අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සතරවැනි කාණ්ඩයට විශේෂ පෙරවදන

වජිරාරාමවාසී පියදස්සී මාහිමිපාණන් විසිනි

අභිධර්‍මාර්ථ සඞ්ග්‍රහ නම් වූ ප්‍රකරණයෙහි පරමාර්ථ ධර්‍මයන් පරිච්ඡේද නවයකට බෙදා සඞ්ග්‍රහකොට ඇත. එහි එන කර්‍මස්ථාන සඞ්ග්‍රහ විභාග නම් වූ නව වැනි පරිච්ඡේදය ඇසුරුකොට ලියන ලද විස්තර විවරණයන් මේ සතරවැනි කාණ්ඩයෙහි දැක්ක හැකි ය.

අභිධම්මත්‍ථසඞ්ග්‍රහ නම් වූ අගනා ග්‍රන්‍ථය පාළි භාෂායෙන් ලියූ අනුරුද්ධාචාර්‍ය්‍ය පාදයන් පොත අවසන් කරනුයේ මෙසේය:

“භාවෙතබ්බං පනිච්චෙවං භාවනාද්වයමුත්තමං

පටිපත්ති රසස්සාදං පත්‍ථයන්තෙන සාසනෙ”

බුද්ධශාසනයෙහි ප්‍රතිපත්තීන්ගේ රසාස්වාදය පතන්නහු විසින් කියන ලද ක්‍රමයෙන් සමථ-විපස්සනා නම් වූ උතුම් භාවනා දෙක වැඩිය යුත්තේ ය.

භාවනාවෙහි යෙදෙන්නවුන් විසින් දතයුතු කරුණු නවවැනි පරිච්ඡේදයෙහි සැකෙවින් සඳහන් වෙයි. ඒ සැකෙවින් කී කරුණු මේ සතරවැනි කාණ්ඩයෙහි සවිස්තරව ලියැවී ඇත. භාවනා පිළිබඳව දතයුතු දෑ උගෙන භාවනා කරන්නට කැමැති භවතුනට මේ කාණ්ඩයෙන් ලබාගතහැකි උපදේශයෝ බොහෝ ය. එහෙයින් මෙය භාවනා පිළිබඳවම ලියැවුණු පොතක් හැටියට සලකනු මනාය. ධර්‍මය හදාළයුත්තේ කුමක් සඳහා ද? ධර්‍මඥානය යොමුකළ යුත්තේ කුමට ද? යන්න යට සඳහන් ගාථායෙන් මනාව හෙළිවේ.

ධර්‍මය-අභිධර්‍මය හැදෑරිය යුත්තේ නයා වලිගයෙන් අත්ලා ගත්තකු සේ (අලඟද්ද පරියත්ති) නොව නිස්සරණය, නිර්‍වාණය, සඳහා ය. (නිස්සරණ පරියත්ති). නයා වරදවා ගත්තවුන් විපතට පත්වන්නා සේ ධර්‍මය වරදවා ගත්තහුට ඒ දහම දිගු කලක් අහිත පිණිස, දුක් පිණිස පවතිනුවා ඇත.

එහෙයින් බණ උගත යුත්තේ: ‘සිල් ආතන්හි සිල් පුරමි, සමාධි ආතන්හි සමාධි ගබ්ගන්වමි, විදර්‍ශනා ආතන්හි විදර්‍ශනා වඩමි, මාර්‍ගඵල ආතන්හි මාර්‍ග භාවනා කෙරෙමි, ඵල සාක්‍ෂාත් කෙරෙමි.’ (ධර්‍මප්‍රදීපිකා) යන මේ ආකාරයෙනි. එයම නිස්සරණ පරියත්ති නම්.

ධර්‍මය යනු කුමක් ද? ධර්‍ම ශබ්දය සඳහා ධර්‍මරාජන් වූ සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේ නොයෙක් තැනදී නොයෙක් වචන යෙදූහ. ධම්ම, ධම්මචක්ක, ධම්මවිනය, සාසන, බ්‍රහ්මචරිය, පාවචන යනු ඉන් කිහිපයෙකි. පරියාය (සමාන) ශබ්ද සේ පෙනෙන මේ වචන පිළිබඳව විවරණයක් කිරීමට මේ නොතැනි.

ධර්‍මය (සාසනය) පරියත්ති, පටිපත්ති, පටිවෙධ හෙවන් පර්‍ය්‍යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවෙධ වශයෙන් ත්‍රිභේද ය. සුත්ත, ගෙය, වෙය්‍යාකරණ ආදී නවාඞ්ගයෙකින් යුත් පර්‍ය්‍යාප්තිධර්‍මය, ධර්‍මවිනය වශයෙන් දෙවැදෑරුම් ය. ඒ ධර්‍මයද සම්මුති-පරමත්‍ථ (සංවෘති-පරමාර්‍ථ) වශයෙන් සත්‍ය දෙකකට බෙදේ. එහෙයින් කීහ අටුවා ඇජරහු:

“දුවෙ සච්චානි අක්ඛාසි සම්බුද්ධො වදතං වරො

සම්මුතිං පරමත්‍ථං ච තතියං නුපලබ්භති

සංකෙත වචනං සච්චං ලොක සම්මුති කාරණා

පරමත්‍ථ වචනං සච්චං ධම්මානං භුතලක්ඛණා”

‘වාදීවර වූ සම්බුදු රජහු සම්මුති-පරමත්‍ථ වශයෙන් සත්‍යද්වයක් දෙසූ සේක. එයින් අන්‍ය වූ තුන්වන සත්‍යයක් නම් නො ලැබේ.

