නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
අතට ගත් වීදුරු බෝලයක ඇතුළ පිට දෙක දක්නාක් මෙන් සකල ලෝකයේ ඇතුළ පිට දෙක දැකීමෙන් හා වර්තමානය පමණක් නොව අතීතානාගත දෙක ද දැකීමෙහි සමත් වූ සකලක්ලේශ මලාපගමනයෙන් පරම නිර්මල වූ, පරම සුන්දර වූ ඥානයෙන් යුක්ත වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් අවිද්‍යාවෙන් අන්ධව දුකින් දුකට පත් වෙමින් සසර සැරිසරන අසරණ සත්ත්ව සමූහයා කෙරෙහි පතළා වූ මහා කරුණාවෙන් ඔවුනට නිවන් මග දැක්වීම් වශයෙන් පන්සාලිස් වසක් මුළුල්ලෙහි පවත්වන ලද දේශනය වනාහි ධර්ම විනය වශයෙන් දෙවැදෑරුම් වන්නේ ය.
එහි විනය යනු ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රමණ ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රතිපත්ති ක්‍රමය දක්වන්නා වූ දේශනය ය. පෘථිවි වෘක්ෂ පර්වතාදි සංස්කාරයන් ගේ හා මනුෂ්‍ය දේව බ්‍රහ්මාදි සත්ත්වයන්ගේ ද තත්ත්වය ස්කන්ධාදි වශයෙන් අනේකාකාරයෙන් විභාග කොට දක්වන්නාවූ ද, නැවත නැවත ජාතියෙන් ජාතියෙහි සත්ත්වයාගේ උත්පත්තිය සිදුවන සැටි දක්වන්නාවූ ද, සත්ත්වයාට සැප දුක් ලැබෙන සැටි දක්වන්නා වූ ද, පරම සුන්දර ලෝකෝත්තර නිර්වාණ ධාතුව දක්වන්නාවූ ද, ඒ නිවනට පැමිණෙන සැටි දක්වන්නාවූ ද, දේශනය ධර්ම නම් වේ. ඒ ධර්මයෙහි ද සූත්‍ර පිටකය අභිධර්ම පිටකය යි කොටස් දෙකක් ඇත්තේ ය. එයින් අභිධර්ම පිටකය යනු ධම්මසංගණියය, විභංගයය, ධාතු කථාව ය, පුග්ගල පඤ්ඤත්තියය, කථාවත්ථුවය, යමකය ය, පට්ඨානය ය යන ප්‍රකරණ සතය. ඒ සප්ත ප්‍රකරණය වූ අභිධර්ම පිටකය එක පාඩමක් සේ එකිනෙකට සම්බන්ධය ඇත්තාවූ දීර්ඝ දේශනයකි. ඉහත කී ස්කන්ධාදි ධර්ම අඩුවක් නැතිව විස්තර වශයෙන් ක්‍රමානුකූලව අභිධර්ම පිටකයෙහි දක්වා තිබේ. බුද්ධ ධර්මය පිළිබඳව මනා දැනුමක් ඇති කරගත හැකි වන්නේ අභිධර්ම පිටකය උගෙනීමෙනි. තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ ස්ථානවලදී ඒ ඒ පුද්ගලයන් හට සුදුසු පරිදි පවත්වන ලද කෙටි දේශනයෝ සූත්‍ර නම් වෙති. ඒ දේශනා සමූහයකට සූත්‍ර පිටකය යි කියනු ලැබේ. ඒ සූත්‍රවල එකිනෙකට සම්බන්ධයක් නැත්තේය. කෙටි දේශනයකින් ඉහත කී කරුණු පිළිබඳ විස්තරයක් නොකළ හැකි බැවින් ලෝක තත්ත්වය මැනවින් විස්තර