පටන් බස

අමාවතුර හෙළ ගත්වැළෙහි උසස් මැ තැනැ දිලියෙහි. මෙය අසෝ වසැ ගෙතිණැයි නියම කොටැ මැ කියනුවට ඉසව්වක් නැතුදු දොළොස්වන සියවසැ අග කොටසට අයත් එකෙකැයි පිළිගන්නට කරුණු පැනෙයි.

මෙ ගත් සැපැයුවෝ ගුරුළුගොමි නම් වියතාණ කෙනෙකි. මෙය මතු නො වැ ධර්මප්‍රදිපිකාව දු ඔවුන් විසින් සැපැයුණෙකි. “ඔහු කෙබඳුවහ!” යනු මෙ දෙ ගතින් හෙලි වෙයි. සකු මගද ඈ බස් දතුවෝ එ දා මහපඬිහු යැ. ඔහු මහමිහිඳු පරපුරින් ගෙනැ ආ බණ පෙළබසින් හා හෙළබසින් හා රැක්කහ. අන් බොදුනකාහි බණ හා බැහැරි සිප් සතර හා සකුබසින් හදාලහ. ගුරුළුගොමීහු එ හැම දහම් සතරෙහි නිපුණයෝ යැ. ධර්මප්‍රදීපිකායෙහි ඒ ඒ තැන පෙළ අටුවා දෙකින් මතු නො වැ ජාතකමාලා බොධිචර්යාවතාර ආදියෙන් ද ඇරැ පෑ ප්‍රමාණපාඨ රාශියෙන් ඔහු සිය සමය සේ මැ බැහැරි සමය ද දතුවන් බව්, එසේ මැ වියරණ සයුරු තිණු මහවියරණැජර කෙනකුන් බව් හෙළි කෙරෙති. ලක්දිවැ කිසි ඇදුර කෙනෙක් සකුපද වැඩි කොටැ යොදා සිය නිබැඳුම් තෙද ගැන්වූහ. කෙනෙක් හුදු හෙළ වහරින් මැ සිය යෙදුම් ඔද ගැන්වූහ. බෙහෙවින් මේ දෙකින් එකෙකැ සමතා අනෙකැ නොසමත් යැ. එසේ ද වත් ගුරුළුගොමීහු මේ සිනා දෙකෙහි මැ තමා එක් සේ සමත් බව ධර්මප්‍රදීපිකායෙන් පෑහ. එහි බොහෝ තැනැ හර බර සකුපද බහුල වැකි යෙදූහ. ‘සුළු කලිඟු වත්” ඈ ඇතැම් තැනැ විසිතුරු වැනුමින් සැපැයුණු රසවත් ඔදවත් නොමුසු හෙළබසින් මැ පිරුණු වැකි යෙදූහ. මෙයින් ඔහු භාෂායෙන් හා ධර්මයෙන් හා ශාස්ත්‍රයෙන් හා සෙසු පඬුවන් ඔබා සිටුත් තමන් සමත් බව් දක්වති. ඔහු ධර්මප්‍රදීපිකාවට පසු පොදු හුදී ජනයා සඳහා ගතක් කරනුවෝ ‘පුරිසධම්මසාරථි’ යනුවෙන් දැක්වුණු බුදුගුණය මැය කොට ගෙනැ බුදුරජුන් පෙරැ බෝසත් සෙමෙහි දු, බුදු වීමෙන් පසු දු සෙස්සන් කෙරෙහි කොදැමෙන රළු පරොස් පුඟුලන් හික්මවනුයෙහි සමත් නිසා දක්වනුවෝ, ලිහිල් බසින් මේ අමාවතුර සැපැයූහ.

මැනවින් විමසන්නහුට මෙහි වෙසෙසි ලකුණු කිහිපයෙක් මතු වෙයි. මෙහි සකුපද අඩු යැ. කියවන්නහුට වෙහෙස කරන වැඩි වැනුමෙක් හෝ පුන පුනා එක් බඳු දෑ ඇරැ පෑමෙක් හෝ නැත. පෙළ අටුවාහි ආ දෑ හෙළබසට නැගීමෙහි දී පදරුතට වඩා හව් අරුතට මුල් තැන දින. අදහස ඉඳුරා හෙළි කරන, වියරණ වැට නො උලැඟැ යෙදූ. සිලිටි වූ මුහුකළ පැහැදිලි බස්වහරින් කරුණු දැක්විණ. පටනැ සිට අවසාන තෙක් ම පැතිරැ පැවැති, කියවන්නහු සිත අදනා පණ ඇති රසවත් ඔදවත් නිබැඳුමෙන් සැරැසුණේ යැ.

මනා බස්වහරෙහි නිපුණ වන්නට උඝත මනා හොඳ පොත් කිහිපයක් ඇත ද. ‘අමාවතුර’ ඒ හැමට මුදුන් වැ සිටී.

අද ලක්දිවැ වැජඹෙන මහපඬිරුවනක් වූ කෝදාගොඩැ ඤාණාලෝක තෙරණුවන් අතින් විසුදු වැ හෙළි දක්නා මේ සැකැසුම ලොවට වැඩ පිණිස වේවායි පතම්හ.

බලන්ගොඩ ආනන්ද මෛත්‍රය මහානායකස්ථවිර.

බු:ව: 2502 (ක්‍රි:ව: 1958.4.30 දිනැ)

බළන්ගොඩැ දහම්ගිරි අසපුයෙහි දී යැ.