හේතු යන වචනය ලෝකයෙහි බොහෝ සෙයින් භාවිත කරන්නේ උපකාරක දෙයය යන අර්ථය පැවසීමට ය. මේ ප්‍රත්‍යය කථාවෙහි ඒ අර්ථය පැවසීමට ව්‍යවහාර කරනුයේ ප්‍රත්‍යය යන වචනය ය. හේතු යන වචනයෙන් මෙහි ගනු ලබනුයේ මූලය යන අර්ථය ය. අභිධර්මයේ දී අහේතුක සහේතුක භාවය කියන සැම තැනක දී ම හේතු ශබ්දයෙන් ගනු ලබනුයේ මූලය යන අර්ථය ම ය. පොළොවට කා වැදී පොළොව තදින් අල්ලාගෙන සිටින මුල් සමූහයෙන් ගස පොළොවෙහි නො සැලී පිහිටා සිටී. ගස්වලට එසේ පිහිටා සිටීමට මුල් උපකාර වන්නාක් මෙන්, තමා හා සම්ප්‍රයුක්ත නාම ධර්මයන්හට ආරම්මණයෙහි ස්ථිරව පිහිටා සිටීමට හා නැවත නැවත ඒ ආරම්මණයෙහි ඉපදීම් වශයෙන් වැඩීමටත් උපකාර වන ධර්ම හේතු ප්‍රත්‍යය නම් වේ. හේතු පච්චය යන වචනයේ අර්ථය කියත හොත් හේතු හෙවත් මූල වූ උපකාරක ධර්මය ය කියා හෝ මූල භාවයෙන් උපකාරක ධර්මය ය කියා හෝ කිය යුතු ය. සම්ප්‍රයුක්ත ධර්මයනට මූල භාවයෙන් උපකාරක ධර්ම නම් ලෝභය, ද්වේෂය, මෝහය, අලෝභය, අද්වේශය, අමෝහය යන මේ සය ය. සම්ප්‍රයුක්ත ධර්මයෝ යයි කියනුයේ එකට බැඳී උපදනා චිත්ත චෛතසිකයන්ට ය. මුල් කඳ මහ අතු කුඩා අතු කොළ මල් ගෙඩි යන මේවා ගසක කොටස් ය. ඒවායින් මුල් පොළොවට කාවැදී තදින් පොළොව අල්ලා ගෙන සිටී. එසේ පිහිටා සිටින මුල් නිසා ඉතිරි කොටස් පොළොවෙහි පිහිටයි. එමෙන් ම එකට උපදනා චිත්ත චෛතසික සමූහයක ඇති එකක් වූ හෝ දෙකක් වූ හෝ තුනක් වූ හෝ හේතු ධර්මයන් විසින් අරමුණෙහි කා වදින්නාක් මෙන් ආරම්මණය තදින් ගැනීම එහි පිහිටීම ය. තදින් ගැනීම් වශයෙන් ආරම්මණයෙහි හේතූන් පිහිටි කල්හි ඒවා හා බැඳී උපදනා වූ සම්ප්‍රයුක්ත ධර්ම නම් වූ සිත හා ඉතිරි චෛතසිකයෝ ද හේතූන් නිසා ආරම්මණයෙහි මනා කොට පිහිටති. සම්ප්‍රයුක්ත ධර්මයන් ගේ ආරම්මණයෙහි ස්ථිරව පිහිටීම හේතූන් නිසා සිදු වන්නක් බැවින් හේතූහු සම්ප්‍රයුක්ත ධර්මයන් ගේ ස්ථිරව පිහිටීම සිදු කරන ධර්ම සැටියට කියනු ලැබෙත්.
හේතූන්හි ඇති අරමුණ තදින් ගන්නා ස්වභාවය තේරුම් ගත හැකි වන්නේ ලෝභ ද්වේෂ දෙක ගැන සිතා බැලීමෙනි. ලස්සනය හොඳය කියා මිනිසුන් උසස් කොට සලකන ස්ත්‍රී රූපාදි දෙයක් අරමුණු කොට උපදනා සිත හා චෛතසික ධර්ම සමූහයෙහි ඇති ලෝභ චෛතසිකය චිත්ත ස්පර්ශාදි සම්ප්‍රයුක්ත ධර්මයන්ට වඩා අරමුණ තදින් ගනී. එබඳු අවස්ථාවලදී චිත්ත ස්පර්ශාදිය යට කොට ලෝභය ම ප්‍රකට වේ. එබැවින් මනුෂ්‍යයෝ එබඳු අවස්ථාවල දී සිතක් උපන් බව පවා නො සලකා ලෝභයක් උපන් සැටියට ම සලකති. ලෝභයක් උපන් බව ම කියති. ලෝභයට අනුකූලව එය හා පවත්නා මෝහය ද ලෝභය මෙන් ම අරමුණ තදින් ගනී. එහෙත් එය අප්‍රකට ය. යම් කිසිවක් ගැන වරක් උපන් ලෝභය ප්‍රහාණය කිරීම අපහසු වන්නේ ද, ඒ අරමුණ පිළිබඳව, නැවත නැවත ලෝභ සහගත සිත් උපදනේ ද ලෝභයෙහි ඇති අරමුණ තදින් ගන්නා ස්වභාවය නිසා ය.