කරන සූත්‍රයක් නැත්තේ ය. සූත්‍ර ධර්ම වනාහි වෛද්‍යවරයකු විසින් රෝගීන් පරීක්‍ෂා කර ඒ ඒ රෝගියාට සුදුසු හැටියට ලියන ලද බෙහෙත් සීට්ටු රැසක් වැනිය. අභිධර්ම පිටකය ඒ වෛද්‍යවරයා දැන සිටින වෛද්‍ය ශාස්ත්‍රය වැනිය. ක්‍රමානුකූලව වෛද්‍ය ශාස්ත්‍රය උගෙනීමෙන් මිස බෙහෙත් සීට්ටු කියැවීමෙන් වෛද්‍යවරයකු නොවිය හැකි වන්නාක් මෙන් බෙහෙත් සීට්ටු රැසක් බඳු වූ සූත්‍ර පිටකය උගෙනීමෙන් බුද්ධ ධර්මය මනා කොට දන්නකු නොවිය හැකිය. හොඳ ධර්ම ධරයකු හොඳ ධර්ම කථිකයකු නොවිය හැකිය. අභිධර්මය නොදත් තැනැත්තාගේ ධර්ම ඥානය ද අවුල් ය. ධර්ම දේශනය ද අපරිශුද්ධය. එහි ඇති අවුල් එහි ඇති වරද ආභිධර්මිකයන්ට මිස සෙස්සන්ට නො දැනෙන්නේ ය. එබැවින් සෙස්සෝ ඒ අවුල් දෙසුමට ද පසස්නාහ. දේශකයා ද තමාගේ දේශනයෙහි තතු නොදන්නා බැවින් එය උසස් කොට සිතා සතුටු වන්නේ ය. සමහර විට තමා ගැන ආඩම්බර ද වන්නේය. අභිධර්මය දැන ගන්නා තෙක් ඒ වැරදි හැඟීම ඔහුගෙන් නො දුරුවන්නේ ය. අභිධර්මය නූගත් තැනැත්තාගේ ධර්ම දේශනය ගැන “අත්ථසාලිනි” නම් වූ අබිදම් අටුවාවෙහි මෙසේ දක්වා තිබේ.
“ආභිධම්මික භික්ඛු යෙව කිර ධම්මකථිකා නාම, අවසෙසා ධම්මං කථෙන්තාපි න ධම්මකථිකා. කස්මා? තෙ හි ධම්මං කථෙන්තා කම්මන්තරං විපාකන්තරං රූපාරූපරිච්ඡෙදං ධම්මන්තරං ආලෝලෙත්වා කථෙන්ති. ආභිධම්මිකා පන ධම්මන්තරං න ආලෝලෙන්ති. තස්මා ආභිධම්මිකො භික්ඛු ධම්මං කථෙතු වා මා වා පුච්ඡිත කාලෙ පන කථෙස්සතී ති සො යෙව ධම්ම කථිකො නාම හෝති.”
“ආභිධම්මික භික්ෂුහුම ධර්ම කථිකයෝ නම් වෙති. සෙස්සෝ දහම් දෙසන්නාහු ද ධර්ම කථිකයෝ නො වෙති. කුමක් හෙයින් ද යත්? ඔවුහු දහම් දෙසන්නාහු එක් කර්මයක් තවත් කර්මයක් හා අවුල් කොට ද එක් විපාකයක් තවත් විපාකයක් හා අවුල් කොට ද රූපාරූප දෙක අවුල් කොට ද එක් ධර්මයක් තවත් ධර්මයක් හා අවුල් කොට ද දහම් දෙසති. ආභිධම්මිකයෝ වනාහි ධර්මය අවුල් නො කෙරෙති. එබැවින් අභිධර්මය දන්නා භික්ෂුව බණ කියන්නේ හෝ වේවා නො කියන්නේ හෝ වේවා අනුන් විසින් ඇසූ විටෙක නො වරදවා කාරණය කියන බැවින් හෙතෙමේ ම ඒකාන්තයෙන් ධර්මකථිකයා නම් වේ” ය යනු එහි අදහසයි. කරුණු මෙසේ හෙයින් බුදු සමය නිරවුල් ලෙස දනු කැමති සැම දෙනා විසින් ම අභිධර්ම පිටකය උගත යුතුය.
