අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ප්‍රකීර්ණක සංග්‍රහය

1. යෙදෙන පරිද්දෙන් සම්ප්‍රයුක්ත වූ චිත්ත චෛතසික ධර්මයෝ ස්වභාව ලක්ෂණ වශයෙන් තෙපනසක් (53) වෙති.

2. දැන් වෙදනා, හේතු, කෘත්‍ය, ද්වාර, ආරම්මණ, වස්තුන්ගේ භෙදයෙන් ඒ ධර්මයන්ගේ සංග්‍රහය චිත්තයන්ගේ වශයෙන් දක්වනු ලැබේ.

3. එහි වෙදනා සඞ්ග්‍රහයෙහි පළමුකොට සුඛ, දුක්ඛ, අදුක්ඛමසුඛ වශයෙන් ත්‍රිවිධ වෙදනා ද සුඛ, දුක්ඛ, සොමනස්ස, දොමනස්ස උපෙක්ඛා භෙදයෙන් පඤ්ච විධ වෙදනා ද වේ.

4. එහි සුඛ වේදනාව ඇති සිත එකම කුසල විපාක කාය විඤ්ඤාණ යයි. එසේ ම දුක්ඛ වේදනාව ඇති සිත එකම අකුසල විපාක කාය විඤ්ඤාණයයි.

5. සොමනස්ස වේදනා සහිත සිත් වනාහී ලොභ මූල සතරය, කාමාවචර සොභන දොළොසය, සුඛ සන්තීරණ හසන දෙසිතය, යන කාමාවචර සොමනස්ස සහගත සිත් අටළොසද, ප්‍රථම දූතිය, තෘතීය, චතුර්ථ ධ්‍යාන සඞ්ඛ්‍යාත වූ සිව්සාළිස් (44) මහග්ගත ලොකොත්තර සිත් දැයි දෙසැටවැදෑරුම් (62) වෙත්.

6. දොමනස්ස සහගත සිත් වනාහි පටිඝසම්ප්‍රයුක්ත දෙසිතමය.

7. සෙසු සියළු පස් පනස් (55) චිත්තයෝ උපෙක්ඛා සහගත චිත්තයෝ ය.

8. එහි වේදනාව සුඛ, දුක්ඛ, උපෙක්ඛා යයි ත්‍රිවිධ වේ. සොම්නස් දොම්නස් දෙදෙනාත් සමඟ පඤ්ච විධ වෙත්.

9. සුඛය එක් සිතෙක්හි ද, දුක්ඛයත් එක් සිතෙක්හිද, දොම්නස දෙසිතක ද, සොම්නස දෙසැටසිතෙක්හි ද, උපෙක්ඛා ඉතිරි පස් පනසෙහි ද සිටියාය.

10. හේතු සංග්‍රහයෙහි හේතූහු නම් ලෝභ, දොස, මොහ, අලෝභ, අදොස, අමොහ යයි සවැදෑරුම් වෙත්.

11. එහි පඤ්චද්වාරාවජ්ජන, ද්විපඤ්ච විඤ්ඤාණ, සම්පටිච්ඡන, සන්තීරණ වොත්ථපන, හසනයන් ගේ වශයෙන් අටළොසක් අහේතුක සිත් නම් වෙත්.

12. සෙසු සියළු එක් සත්තෑ දසිත් සහේතුක චිත්තයෝ ම වෙත්.

13. එහි ද මොහමූල දෙසිත ඒක හේතුක වෙත්.

14. සෙසු දස අකුසල් සිත් ද ඤාණ විප්‍රයුක්ත කාමාවචර සොභන සිත් දොළොස ද යන සිත් දෙවිස්ස ද්විහේතුක චිත්තයෝ වෙත්.

15. දොළොස් ඤාණ සම්ප්‍රයුක්ත කාමාවචර සොභන සිත් ද, පන්තිස් (35) මහග්ගත ලොකොත්තර සිත් ද, යන සත්සාළිස (47) ත්‍රිහේතුක චිත්තයෝ නම් වෙත්.

16. ලෝභ, දොස, මොහ යයි අකුසල හේතු තිදෙනෙක් වෙත්. එසේ ම අලෝභ, අදොස, අමොහ යයි කුසලාව්‍යාකෘත හේතූහු වෙත්.

17. අහේතුක අටළොසෙක, ඒක හේතුක දෙකෙක, ද්විහේතුක දෙවිස්සෙක. ත්‍රිහේතුක සත්සාළිසෙක (47).

