙළියෙහි ගැමනින්” යනුදු (176 පිට) ජාතක අටුවා ගැටපදයෙහි “අද්ධීක මනුස්සො, ගමනී මිනිසෙක්” යනුදු (232 පිට) සිඛවළඳවිනිසෙහි “ගමනීවැ සඟවනු ආදි නො කොට උවසර හිම් එක් පසෙකින් ඉක්මෙ නම්” යනුදු (48 පිට) ධම්මපදපුරාණසන්නයෙහි ‘පණ්ඩුපලාසො ‘ච’ යනාදි ගාථාවට ලියූ ගමනි මිනිසුන් ගෙ පූපාපූප ලුණු පුලුපු සාල් බත් ආදී මාර්ගෝපකරණ මෙන්” යනු දැයි මෙ ආදි ඡෙකප්‍රයොග ගනුත් මැ, සියබසෙහි ‘ගමනී’ සදින් යන එන මැඟින් කියනසෙ පෙනේ. ගමන්හි යෙදෙනුයෙ ‘ගැමනී’ නම් වෙයි. එයින් යන එන මාර්ගිකයනට වැඳැ වසන හලක් කැරැලූ බව අමාවතුරු පාඨයෙන් සළකන්නේ යැ.
දෙවදමනයෙහි “සක්දෙව්රජහුගෙ පරිචාරිකාවො මහතෙරුන් දැකැ සුහුරක්හු දුටුව, ණියක සෙයින් විලී ඇති වැ, තමන් තමන්ගෙ අපචර කයට වැදැ දොර අඩවළ කොටැ බලා සිටියො” යන වැකියෙහි ‘සුහුරක් දුටු බෑනියක සෙයින්’ යනු සොරතසංස්කරණ යි.
“බෑනියක - යෙහෙළියක, ලේලියක; ‘බෑන’ ‘භාගිනෙය්‍ය’ ශබ්දයෙන් බිඳුනේය. ‘භගිනිය’ (-සහෝදරිය) ගේ දරුවා’ යන අර්ථයි. සහෝදරිය ගේ දුව බෑනි (-ලේලි) යි. සහෝදරිය ගේ දරුවා නුවුව ද, දුවගේ හිමියාට ද ‘බෑන’ සද ව්‍යවහාර කරනු ලැබේ. එහෙයින් සහෝදරිය ගේ දුවක නුවුව ද පුතාගේ බිරින්දට ද ‘බෑනි’ යි සුහුරා විසින් කිය හැකි වේ. ලේලියට ‘බෑනි’ යි යෙදූ අන් තැනක නො දැක්කෙමු.” යනු සොරත සංස්කරණයෙහි ගැටපද යන්නයි.
මහානාම සංස්කරණයෙහි “සුහුරක්හු දුටු බෑනියන් සෙයින්” යනු එයි. “සුහුරක්හු දුටු මණියක් සෙයින්, සුහුරක්හු දුටු වණියක්හු සෙයින්, සුහුරක්හු දුටු මෑණියන් සෙයින්” මෙ ආදි පාඨ ද පොත්හි ඇත. මෙ අනුවාදයෙහි මුලය සූත්‍රපර්යාප්න පාඨයෙකි. “අද්දසාසුං ඛො සක්කස්ස දෙවානමින්දස්ස පරිචාරිකායො ආයස්මන්තං මහා මොග්ගල්ලානං දුරතො’ච ආගච්ඡන්තං. දිස්වාන ඔත්තප්මානා හිරියමානා සකං සකං ඔවරකං පවිසිංසු. සෙය්‍යථාපිනාම සුණිසා සසුරං දිස්වා” යනු “සුහුරක්හු දුටුව, ණියක සෙයින්” කියා සිය බසින් අනුවාද කළහ. පොත්හි එන ‘වණියක්හු’ යන පදයෙහි ‘ව’ - කාරය නම්, ‘දුටුව’ - යන පදයෙහි අග සිටිය මනා ‘ව’ - කාරය වෙයි. ලියන්නන් එය ‘ණියක්’ යන පදය හා ළං කැරැ ලියුයෙන් ‘වණියක්’ යනු සිද්ධ වී යැ. පසු වැ එය ‘මණියක්, ‘මැණියක්, මෑණියන්’ යි නොඑක් ලෙසින් පෙරැළිණ. දම්පියාඅටුවා ගැටපදයෙහි විශාඛා උපාසිකා වත්හි “සණිසාය, ණියන් ගෙ” යනුදු බ්‍රාහ්මණපුත්ත වස්තුයෙහි “සුණිසා, ණිහි” යනුදු විඩූඩහයා ගෙ වත්හි “ද්වත්තිංස සුණිසා. දෙතිස් ණින්” යනුදු කුක්කුටමිත්ත වස්තුයෙහි “සසුණිසං, ණීන් හා සමඟ” යනු දැයි ඡෙකපාඨ දක්නට ඇතියෙන් පාළියෙහි වදාළ ‘සුණිසා, යන පදය ‘ණියක’ යි ගත්සෙ විශද වැ පෙනේ. එයින් නිරවුල් කොටැ ලේලිය පැවැසෙ. ‘බෑණි’ යනු කපොලකල්පිත වත් මුත් පොත්හි නැත.