යම් කිසිවකු ගැන ද්වේෂ සහගත සිතක් ඇති වූ කල්හි ද, ඒ සිත හා අවශේෂ චෛතසිකයන්ට වඩා තදින් ද්වේෂය ඒ පුද්ගලයා අල්ලාගනී. අරමුණු කිරීම් මාත්‍රය කරන චිත්ත ස්පර්ශාදීහු එසේ තදින් ඒ අරමුණ නො ගනිති. එබැවින් එබඳු අවස්ථාවල දී ද්වේෂය ම ඇති වූ බව මිස සිතක් ඇති වූ බව ද නො දැනේ. එබැවින් එබඳු අවස්ථාවල දී මනුෂ්‍යයෝ මට තද කෝපයක් ඇතිවූයේ ය, තද තරහක් ඇතිවූයේ යයි කියති. අරමුණෙහි කාවැදෙන්නාක් මෙන් තදින් අරමුණ ගනිමින් උපන් බැවින් එහි බලය චිත්ත සන්තානයෙහි ඉතිරි වේ. එබැවින් එය ප්‍රහාණය කිරීමට දුෂ්කර වේ. නැවත නැවත ද එය උපදින්නේ ය. ද්වේෂ සහගත වූමෝහය එහි ආදීනවය වසා ද්වේෂය ම මිහිරක් කරවීම් වශයෙන් එයට ම අනුකූලව ආරම්මණය තදින් ගනී. ආරම්මණයෙහි කා වැදෙන්නාක් මෙන් වේ. අලෝභාදි ඉතිරි හේතුන් ආරම්මණය තදින් ගන්නා සැටි ද කල්පනා කළ යුතුය.
ස්ථිරව පිහිටීමට හා ඉපදීමට සම්ප්‍රයුක්ත ධර්මයනට උපකාර වන ප්‍රතිසන්ධි චිත්ත සම්ප්‍රයුක්ත හේතූහු ප්‍රතිසන්ධි චිත්තය හා උපදනා කර්මජ රූපයන්ට ද, ඉන් පසු උපදනා චිත්තයන් හා සම්ප්‍රයුක්ත හේතූහු චිත්තජ රූපයන්ට ද උපකාර වේ. චිත්තජ රූපයන්ට හා ප්‍රතිසන්ධි කර්මජ රූපයන්ට ප්‍රත්‍යය වන්නේ ඒවායේ ස්ථිරත්වයට නොව ඉපදීමට ය.
චිත්තජ රූප ද ඉපදීමට සමත් නො වූ අති දුර්වල වූ ප්‍රතිසන්ධි චිත්ත සම්ප්‍රයුක්ත හේතූන් කර්මජ රූපයනට උපකාර වන්නේ කෙසේ ද? යන ප්‍රශ්නය මෙහි දී ඇතිවේ. ප්‍රතිසන්ධි විඥානය චිත්තජ රූප ඉපදවීමට සමත් නො වතුදු ප්‍රතිසන්ධි විඥානය පහළ නො වෙත හොත් එය සමග උපදනා කර්මජ රූපයෝ පහළ නො වෙති. ප්‍රතිසන්ධි කර්මජ රූපයනට ප්‍රතිසන්ධි විඥානය බීජයක් වැනි වේ. එබැවින් ප්‍රතිසන්ධි විඥාන සම්ප්‍රයුක්ත හේතූහු එය හා සමග උපදනා වූ භවයේ ප්‍රථම කර්මජ රූපයනට ප්‍රත්‍යය වන බව කියනු ලැබේ. ප්‍රතිසන්ධියෙන් පසු උපදනා සිත් හා කර්මජ රූප පරම්පරාවේ සම්බන්ධයක් නැත්තේ ය. බීජයෙන් ඇති වූ ගස බීජය නැති වී ගියාට පසු ද පවත්නාක් මෙන් ප්‍රතිසන්ධි විඥාන සංඛ්‍යාත බීජය හා උපන්නා වූ කර්මජ රූප පරම්පරාව සිත් නූපන්නත් පවත්නේ ය. ඒ බව නිරෝධ සමාපත්තියට සමවන් පුද්ලයන් ගේ වශයෙන් තේරුම් ගත යුතුය. නිරෝධ සමාපත්තියට සමවන් පුද්ගලයාට සිත් නූපදී. එබැවින් චිත්තජ රූප ද නූපදී. එහෙත් කර්මජ රූපයන්ගේ උත්පත්තිය ඒ තැනැත්තා කෙරෙහි නො අඩුව ම සිදු වේ.
හේතුප්‍රත්‍යායේ රාශිත්‍රය
ලෝභය, ද්වේෂය, මෝහය, අලෝභය, අද්වේෂය, අමෝහය යන හේතු ධර්මයෝ හේතු ප්‍රත්‍යය වන ධර්මයෝ ය.
සහේතුක සිත් එක්සැත්තෑවය, මෝහ මූල ද්වයෙහි මෝහය හැර චෛතසික දෙපනසය, සහේතුක චිත්තජ රූපය, සහේතුක ප්‍රතිසන්ධි කර්මජ රූපය යන මොහු හේතු ප්‍රත්‍යයා ගේ ප්‍රත්‍යයෝත්පන්න ධර්මයෝ ය.
අහේතුක සිත් අටළොසය, ඡන්ද වර්ජිත අන්‍ය සමාන දොළොසය, මෝහ මූලද්වයෙහි මෝහයය, අහේතුක චිත්තජ රූපය, අහේතුක ප්‍රතිසන්ධි කර්මජ රූපය, බාහිර රූපය, ආහාරජ රූපය, සෘතුජ රූපය, අසංඥ සත්ත්ව කර්මජ රූපය, ප්‍රවෘත්ති කර්මජ රූපය යන මොවුහු හේතු ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යනීක ධර්මයෝ ය.
මේ රාශිත්‍රයෙන් ප්‍රත්‍යනීක රාශිය වුවමනා වන්නේ පට්ඨානය උගන්නවුන්ට ය. සාමාන්‍යයෙන් අභිධර්මය දැනීමට ඉතිරි රාශි දෙක ගැනීම ප්‍රමාණ වේ.