18. කෘත්‍ය සඞ්ග්‍රහයෙහි කෘත්‍යයෝ නම් ප්‍රතිසන්ධි, භවාඞ්ග ආවර්ජන, දර්ශන, ශ්‍රවණ, ඝායන, සායන, ඵුසන, සම්පටිච්ඡන සන්තී රණ, වොත්ථපන, ජවන, තදාරම්මණ, චූති යන මේ තුදුස්වැදෑරුම් කෘත්‍යයෝය.

19. ප්‍රතිසන්ධි, භවාඞ්ග, ආවජ්ජන, පඤ්චවිඤ්ඤාණස්ථානාදින් ගේ වශයෙන් ඔවුන්ගේ දස ආකාර ස්ථාන භෙදය දත යුතු.

20. එහි උපෙක්ඛා සහගත සන්තීරණ සිත් දෙකය, මහා විපාක අටය. රූපාරූප විපාක නවය යන එකුන් විස්ස ප්‍රතිසන්ධි, භවඞ්ග, චූතිකෘත්‍යය ඇති සිත් නම්.

21. ආවජ්ජන කෘත්‍යය ඇති සිත් දෙකෙකි.

22. එසේ ම දර්ශන, ශ්‍රවණ, ඝ්‍රායන, සායන, ඵුසන, සම්පටිච්ඡනකෘත්‍ය ඇති සිත් දෙක බැගින්ය.

23. සන්තීරණ කෘත්‍යය ඇති සිත් තුනෙකි.

24. මනොද්වාරාවජ්ජනයම පඤ්චද්වාරයෙහි වොත්ථපන කෘත්‍යය, සිදු කරයි.

25. ආවජ්ජන දෙසිත හැර කුසල්, අකුසල්, ඵල, කිරිය සිත් පස් පනස (55) ජවන කෘත්‍ය ඇති සිත්ය.

26. අෂ්ට මහා විපාකයන් හා සන්තීරණත්‍රය යන එකොළොස තදාරම්මණ කෘත්‍ය ඇති සිත්ය.

27. එයින් උපෙක්ඛාසහගත සන්තීරණ චිත්තද්වය ප්‍රතිසන්ධි, භවාඞ්ග, චුති, සන්තීරණ, තදාරම්මණ වශයෙන් කෘත්‍ය පසක් ඇති චිත්තයෝ ය.

28. මහාවිපාක අට ප්‍රතිසන්ධි, භවාඞ්ග, චුති තදාරම්මණ යන සතර විධ කෘත්‍ය ඇති සිත් ය.

29. මහග්ගත විපාක සිත් නවය ප්‍රතිසන්ධි, භවාඞ්ග, චුති යන කෘත්‍ය තුනත් ඇති සිත් ය.

30. සොම්නස් සන්තීරණය, සන්තීරණ තදාරම්මණ යන කෘත්‍ය දෙකක් ඇති සිතය.

31. එසේ ම වොත්ථපනය, වොත්ථපන, ආවජ්ජන වශයෙන් කෘත්‍ය දෙකක් ඇත්තේය.

32. සෙසු සියලු ජවන, මනොධාතුත්‍රිකය, ද්විපඤ්ච විඤ්ඤාණයෝ යෙදෙන පරිදි එක් කෘත්‍යයක් ඇති සිත් ය.

33. පටිසන්ධි ආදී නම් ඇති චිත්තයෝ කෘත්‍ය භෙදයෙන් තුදුසෙක් වෙති. ස්ථාන භෙදයෙන් දස විධ වෙතියි ප්‍රකාශ කරන ලදී.

34. අට සැටෙක, දෙකෙක, නවයෙක, අටෙක, නැවත දෙකෙකැයි පිළිවෙලින් මෙසේ කෘත්‍යස්ථාන දක්වන්නේය.

35. ද්වාර සංග්‍රහයෙහි ද්වාරයෝ නම් චක්ඛුද්වාරය, සොතද්වාරය, ඝාණද්වාරය, ජිව්හාද්වාරය කායද්වාරය, මනොද්වාර යයි සවැදෑරුම් වෙත්.

36. එහි චක්ඛු ප්‍රසාදයම චක්ඛුද්වාර නම් වේ. එසේම සොත ප්‍රසාදාදීහුම සොතද්වාරාදීහු වෙත්.

37. මනොද්වාරය වනාහී භවඞ්ග චිත්තය යයි කියනු ලැබේ.

38. එහි පඤ්චද්වාරාවජ්ජනය, චක්ඛු විඤ්ඤාණ, සම්පටිච්ඡන සන්තීරණ වොත්ථපන, කාමාවචර ජවන, තදාරම්මණ වශයෙන් සසාළිස් (46) සිත් චක්ඛුද්වාරයෙහි සුදුසු පරිද්දෙන් උපදිත්.