බ්‍රහ්මදමනයෙහි “මරහු ගරහා බඹුන් ගරහා” යන පාඨය “බඹපුත් ගරහා බඹුන් ගරහා” යන සැටියෙන් සොරත සංස්කරණයෙහි යෙදිණ. මහානාම සංස්කරණයෙහි දු ළු සැටි මැ එයි. පොත්හි ‘බඹහු’ යනු මිසැ ‘බඹපුත්’ යනු නැත. එක් මැ වැකියෙහි බඹුන් වුව මැනැවැයි දෙ තැනෙකැ නො වුව මැනැවින් එක් තැනක් ‘බඹපුත් වුව මැනැවැයි සිතුවන් කළ පෙරැළීමෙකි. “පජාපතිගරහකා” යනු මෙහි පෙළයි. පජාපතිහු කෙරෙන් බ්‍රහ්මයා වෙන් කොටැ - ගෙනැ මූලපරියාය සූත්‍රයෙහි දු වදාළහ. “මාරො පජාපති” යනු එහි අටුවායි. එයින් අපි පොත්හි එන ‘බඹහු’ යනුත්, ඒ ඒ සංස්කරණයෙහි හෙළා ගත් ‘බඹපුත්’ යනුත් බැහැරැ කොට ‘මරහු’ යනු යෙදුම්හ. මුලැ දී සිටි ‘මරහු’ යන්න කල් යත් යත්, ලියන්නන් විසින් ‘බඹහු’ යි පෙරැළිණි. පසු වැ ඒ ඒ ශෝධකයන් විසින් ‘බඹපුත්’ යි පෙරැළිණි. පෙළ ගෙනැ පරීක්ෂා කරත්, තෙල පෙරැළිය කළසෙ පෙනේ.
බ්‍රහ්මදමනයෙහි “උහු දැකැ බඹහු ‘මෙ බකබ්‍රහ්ම විමන්හි හැලෙයි, කප්රුක්හි හැලෙයි, උඑළයෙන් හිඳි. තො ‘අතුරුධන් වීමි’ යි සිතුයෙහි’යි පරිහාස කළහැ. හෙ බඹුන් විසින් පරිහාස කරන ලද්දෙ දළ බුන් සපක්හු සෙ තෙජ නැති වී යැ” යන වැකියෙහි බඹුන් කළ කී දෑ බුදුන් කළ කී දෑ ලෙස සොරත-මහානාම සංස්කරණ දෙක්හි මැ එයි. දීර්ඝ කාලයෙකැ සිට පුස්කොළ පොත්හි එන ඒ මහ වරද එ ලෙස මැ ගන්නේ, ශොධනයෙක් නොවේ. එයින් අපි අටුවාපාඨ බලා යථාභූතාර්ථය දක්වා ලුම්හ.