අභිධර්මය ඉතා ගැඹුරු විද්‍යාවෙකි. එහි උගන්වන ධර්ම අතිශයින් සූක්ෂම ඒවා ය. කුඩා දේ මහත් කොට දක්වන කණ්නාඩි ආදි නවීන විද්‍යාඥයන් පාවිච්චි කරන උපකරණවල ආධාරයෙන් ඒ ධර්ම නො දත හැකි ය. ඒවා ශුද්ධ ඥානයෙන් ම දත යුතු ධර්මයෝ ය. ඒවා මැනවින් තේරුම් ගත හැකි වීමට උත්පත්තියෙන් පිහිටි ශුද්ධ බුද්ධිය තිබිය යුතුය. උත්පත්තියෙන් පිහිටි ඥානය නැතියවුන්ට ඒවා අවබෝධ කර ගැනීම අපහසුය. ඒ නිසා පොත පත උගත් සෑම දෙනාට ම ඒවා ගැන මනා වැටහීමක් ඇති නො වේ.
ගුරුන්ගෙන් හා පොත පතින් අභිධර්මය උගත් මන්ද බුද්ධිකයන් සමත් වන්නේ ධර්ම පාඨ කීමට හා පරමාර්ථ ධර්මයන්ගේ නම් හා ගණන් කීමට පමණෙකි. එයින් අභිධර්මය දනිමු යයි ඔවුහු රැවටෙති. ක්‍රමානුකූලව ඉගෙනීමක් නො කොට අභිධර්මය දැන ගන්නට සිතා අතනින් මෙතනින් පොත පත කියවන්නන්ට ද බොහෝ සෙයින් ඇති වන්නේ පරමාර්ථ ධර්ම පිළිබඳ වැරදි හැඟීම් ය. එසේ වැරදි හැඟීම් ඇතිවීම නිසා පරමාර්ථ ධර්මය දනිමු යි රැවටී සිටින්නෝ ද බොහෝ ය.
පරමාර්ථ ධර්ම අතිසූක්ෂම බැවින් දුරවබෝධ ය. එබැවින් ඒ ධර්මයන් ගුරුන් ගෙන් අසන කල්හි ද පොත පතින් බලන කල්හි ද වැරදි හැඟීම් ඇති වීමෙන් උත්පත්තියෙන් පිහිටි නුවණ ඇත්තෝ ද නොයෙක් විට රැවටෙති. වැරදි දැනුම නො දැනීමට වඩා නපුරු ය. එබැවින් සැම කරුණක්ම පිරිසිදු ලෙස දැන ගැනීමට උත්සාහ කළ යුතුය. තමා ඒ කාරණය දැන සිටින සැටි හරි ද වැරදි ද යන බව දැන ගැනීමට නැවත නැවත පොත පත කියවිය යුතුය. එක පොතකින් තේරුම් ගත් කරුණු තවත් පොත්වල විස්තර කර තිබෙන සැටි ද බැලියයුතුය. ඒවා එකිනෙකට සසඳා බැලිය යුතු ය. දන්නා වූ අන්‍යයන් ගෙන් ද කරුණු විමසිය යුතු ය. එසේ කොට සෑම පරමාර්ථ ධර්මයක් පිළිබඳ වූ ම දැනුම පිරිසිදු කර ගත යුතුය.
සිතය, චෛතසික දෙපනසය, රූප අටවිස්සය, නිවනය යි අභිධර්මයේ මෞලික ධර්ම දෙ අසූවකි. අභිධර්මය උගන්නා තැනැත්තන් විසින් උගෙනීමේ අඩිතාලම වශයෙන් ඒ ධර්ම අසූ දෙක මැනවින් උගත යුතුය. මෞලික ධර්ම පිළිබඳ දැනුමෙහි වරදක් ඇති වුවහොත් ඒ වරද දිගට ම යන බැවින් සෑම තැන දී ම එයින් අවුල් ඇති වේ. ඒ ධර්ම ටික හොඳින් තේරුම් ගත හොත් අභිධර්ම පිටකය පහසුවෙන් උගත හැකි වේ. ඒ ධර්ම ටික හොඳින් තේරුම් නොගෙන අභිධර්ම පිටකය කීප වාරයක් අවසන් වන්නට උගතත් ධර්මය ගැන පිරිසිදු අවබෝධයක් ඒ තැනැත්තාට නො වන්නේ ය. එබැවින් මෞලික ධර්ම සමූහය මනා කොට තේරුම් ගැනීමට අභිධර්මය උගනුවන් විසින් විශේෂයෙන් උත්සාහ කළ යුතුය.