39. එසේම පඤ්චද්වාරාවජ්ජන, සොත විඤ්ඤාණාදින්ගේ වශයෙන් සොතද්වාරාදීන්හි සිත් සසාළිස (46) බැගින් වෙත්. මෙසේ සර්වප්‍රකාරයෙන් පඤ්චද්වාරයෙහි උපදනා සිත් සිව්පනස (54) කාමාවචරමය.

40. මනොද්වාරයෙහි වනාහී මනොද්වාරාවජ්ජනය, පස් පනස් ජවනය, තදාරම්මණ වශයෙන් සිත් සැට සතක් (67) වෙත්.

41. පටිසන්ධි, භවාංග, චුති වශයෙන් සිත් එකුන් විස්ස (19) ද්වාර විමුක්තය.

42. ඒ සිත් අතුරෙන් දෙපස් විඤ්ඤාණයෝද මහග්ගත ලොකොතර ජවනයෝ ද යන සතිස (36) සුදුසු පරිද්දෙන් ඒකද්වාරික සිත් නම් වෙත්.

43. මනොධාතුත්‍රිකය වනාහී පඤ්චද්වාරිකය.

44. සුඛ සන්තීරණ, වොත්ථපන, සහ කාමාවචරජවනයෝ ඡද්වාරික සිත්ය.

45. උපෙක්ඛා සහගත සන්තීරණ, මහා විපාකයන් ඡද්වාරික වෙත්. ද්වාර විමුක්තද වෙත්.

46. නව මහග්ගත විපාකයෝ ද්වාරවිමුක්තම වෙත්.

47. ඒකද්වාරික, පඤ්චද්වාරික, ඡද්වාරික, ඡද්වාරිකද්වාරවිමුත්ත ද්වාරවිමුත්ත සිත් පිළිවෙලින් සතිසෙක (36), තුනෙක, එක්තිසෙක (31), දසයෙක, නවයෙකැයි මෙසේ පඤ්චප්‍රකාරයකින් දක්වන්නේ ය.

48. ආලම්බන සංග්‍රහයෙහි ආලම්බනයෝ නම් රූපාරම්මණ, සද්දාරම්මණ, ගන්ධාරම්මණ, රසාරම්මණ, ඵොට්ඨබ්බාරම්මණ, ධම්මා රම්මණ යයි සවැදෑරුම් වෙත්.

49. එහි වර්ණයම රූපාරම්මණයයි. එසේ ම ශබ්දාදීහු ශබ්දාරම්මණාදීහු වෙත්.

50. ධම්මාරම්මණය වනාහී ප්‍රසාදරූප, සුඛුමරූප, චිත්ත චෛත සික, නිර්වාණ ප්‍රඥප්තින්ගේ වශයෙන් ෂට් ප්‍රකාරයකින් සංග්‍රහ කරනු ලැබේ.

51. එහි සියලුම චක්ඛු ද්වාරික චිත්තයන්ට රූපයම අරමුණු වෙයි. එය ද වර්තමාන අරමුණකි. එසේම සොතද්වාරික චිත්තා දීන්ට ද ශබ්දාදීහු අරමුණු වෙත්. ඔව්හු ද වර්තමාන අරමුණු මය.

52. මනොද්වාරික චිත්තයන්ට වනාහී වර්තමාන වූද, අතීත වූද, අනාගතවූද කාලවිමුක්තවූද ආරම්මණයෝ සුදුසු පරිද්දෙන් අරමුණු වෙත්.

53. ප්‍රතිසන්ධි, භවඞ්ග, චුති සඞ්ඛ්‍යාත වූ ද්වාර විමුක්ත චිත්තයන්ටද ෂඩ් විධ වූ අරමුණු ලැබෙත්. බොහෝ සෙයින් ඉකුත් භවයෙහි සදොරින් ගන්නා ලද වර්තමානවූ හෝ අතීත වූ හෝ ප්‍රඥප්ති වූ හෝ කර්ම, කර්ම නිමිති, ගති නිමිති යයි සම්මත අරමුණක් වෙයි.

54. ඔවුන් අතුරෙන් චක්ඛු විඤ්ඤාණාදීහු පිළිවෙලින් රූපාදී එක් අරමුණක් ඇත්තෝය.

55. මනොධාතුත්‍රිකය වනාහී රූපාදි පස් අරමුණු ඇති සිත්ය.

56. සෙසු කාමාවචර විපාකයෝ ද, හසන චිත්තය ද කාමාවචර අරමුණු ම ගන්නාහු වෙත්.