මෙහි සඳහන් කළ තැන් තබා මතු කියන තැනුදු විමසන්නේ යැ. අන්‍යයන් ගේ සංස්කරණයෙහි එන පාඨ පළමු වැ දක්වා අප ගේ සංස්කරණයෙහි එන පාඨ දෙවනු වැ මෙහි කළු අකුරින් දක්වම්හ:
“මහදොර” යනු පහාදොර (11 පිට) “ලොධාහි එක්හෙලි වියැ” යනු ලොධා එක් හෙළි වියැ (13 පිට) “පස් පියුමෙන් සැදී, සත්රවැන් මුවා පොකුණෙහි” යනු පස්පියුමෙන් සත් රුවන්මුවා පොකුණෙහි (16 පිට) “ජව ඇත්තෙ යැ” යනු ජව ඇත්තෙ යැ, සව්සුදැ (18 පිට) “අට සැට දහසක්” යනු අටසැට සුවහසක් (20 පිට) “උලෙල වී” යනු ඇළල වී (21 පිට) “නව යොදුන්” යනු උසායෙහි නව යොදුන් (27 පිට) “දහදහසක් යොජනෙහි පටන් ගෙන” යනු දහසක් යොදුනෙහි පටන් ගෙන (27 පිට) “විදුව” යනු බඳුව (27 පිට) “බුදුනට මෙම සෙනස්න නිසි ය” යනු බුදුනට නිසි සෙනස්නැ (39 පිට) “ළදරුවන් හා ළදැරියන්” යනු ළඳරු ළඳරු දරුවන් හා දැරියන් (42 පිට) “හැදවුව” යනු හැදහුවාට (48 පිට) “දෙවියන් හළ දොරින්” යනු දෙවියන් වළ දොරින් (48 පිට) “ඇතක්හු සෙයින්” යනු සෙ-ඇතක්හු සෙයින් (55 පිට) “බුදුන් දුටු කලැ ම පහන්නාහු දු වඳිත්මැ යැ. නොපහන්නා හුදු බොහෝ සේ වඳිත් මැ යැ. වඳනාහු කවර කරුණෙන? යත්” යනු බුදුන් දුටු කලැ මැ පහන්නාහු දු නොපහන්නාහු ද බොහොසෙ වඳිත් මැ යැ. නොවඳනාහු ඇලුප්හ (56 පිට) “ප්‍රසන්න විසිතුරු ව්‍යාකරණ” යනු විසිතුරු ප්‍රශ්න ව්‍යාකරණ (59 පිට) “මුදුනෙහි දිය එව” යනු මුව සලා මුදුනෙහි දිය එවැ (61 පිට) “වරදෙක් නම් නොවේ කැමවූ තැනින් මත්තෙ සෙත්ම වෙයි” යනු වරදෙක් නම්, හෙ වැඳැ කැමවු තැනින් මත්තෙ, සෙත් මැ වෙයි (64 පිට) “ගච්ඡයො නම් වලැ වෙති” යනු ගච්ඡයො නම් වනළැ වැ වෙති (74 පිට) “එ බත් වළඳ කරන්නාහු කන්නාහු බොන්නාහු හෝ වෙති” යනු එ බත් වළඳන්නාහු බොන්නාහු යම් තැනෙක්හි ලැබෙති. (80 පිට) “භවත්හු ගෙ” යනු භගවත්හු ගෙ (87 පිට) “මම් මුල ම කීමි” යනු මම් මුහු වැළැකීමි (90 පිට) “පහය වටා සත්පවුරු සත් දොරටු යැ” යනු පහය වටා පවුරැ, සත් දොරොට්යැ, (90 පිට) “එළුදරුමැඩවුන්” යනු ළඳරු මැඩවුන් (95 පිට) “සුවාසුදහස් සුවාසුදහස් පමණ දෙව්මිනිස්හු දු” යනු සුවසුදහස්සත්හු දු අපමණ දෙව් මිනිස්හු දු (98 පිට) “සැරියුත් මහමුගල් මහසුබ් ඈ මහණ බමුණො” යනු සැරියුත් මහමුගලන් මහසුබ් ඈ බමුණො (98 පිට) “ඇතැම්හු පැන පුළුවුස්නට ගොස් තමන් විසජන්නට පැන නොපොහොසත්සෙ සිතා නො පිළිවිස නො බැණ හිඳිති” යනු ඇතැම්හු පැන පුළුවුස්නට ගොස් තමන් පැන විසජුන් පිළිගන්නට නොපොහොසත්සෙ සිතා නො පිළිවිස මැ නො බැණැ හිඳිති (98 පිට) “වුසුසෙ” යනු ඉවැසුසෙ (100 පිට) “යානයක්” යනු යානයන් (120 පිට) “අනෙක් අශ්වායන රථයාන ඇත ද” යනු අනෙක අශ්වයාන රථයාන ඇත ද (120 පිට) “ජීවකය, මා නො නස්හි දැ යි” යනු ජීවකය මා නො නස අභය දෙයි (123 පිට) “හන් සළු පෙළා පියන පමණ විය” යනු සළු පෙරළා පියන පමණ වියැ (123 පිට) “පෙරට මොහු” යනු පෙරටහු (124 පිට) “දොස් දෙති” යනු දොස් දෙසති (126 පිට) “ගර්ග” යනු භර්ග (130 පිට) “ශිල්පසංහාරයට” යනු ශිල්ප සමහරයට (131 පිට) “වෙදහම්” යනු වෙද්දම් (140 පිට) “ඒ ඒ කුලගෙහි” යනු එකෙකිකුලගෙහි (145 පිට) “සමාහාරයෙහි” යනු සමහරයෙහි (148 පිට) “නුවරැ හුන්නා වූ නොමඳ මිනිස්සු නික්මුනහ” යනු නුවරැ හුන්නවුන් මැදැ වැ මිනිස්හු නික්මුණහ (157 පිට) “පස්කෙළි කෙලිමින්” යනු පස් කෙළිමින් (158 පිට) “වෙදනාවත් වැ” යනු වෙදනා මහත් වැ (165 පිට) “සතුරහු වණන්නෙ තමා මැ හුවා ද” යනු සතුරා හුවන්නෙ තමා මැ හුවා ද (170 පිට) “වහන්සේ වහන්සේ පියා යෙමි” යනු වහන්සෙ පියායෙමි (173 පිට) “සුනක්ඛත්තය, විශාලා නුවරැ මොහු පෙර තුණුරුවන්හි ගුණ කියන කලැ මුව නො පොහොයි.” යනු සුනක්ඛත්තයා විසාලා නුවරැ වැද පෙරැ තුණුරුවන්හි ගුණ කියන කලැ මුව නො පොහොයි. (174 පිට) “රහමස්මුත් බත්” යනු රහමස් මිසැ, බත් (179 පිට) “උත්තමපුරුෂයන් හා වාදයට නොනිස්ස හට දු ප්‍රශංසා වේ” යනු උත්තම පුරුෂයන් හා වාද කොට නොනිස්ස හට දු ප්‍රශංසා වෙ (181 පිට) “අරම්පසතැ” යනු අරම්පසනැ (184 පිට) “අඳුබඳනෙක්හි” යනු අඳුබානෙක්හි (184 පිට) “පාඨිකපුත්‍රයා ගේ සමාගමයට රැස් වූ නුවටනුදු, ආදි ශබ්දයෙන් ගත් නුවටනුදු නුවටලද ගත් නොයෙක් දහස්නුදු” යනු පාඨිකපුත්‍රයාගෙ සමාගමයට රැස් වූ ආදි ශබ්දයෙන් ගත් නුවටනුදු, එවුන් ලද ගත් නොඑක් දහස්නුදු (188 පිට) “අතැවැසි දහසත් හා සමඟ” යනු අතැවැසි දහසුන් හා සමඟ (207 පිට) “අතැවැසි දහස” යනු අතැවැසි දහස්හු (211 පිට) “වැඳැ වැඳැ වෙසෙමි” යනු වැඳැ වෙසෙමි (212 පිට) “රජවරොධ්හු” යනු රැජනවරහු (216 පිට) “පන්සියෝ ම වන බැස” යනු පන්සියො මහවන බැසැ (219 පිට) “සයානුදහසක් කෙළපටනෙහි” යනු සයානු ලක්‍ෂයක් කෙළපටනෙහි (221 පිට) “තෙපණස් රුවන් ආකරයෙහි දු” යනු බත් සැළකුදු (240 පිට) “සිතිවිලි නැති වැ” යනු සිතිවිලි නැති ව. (241 පිට) “ආකූල පාකුල කොළො” යනු ව්‍යාකූල පහළ කොළො (248 පිට) “තො මහණදම්හි සිටියේ විහි නම්” යනු තො මහණදම්හි සිටිහි විහි නම් (249 පිට) “ගිවිස ගෙන් නික්මුණහ” යනු ගිවිසැ-ගෙනැ නික්මුණුහු (249 පිට) “ලප්පෙකැ” යනු ලප්පකැ (250 පිට) “පලුපහණෙකැ” යනු වලපහණෙකැ (266 පිට) “සුධම් දෙව්සභාවට” යනු සුධම් දෙව්සහයට (267 පිට) “දහගබ් මහබෝ” යනු දහ මහබො (271 පිට) “පුළුවුත්හ” යනු පුළුවුත් කලැ (280 පිට) “තොප දිලියෙන ආනුභාව ඇත්තේ යැ; සියලු බඹලෝ බබුළුවමින් සිටියේ යැ” යනු තොප දිලියෙන අනුභාව සියලු බඹලො බුබුළුවමින් සිටියෙ යැ. (302 පිට) “බුදුන් විසින් පරිහාස කරන ලද්දේ” යනු බඹුන් විසින් පරිහාස කරන ලද්දෙ (303 පිට) “දහසක් බඹහු රාත්වූහු” යනු දස දහසක් බඹහු රාත්වුහු (303 පිට).
