අනුන්ට ඔවුන්ගේ කැමැත්තේ සැටියට හැසිරෙන්නට නො දී තමන්ගේ කැමැත්තේ හැටියට අනුන් හසුරුවන රාජාදීහු අධිපතීහු ය. ඔවුන් කෙරෙහි ඇති එසේ කළ හැකි බලය අධිපති බව ය. ඇතැම් පුද්ගලයන්ට මෙන් අධිපතිබලය ඇත්තා වූ නාම රූප ධර්මයෝ ඇත්තාහ. ඔවුන්ගේ අධිපති බව නිසා ඔවුන්ට අනුකූල වීම් වශයෙන් ඇතැම් නාම රූප ධර්මයෝ උපදිති. එසේ උපදනා නාම රූප ධර්මයනට බලවත් ධර්මයන්ගේ අධිපති බව ඉපදීමේ හේතුවක් වේ. ඉපදීමට උපකාරයක් වේ. එබැවින් අධිපති භාවය ඇත්තා වූ ධර්මය තමා නිසා උපදනා ධර්මයට අධිපති ප්‍රත්‍යයෙන් උපකාර වේය යි කියනු ලැබේ. ඒ උපකාර ඒ ධර්මය කෙරෙහි ඇත්තා වූ අධිපති ශක්තිය ම ය. ආරම්මණාධිපති ප්‍රත්‍යයය සහජාතාධිපති ප්‍රත්‍යයයි අධිපති ප්‍රත්‍යය දෙවැදෑරුම් වේ. එයින් ආරම්මණාධිපති ප්‍රත්‍ය වන්නේ ගරු කළ යුතු අරමුණ ය. මඟ යන කල්හි කසල ගොඩක් දුටුවකුට එය අමතක වන්නාක් මෙන්, මුදල් ගොඩක් දුටුවකුට එය අමතක නො වන්නේ ය. ඔහුට එය නැවත නැවත සිහි වන්නේය. සිහිවීමය යනු මුදල් ගොඩ පිළිබඳව නැවත නැවත සිත් ඇතිවීමය. මුදල් ගොඩ දුටුවහුට එය පිළිබඳව නැවත නැවතත් සිත් ඇති වන්නේ මුදලෙහි ඇති එය අරමුණු කොට නැවත නැවත සිත් ඉපදවීමේ ශක්තිය නිසා ය. කසල ගොඩෙහි එබන්දක් නැති බැවින් දුටුවහුට එය අමතක වන්නේ ය. මුදල් ගොඩෙහි ඇති එය ගැන නැවත නැවත සිත් ඉපදවීමේ ශක්තිය එහි අධිපති භාවය ය. ඒ අධිපති භාවය නිසා එයට අවනතව බොහෝ චිත්ත චෛතසිකයෝ උපදිති. ඒ චිත්ත චෛතසිකයන්ගේ උත්පත්තියට මුදල් ගොඩ අධිපති භාවයෙන් උපකාර වේ. එසේ අධිපති භාවයෙන් තමාට අනුකූලව චිත්ත චෛතසිකයන් ඉපදීමට හේතුවන ඉෂ්ටාරම්මණයෝ ආරම්මණාධිපති ප්‍රත්‍යය වෙති.
ආරම්මණාධිපති ප්‍රත්‍යයේ ත්‍රිරාශිය
වර්තමාන වූ ද අතීත වූ ද අනාගත වූ ද ගරු කළ යුතුවූ ඉෂ්ට නිෂ්පන්න රූප අටළොසය, ද්වේෂ මූලද්වයය, මෝහ මූලද්වයය, දුඃඛ සසහගත කාය විඥානයය යන මොවුන් හැර ඉතිරි සිත් සූඅසූවය, ද්වේෂ ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය කෞතෘත්‍ය විචිකිත්සා වර්ජිත චෛතසික සත් සාළිසය, කාලමුත්ත නිර්වාණයය යන මොහු ආරම්මණාධිපති ප්‍රත්‍යය ධර්මයෝ ය.
ඒ ධර්ම ගරු කොට අරමුණු කරන්නා වූ ලෝභ මූල සිත් අටය, මහා කුසල් සිත් අටය, මහා ක්‍රියා ඥාන සම්ප්‍රයුක්ත සිත් සතරය, ලෝකෝත්තර සිත් අටය යන සිත් විසි අටය, ද්වේෂ ඊර්‍ෂ්‍යා මාත්ර්‍ස්‍ය කෞතෘත්‍ය විචිකිත්සා අප්‍රමාණ්‍ය වර්ජිත චෛතසික පන්සාළිසය යන මොහු ආරම්මණාධිපති ප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්න ධර්මයෝ ය.
කිසි ධර්මයක් ගරු කොට අරමුණු නො කරන්නා වූ ද ගරු කොට අරමුණු නො කරන අවස්ථාවෙහි වූ ද ලෞකික සිත් එක් අසූවය, චෛතසික දෙපනසය, චිත්තජාදි රූප කොටස් සතය යන මොහු ආරම්මණාධිපති ප්‍රත්‍යයේ ප්‍රත්‍යනීක ධර්මයෝ ය.
ලෝකෝත්තර සිත්වල එක ම අරමුණ නිවන ය. ඒවායින් නිවන අරමුණු කරන්නේ ද ගරු කොට ම ය. එබැවින් ලෝකෝත්තරය සෑම කල්හි ම ආරම්මණාධිපති ප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්නයක් වේ. ප්‍රත්‍යනීකවලදී ලෝකෝත්තර චිත්තය නො ගන්නා ලද්දේ එහි ගරු නො කොට අරමුණු කරන අවස්ථාවක් නැති බැවිනි. ආරම්මණාධිපති ප්‍රත්‍යයෝත්පන්න වන ලෞකික සිත් විස්ස සැම කල්හි ම යම් කිසිවක් ගරුකොට අරමුණු කරන්නේ නොවේ. ගරුකොට අරමුණු නො කරන අවස්ථාවෙහි වූ ඒ සිත් ආරම්මණාධිපති ප්‍රත්‍යය නො ලබන බැවින් ප්‍රත්‍යනීක වලට ද ඒවා ගනු ලැබේ.
ආරම්මණාධිපති ප්‍රත්‍යය වශයෙන් කියන ලද ධර්ම සියල්ල ම ප්‍රත්‍යයෝත්පන්න වශයෙන් කියන ලද ධර්ම සියල්ලට ම ප්‍රත්‍යය වන්නේ නො වේ. ඒවායේ ප්‍රත්‍යය වන පිළිවෙළ මෙසේය: ලෝභ මූල සිත් අටය, ලෞකික කුසල් සිත් සතළොසය, දුඃඛ සහගත කාය විඥානය හැර ලෞකික විපාක එක් තිසය, ක්‍රියා සිත් විස්සය, ඉෂ්ට නිෂ්පන්න රූප අටළොසය යන මොහු ලෝභ මූල සිත් අටට ආරම්මණාධිපති ප්‍රත්‍යය වේ. ලෞකික කුසල සිත් සතොළොස මහා කුශල ඥාන විප්‍රයුක්ත සිත් සතරට ප්‍රත්‍යය වේ. ලෞකික කුසල් සිත් සතොළොසය, අර්හත් මාර්ග අර්හත් ඵල වර්ජිත ලෝකෝත්තර සිත් සයය, නිවනය යන මොහු මහා කුශල ඥාන සම්ප්‍රයුක්ත සිත් සතරට ප්‍රත්‍යය වේ. අර්හත් මාර්ගය ය, අර්හත් ඵලය ය, නිවනය යන මොහු මහාක්‍රියා ඥානසම්ප්‍රයුක්ත සිත් සතරට ප්‍රත්‍යය වෙති. නිවන ලෝකෝත්තර සිත් අටට ප්‍රත්‍යය වේ.