57. අකුසල් සහ ඤාණ විප්‍රයුක්ත කාමාවචර ජවනයෝ ද ලොකොත්තර ධර්ම හැර සියලු අරමුණු ගන්නාහු වෙත්.

58. ඤාණ සම්ප්‍රයුක්ත කාමාවචර කුසලයන් ද පඤ්චමධ්‍යාන අභිඤ්ඤාකුසලය ද යන සිත් අර්හත් මාර්ගඵලයන් හැර සියලු අර මුණු ඇත්තාහු වෙත්.

59. ඤාණ සම්ප්‍රයුක්ත කාමාවචර ක්‍රියා ක්‍රියා අභිඤ්ඤා වොත්ථපන යන සිත් සියල්ලම අරමුණු කොට ඇති සිත්ය.

60. අරූපයන් අතුරෙන් දෙවෙනි සතරවෙනි අරූපාවචර සිත් මහග්ගත අරමුණු ඇත්තාහු වෙත්.

61. සෙසු මහග්ගත සිත් ප්‍රඥප්ති ධර්ම අරමුණු කොට ඇත්තා හුය.

62. ලොකොත්තර සිත් නිර්වාණයම අරමුණු කොට ඇත්තාහුය.

63. කාම අරමුණෙහි පස්විස්සෙක, මහග්ගත අරමුණෙහි සයෙක, ප්‍රඥප්ති අරමුණෙහි එක් විස්සෙක, නිර්වාණාරම්මණයෙහි සිත් අටෙක් ද වෙත්.

64. ලොකොත්තර අරමුණ හැර සෙසු අරමුණෙහි සිත් විස්සෙක්ද අර්හත් මාර්ග ඵලයන් හැර සෙසු අරමුණෙහි පසෙක් ද සියලු අරමුණෙහි සයෙක්දැයි මෙසේ ආරම්මණ සංග්‍රහයෙහි සත් පරිද්දෙකින් සංග්‍රහ වෙත්.

65. වස්තු සඞ්ග්‍රහයෙහි වස්තූහු චක්ඛු, සොත, ඝාණ, ජිව්හා, කාය හදය වත්ථු යයි ෂට් ප්‍රකාර වෙත්.

66. ඒ වස්තුරූප සියල්ලම කාමභවයෙහි ලැබෙති.

67. රූපලොකයෙහි ඝාණාදිත්‍රය නැත.

68. අරූප භවයෙහි කිසිදු වස්තු රූපයෙක් නො ලැබේ.

69. එහි පඤ්ච විඤ්ඤාණා ධාතූහු පිළිවෙලින් ඒකාන්තයෙන් ම පඤ්චප්‍රසාද වස්තුන් නිසාම පවතිත්.

70. පඤ්චද්වාරාවජ්ජන සම්පටිච්ඡන සඞ්ඛ්‍යාත වූ මනොධාතු ද හෘදය වස්තුව නිසාම පවතිත්.

71. අවශෙෂ වූ මනොවිඤ්ඤාණ ධාතු නම් වූ සන්තීරණ මහා විපාක, පටිඝද්වය, ප්‍රථමමාර්ගය, හසිතොත්පාදය, රූපාවචර චිත්තයෝ යන මොව්හු හදයවස්තු නිසාම පවතිත්.

72. අවශෙෂ වූ කුසලා කුසල ක්‍රියා ලොකොත්තර සිත් හදය වස්තුව නිසා හෝ නො නිසා හෝ පවතිත්.

73. අරූපවිපාකයන් ගේ වශයෙන් හදයවස්තුව නිශ්‍රය නො කොට පවතිත්.

74. කාමභූමියෙහි වස්තුසයක් ඇසුරු කොට විඤ්ඤාණ ධාතු සතක් ද රූප භූමියෙහි වස්තු තුනක් ඇසුරු කොට විඤ්ඤාණ ධාතු සතරක් ද අරූප භූමියෙහි වස්තු රූපයක් ඇසුරු නො කොට එකම විඤ්ඤාණ ධාතුවක් ද පවතී යයි දන්නා ලදී.

75. වස්තු රූපයන් නිසා ම සිත් තෙසාළිසෙක (43). වස්තු රූප නිසා ද නො නිසා ද සිත් දෙසාළිසෙක (42). වස්තු රූප නො නිසාම අරූප විපාක සිත් සතර උපදිත්.

මෙසේ අභිධර්මාර්ථ සංග්‍රහයෙහි ප්‍රකීර්ණක සංග්‍රහ විභාග නම් වූ තෘතිය පරිච්ඡේදය නිමි.