“දස දහසක් සක්වළැ දියරට් නම් දස දහසක් වරම් රජහු ඇති. ඔහු හැමදෙන කෙළසුවහස් කෙළසුවහස් ගඳැවි දෙවියන් පිරිවරා අවුදු පැදුන් දෙසෙහි මෙ වනයෙහි පටන් ගෙන සක්වළගබ පිරී සිටියාහ” (226 පිට) මෙහි මූලපාඨය නම්: “දසසහස්සෙ චක්කවාළෙ ධතරට්ඨා නාම මහා රාජානො අත්ථි. තෙ සබ්බෙ’පි කොටිසතසහස්ස කොටිසතසහස්සගන්ධබ්බපරිවාරා ආගන්ත්‍වා පුරත්‍ථිමාස දිසාය කපිලවත්ථු මහාවනතො පට්ඨාය චක්කවාළගබ්හං පූරෙතවා ඨිතා” යනුයි. මූලපාඨය හා අනුවාදය හා සසඳත් මැ, “මෙ වනයෙහි” - යනු ‘මහවනයෙහි’ කියා තුබුව මනාසෙ පෙනේ. ‘මෙ වනයෙහි’ - යනු සතර පස් පළෙකැ ළං ළං වැ ඇත ද, එහි අර්ථයක් කියැ හැකි වුව ද, ‘මහවනයෙිහ’ යනු උචිත පද බව අටුවායෙන් විශද වෙයි. ‘මහවන’ යන්න ‘හ’ - කාරයා ගිළිහීමෙන් ම වන’යි තුබුවා දැකැ ලියන්නන් ‘මෙවන’ - කියා සකස් කළහයි සිතම්හ.
අමාවතුරෙහි මුල් පිටුයෙහි අධොලිපි කළ “මෙ වන” - යන්න ද හැම පොත්හි මැ එයි. එ ද ‘මහවන’ - කියා සකස් කරත් මැ, උචිතපදයෙක් මැ වේ. අමාවතුරෙහි සංස්කරණය කරමින් අප කළ පදශුද්ධි හා වාක්‍යශුද්ධි හැම මෙහි නො දැක්වූම්හ. ඒ ඒ උගතුන් පළ කළ අමාවතුරු හා මේ පොත සසඳා ලීමෙන් මෙහි එන වෙනස දත හැකි වෙයි. සංස්කරණය කළ යුතු වුව ද, එසේ නොකළ නෙ තැනුදු මෙහි ඇත. මේ යැ, නිදර්ශනයෙක් නම්;
“දියරට් නම් ගඳෙවු දෙව්රජ කෙළසුවහසක් ගඳෙවු දෙවියන් පිරිවරා කෙළසුවහසක් රන් පලග හා රන් අඩයටි හා ගෙන්වා - ගෙනැ පැදුන් දිසායෙහි පැල දිසා බලා දෙ දෙව්ලොවැ දෙවියන් පෙරට කොටැ අරක් ගෙනැ හිඳී” (269 පි:)
මේ අනුවාදයෙහි මූලපාටය නම්: “ධතරට්ඨො ගන්ධබ්බරාජා ගන්ධබ්බදෙවතානං කොටිසතසහස්සෙන පරිවුතො කොටිසතසහස්ස සුවණ්ණමයඵලකානි ච සුවණ්ණසත්තියො ච ගාහාපෙත්වා පුරත්ථි මාය දිසාය පච්ඡිමාභිමුඛො ද්වීසු දෙවලොකෙසු දෙවතා පුරතො කත්වා නිසින්නො” යනු යි.