ඡන්දය, චිත්තය, විරිය, වීමංසය යි අධිපති ධර්ම සතරෙකි. ඒවායේ අධිපති බව පවත්නේ තමන් හා එක්ව උපදනා ධර්මයන්ට ය. එබැවින් ඒවාට සහජාතාධිපතිය යි කියනු ලැබේ. එහි ඡන්දය යනු යම් කිසිවක් සිදු කිරීම පිළිබඳ වූ බලවත් කැමැත්ත ය. තද ඕනෑකම ය. එය දෙපනස් චෛතසිකයන් අතුරෙන් ඡන්ද චෛතසිකය ය. දුබල ඡන්දය අධිපති නො වේ. මා විසින් දීම කළ යුතුය යි දීමට සිත නමාගත් තැනැත්තා කෙරෙහි, දීම සිදු කිරීම් වශයෙන් බලවත් ඡන්දය ඇති වේ. එය සිතත් තවත් චෛතසිකයනුත් සමග මිස හුදකලාව ඇති වන්නක් නො වේ. ඡන්දය ඇති වන කල්හි සිත ද එය හා ඇති වීමට සුදුසු චෛතසිකයෝ ද චිත්තජ රූපයෝ ද එයට අනුකූලව එය හා සමඟ ම උපදී. ඡන්දයට අනුව උපදනා වූ ඒ ධර්මයන් උපදින්නේ බලවත් ඡන්දය නිසා ය. ඡන්දය නැතහොත් ඒ ධර්මයෝ නූපදනාහ. එබැවින් ඡන්දය ඒ ධර්මයන් හට අධිපති භාවයෙන් ප්‍රත්‍යය වේ යයි කියනු ලැබේ. චිත්තාදීන් සහජාත ධර්මයන්ට ප්‍රත්‍යය වන සැටි ද එසේ ම දත යුතුය. ඡන්ද චිත්ත විරිය වීමංස යන ධර්ම සතර එකට බැඳී එකවර උපදී. එහෙත් එක් වරක දී අධිපති වන්නේ ඉන් එකක් පමණකි. ඉතිරි තුන ම තම තමන් අධිපති නොවන අවස්ථාවේදී අධිපති වන ධර්මයට අනුකූල වේ.
සහජාතාධිපති ත්‍රිරාශිය
තම තමා අධිපති වන අවස්ථාවෙහි වූ දෙපනස් සාධිපති ජවන චිත්තයය, තත් සම්ප්‍රයුක්ත ඡන්ද වීර්‍ය්‍ය වීමංශයෝ ය යන මොහු අධිපති ප්‍රත්‍යය වන ධර්මයෝ ය.
ඒ ඒ අවස්ථාවෙහි අධිපති වූ ධර්මයෙන් අන්‍ය වූ දෙපනස් සාධිපති ජවනය ය, විචිකිත්සා වර්ජිත චෛතසික එක් පනස ය, සාධිපති චිත්තජ රූපය යන මොහු ප්‍රත්‍යයෝත්පන්නයෝ ය.
අධිපති ප්‍රත්‍යය නො ලබන්නා වූ ද නො ලබන අවස්ථාවෙහි වූ ද කාම සිත් සිවුපනසය, මහද්ගත විපාක නවයය, චෛතසික දෙපනසය, ඒ ඒ අවස්ථාවෙහි අධිපති වන ධර්මයය, නිරාධිපති චිත්තජ රූපය, ප්‍රතිසන්ධි කර්මජ රූපය, බාහිර රූපය, ආහාරජ රූපය, සෘතුජ රූපය, අසංඥ සත්ත්ව කර්මජ රූපය, ප්‍රවෘත්ති කර්මජ රූපය යන මොහු සහජාතාධිපති ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යනීක ධර්මයෝ ය.
සාධිපති ජවන දෙපනසය යනු මෝහ මූල සිත් දෙක හා හසිතෝත්පාදය හැර ඉතිරි ජවනයෝ ය. අධිපති ලැබෙන්නේ ද්වි හේතුක ත්‍රි හේතුක ජවනයන්හි ය.