ගුරුළුගොමීහු සතරවරමුන් සුධම්මදෙව්සහය අරක් ගන්නා සැටි කියමින් ‘මහගොවින්ද සූත්‍ර වර්ණනා’ යෙහි එන පාඨය සියබසින් අරවා තැබූහ. එයින් එය අටුවාකථා හා සැසඳේ. සක්දෙව් රජහු ගේ උයන්කෙළි කියමින්-
“දියරට් නම් වරම් මහරජ පැදුන්සක්වළ මුවවිටියෙහි තමා ගෙ සෙනඟ එවැ, රිදීමුවා අසිපතර ඉසුලු කෙළසුවහසක් ගඳෙවු දෙව්බළන් ගෙනැ වටා ලූ කෙළසුවහසක් රිදි දඬුවැට ඇතියා වැ සුදුබරණින් සැදී සුදු දිව අස්රජක්හු නැඟී යුගඳුරු ගල් මුදුනෙහි පැදුන්දෙසෙන් අරක් ගන්නි” (271 පි:) යනු කියති. මේ අනුවාදයෙහි මූලපාඨය නම්:
“ධතරට්ඨො නාම මහාරාජා පාවීන චක්කවාළමුඛවට්ටියං අත්තනො සෙනඞ්ගෙන සද්ධිං ඔතරිත්වා රජතමය අසිපත්තධාරිකොටිසත සහස්සගන්ධබ්බගණෙහි සද්ධිං කොටිසතසහස්සරජතදණ්ඩදීපපරිවුතො සබ්බාලඞ්කාරසමලංකතං සුදෙවං නාම රජතවණ්ණතුරගචර මාරුය්හ යුගන්ධගිරිවරසිඛරෙ පාචීනදිසායං ආරක්ඛං ගණ්හාති” යනුයි. (ජිනාලංකාරවණ්ණනා)
දෙවදමන නම් සතළොස් වන පරිච්ඡේදයෙහි දී ගුරුළුගොමීන් සක්දෙවු රජු ගේ දෙව්සභය වනමින් සතර වරමුන්ගේ පැහැ සටහන් ආදිය පිණිසැ පළමු කී බස් හා එහි මැ උයන්කෙළි වනමින් කියන බස් හා නො ගැළපෙයි. 269, 271 පිටු සසඳා බලත් මැ, ඒ නොගැළපෙන සැටිය ප්‍රකට වන්නේ යැ. එතැනින් මෙතැනින් ගත් දඬු කඩ ගළපා කළ හෙයින් සෙයින් ‘දෙවදමන පරිච්ඡෙද’ ය එතැනින් මෙතැනින් ගත් අනුවාදපාඨ ගළපාලීමෙන් ගෙතූ ගෙතිලි යැ. එයින් එකිනෙක නොගැළපෙනසෙ පෙනෙතුදු, ඒ අනුවාද නිරාශ්‍රය නොවේ. එයින් මැ අන් සැටියෙකින් සංස්කරණය කරන්නට නොද හැකි වෙයි. ජිනාලංකාර වර්ණනායෙහි එන විස්තරය කොතැනින් ගත් දැයෙක් වේ දැයි නො දනුම්හ. අමාවතුරෙහි කියන ‘සක්දෙව් උයන්කෙළි’ ය පිණිසැ ජිනාලංකාර වර්ණනාව ආශ්‍රයස්ථාන කොට කියනු විනා දැක්වියැ හෙන අන් ග්‍රන්ථයෙක් ද මෙතෙක් නො ලැබිණ. පොළොන්නරු අවධිය තුන්නකා සමගි කළ කාලය වේ. අභයගිරිවිහාරවාසීහු එ කලැ සිටියහ. ඔවුන් ගේ ග්‍රන්ථයෙකින් ගත් විස්තර ජිනාලංකාර වර්ණනායෙහි ලා ආ වනැසි සිතියැ හැකි යැ. සංවර්ණනා පිණිසැ නිකායාන්තර වාසනීගේ පත පොත ප්‍රමාණ කොට ගැනුම මහවෙහෙර වැසියනට ද අභිමත වේ. විනය අටුවාවෙහි දී වණ්ණපට්ඨානය බලා උගත මනා දැයක් සඳහන් කෙරෙති. ඒ ග්‍රන්ථය විරුද්ධ නිකායෙක ග්‍රන්ථයක් බව සාරත්ථදීපනියෙහි දැක්විණ. අපදානයට විරුද්ධ මත ඇතියෙනුදු කථාවස්තුයෙහි දී ‘සමයවිරුද්ධයහි’ යි ප්‍රතික්ෂේප කළ දැය ඇතුළත් කොට ඇතියෙනුදු අර්ථ කථා මාර්ගයට වෙනස් ලෙස කියන දැය ඇතියෙනුදු මිලින්‍දප්‍රශ්නය මහාවිහාරවාසීන් ගේ ග්‍රන්ථයෙක් නො වේ. එසේ ද වත්, බුද්ධඝොසාචාර්යයෝ ද පවා පෙළට අවිරුද්ධ බස් මිලින්ද ප්‍රශ්නයෙන් ගෙනැ ‘අටුවා’ යෙහි දී ප්‍රමාණ පාඨ සේ දක්වති. අමාවතුරෙහි එන සක්දෙව් රජු ගේ ‘උයන්කෙළි වැනුම’ නිකායාන්තරවාසීන් ගේ සංවර්ණනා වියැ හෙයි. එය ජිනාලංකාර වර්ණනායෙන් හෝ අන් ග්‍රන්ථයෙකින් හෝ ගෙනැ මෙහි ලා අනුවාද කළහයි සිතම්හ. ජිනාලංකාර වර්ණනා පාඨ හා බෙහෙවින් සැසැඳෙනුයෙන් එය ඇසිරි කොට කළ ‘අනුවාද’ යෙකැයි නිශ්චය කරනු නිසි වෙයි. මේ හෙතුවින් ගුරුළුගොමීන් කියන ‘උයන්කෙළිබස්’ හි ඇතැම් දැය අටුවායෙහි ඇත ද, නැත ද එයින් කිම? අනුවාදය පිණිසැ ගත් මූලපාඨයන් ගේ භෙදය නිසා වෙනසක් පෙනෙතුදු එහි ලා කළ හැකි දැයෙක් නැත.
‘සීල’ ආදි ශබ්ද සකුවහර අනු වැ ‘දිශා-ශීල’ යි තාලව්‍යශකාරයෙන් ලියනු උගතුන් හසළ සිරිත් වුව ද, මෙහි කිසි තැනෙකැ පෙළවහර අනු වැ යෙදිණ. සකුවහර අනුවත් පෙළවහර අනුවත් එබඳු ශබ්ද යොදා-ලුසෙ පෙනෙනුයෙන් අපි එය එක් සැටියෙකින් තුබුව මනාසෙ නො සැලැකුම්හ. පාළි වචන ද පවා මෙහි නොඑක් තැනැ ඇතියෙන් පෙළවහර අනු වැ ‘දිසා-සීල’ ආදි ශබ්ද යෙදුමෙහි දුර්ඝටයෙක් ද නො පෙනේ. හුදුහෙළුවට වෙන් වැ සිටුනා වර්ණමාලයෙන් සකුවදන් ලියා-ගෙනැ සියබස් බවට ගත්සෙ තොටගමුසෙ ශ්‍රී රාහුල මාහිමියන් ආදීන්ගේ පද්‍ය රචනායෙහි දු පෙනේ.
‘එසෙ, මෙසෙ, බමණො, මහසල්කුලො’ ආදි පදයෙහි ‘එ, ඔ වර්ණයන් ගේ භ්‍රස්වරූපය මැ මෙහි හැම තැනැ යොදා-ලුම්හ. පැරැණි හැම පොතෙකැ ඒ සැටිය දක්නට ඇති හෙයින් අපි ඒ වර්ණ දික් සටහන් ලා දික් නො කළම්හ.
‘සිරුරු, සිරිරු, සිරිරි’ යන පද තුන මැ නිර්දොෂ වෙයි. අප ගේ සංස්කරණයෙහි දී ප්‍රධාන වශයෙන් තබා ගත් පුස්කොල පොතෙහි එන පදය පිළිගෙනැ ඉතිරි පොත්හි එන පද අධොලිපි වශයෙන් දක්වා ලූම්හ. අධොලිපි කළ පමණෙකින් ‘එහැම අපපාඨයහ’ යි නො සළකන්නේ යැ. එබඳු බොහෝ පාඨ ඇති බව මෙහිලා සඳහන් කිරීම යුතු වෙයි.
‘න ණ ල ළ’ - අකුරු පැරැණි පොත්හි එන සැටි බලා සේ නිසි සේ යෙදුම්හ. සකුයෙහි අක්‍ෂර වින්‍යාසය පිණිසැ බොහෝ ව්‍යවස්ථා ඇත. ඒ ව්‍යවස්ථා නො දැනැ සකුයෙහි වචන ලියන්නට ගියහොත් දෝෂ සිදුවන තැන් බෙහෙවි. පාළියෙහි දු අක්‍ෂර වින්‍යාසය පිණිසැ ව්‍යවස්ථා ඇත. ශාස්ත්‍රානුකූල අක්‍ෂර වින්‍යාසය ඇති මාතෘ භාෂා ඇසිරි කොට සිටුනා සියබසෙහි දු අකුරු පිළිබඳ නීති රීති තුබුව මනා මැ වෙයි. සියබසෙහි ‘නණලළ’ අකුරු පිළිබඳ නීති රීති තුබුව මනා මැ වෙයි. සියබසෙහි ‘නණලළ’ අකුරු පිළිබඳ වැ වාදවිවාද ඇත ද, දැන් රට හැම තැනැ එහි ශාස්ත්‍රීය ක්‍රමය පැතිරැ සිටුනේ යැ. අප ගේ සංස්කරණයෙහි එන අක්‍ෂර වින්‍යාසය ශ්‍රී ධර්මාරාම මාහිමියන් පහදා දුන් අක්‍ෂර වින්‍යාසය වෙයි. ඔබ පහදා - ලූ පමණෙකින් ඇපි නො ලියම්හ. පුස්කොළ පොත් බලන විට උන් වහන්සේ ගේ විනිශ්චය පිළිගත මනාසෙ අපට ද පෙනේ. සියබසෙහි අක්‍ෂර වින්‍යාසය සොයනුවනට ‘සීගිරි පැදිවැළ’ අගනා දැයෙකි. එදා ලියු ලෙස මැ අද ද පවා ඇත. අව්‍යක්ත ලේඛකයන් ගේ වරදින් කලින් කලැ වෙනස් වැ ගියහයි නොකියැ හෙයි. ත්‍රිසිංහලයෙහි ඒ ඒ දෙසින් සීගිරි ගිය උගතුන් සියතින් ලියූ සේ මැ දැනුදු ඇත. එකලැ මෙරට හැම පෙදෙසෙකැ මැ උගතුන් ‘න ණ ල ළ’ නො වරදවා ලියන්නට නිසි වන දැනුම් ඇතියවුන් බව සීගිරිපැදි වැළෙන් හෙළි වෙයි. ශ්‍රී ධර්මාරාම මාහිමියන් ලොවට හෙළි කළ අක්‍ෂර වින්‍යාසය සියබසෙහි පැවැති පැරැණි නියර බවට ‘සීගිරි’ ය ද පවා සාධක පිණිසැ නැඟැ සිටුනා කලැ මෙහි ලා කිනම් විරුද්ධවාද වේ ද? කෙසේ මුර ගැහුව ද, ‘න ණ ල ළ’ නිසි තැනැ ලියන්නට නො දනිත් නම්, ඔහු හැම අන් කුමක් දත ද සියබස නම් නොදත්තාහු වෙති.
තෙල සංස්කරණයෙහි ලා පද බිඳැ දක්වන හැම තැනැ දී “තෙම, තුමූ, විසින්, හට, කෙරෙන්, ගෙන්, ගෙ, කෙරෙහි, යැ, මැ” මෙ ආදිය වෙන වෙන පද විසින් බිඳිණ. පද බිඳින විට ‘ගෙන්, ගෙ, හට යනුවෙන් නොකළ යුතුසෙ කියන පඬිවරුන් ඇත ද, එ වෙන මැ සිටුනා පද බවට ගුරුළුගොමීන් ගේ වාක්‍ය මැ දෙස් දෙයි. “ඇතක්හු මඩනා කලැ ඇතක්හු මැ ගෙ පයින් මැඩිය මැනැවැ” (119 පි:) “අප ද ගෙ” (168 පි:) මෙ ආදි වාක්‍ය ප්‍රදෙශයෙහි ‘ගෙ’ යනුයෙන් පෙරට ‘මැ, ද’ යන නිපාත එයි. එයින් ‘ගෙ’ යනු සම්බන්ධාර්ථය එළි කරන පදාන්තරයක් වත් මුත් විභක්තියක් නොවන බව කියැ වෙයි. මෙ ආදි හෙතු පිණිසැ අප විසින් ඒ ඒ පද වෙන වෙනම ගෙනැ යෙදිණ. එසේ ද වුව, පමාදොස් නිසා මෙහි වියවුල් වැ ගිය තැනුදු ඇතත්, බෙදකර නො වෙතියි සිතම්හ.