‘සත්ත්‍ව පුද්ගල ව්‍යවහාරය නොයික්මවා කැරෙන ස්ත්‍රී පුරුෂ වෘක්‍ෂලතා ආදී සංකෙත වචන ලොකසම්මුති හෙයින් ඇත්තෙකි. සකන්‍ධ, ධාතු, ආයතන, ආර්‍ය්‍යසත්‍ය, ප්‍රතීත්‍යසමුත්පාද වශයෙන් දෙසූ ධර්‍මයන් පරමාර්‍ථ සත්‍යයෙහි වැටෙන හෙයින් ඇත්තෙකි.’

මෙමැ කීහ නාගාර්ජුනපාදයෝ: (මාධ්‍යමිකවෘත්ති, 492 පිටුව)

“දේවසත්‍යෙ සමුපාශ්‍රිත්‍ය බුද්ධානං ධර්‍මදේශනා ලොක සංවෘති සත්‍යංච සත්‍යංච පරමාර්‍ථතඃ”

‘ලොක සංවෘති සත්‍යයද, පරමාර්‍ථ සත්‍යයද යන මේ සත්‍යද්වය ඇසුරු කොට බුදුවරයන්ගේ ධර්‍ම දේශනාව වේ.’

ව්‍යවහාර (වොහාර) වචනය ඇසුරු නොකොට පරමාර්‍ථ ධර්‍මය දේශනා කළ නො හැකිය. පරමාර්‍ථ ධර්‍මයන්ගේ අවබෝධයක් නො මැතිව නිර්වාණාධිගමයක් නො කළ හැකිය.

ධර්‍මවිනය කී තැන විනය යන්නෙන් මිනිසාගේ කාය වාග් සංවරණයට අවශ්‍යවන, නිවන් මඟට යොමු කොට දේශනා කළ ශික්‍ෂා සමූහය ගැනෙත්. එය ශීල ශික්‍ෂාවයි. ධම්ම යන්නෙන් සමාධි සහ පඤ්ඤා යන දෙවැදෑරුම් ශික්‍ෂාවෝ ගැනෙත්. මෙසේ මේ ධර්‍මවිනය නමින් අඳුන්වන පර්‍ය්‍යාප්ති ධර්‍මය පුරුදු කිරීම ප්‍රතිපත්තිය යි. ඒ ප්‍රතිපත්ති පූරණයෙහි යෙදෙන්නවුන් විසින් අනුපුබ්බසික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බපටිපදා වශයෙන් වදහළ පරිදි කෙමෙන් පිළිවෙළින් පිරිවෙත් පිරිය යුතුය. බුදුරජහු අනුක්‍රමයෙන් විනෙය ජනයන් හික්මවීම සඳහා “දානකථං, සීලකථං, සග්ගකථං, කාමානං ආදීනවං, ඔකාරං, සංකිලෙසං, නෙක්ඛම්මෙ ආනිසංසං ... සාමුක්කංසිකා ධම්මදෙසනං පකාසෙසි” යන්නෙන් අඳුන්වන දේශනා නය යොදා ගත්හ. මේ නයින් විමුක්තිය කරා යන මඟ හෙළි කළහ. මෙසේ ප්‍රතිපත්ති ධර්‍ම පුරන්නහු එහි මුඛ්‍ය ප්‍රතිඵලය වශයෙන් ප්‍රතිවේධය ලබත්. සොතාපත්ති, සකදාගාමි, අනාගාමි, අරහත්ත යන සතර මඟ සතර ඵල සහ නිවණ ය යන මේ නවලොවුතුරා දහම් ප්‍රතිවෙධ ධර්‍මයෙහිලා ගැනෙත්.

මේ පය්‍යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවෙධ, යන ත්‍රිවිධ ශාසනයක් (ධර්‍මයක්) අවශ්‍යවන්නේ මන්ද? බුදුරජාණන් වහන්සේ ධර්‍ම විනයයක් ගැන දේශනා කළේ මන්ද? දුකෙන් මිදීම සඳහාය. “පුබ්බේවාහං භික්ඛවෙ එතරහි ච දුක්ඛං චෙව පඤ්ඤපෙමි, දුක්ඛස්සච නිරෝධං” “මහණෙනි, පෙරත් දැනුත් (අදත් එදත්) මම දුකත්, දුක්ඛයාගේ නිරෝධය හෙවත් නිවීමත් පණවමි.” මේ සිවුසස් සැකෙවින් කී පරිදිය. මෙයම ධර්‍මයේ පරම සාරයයි. අනෙක් හැම ධර්‍මයෝ මේ සත්‍ය සතරට ඇතුළුවෙති. “සච්චවිනිම්මුත්තො හි භගවතො දෙසනා නත්‍ථි” සත්‍ය සතරෙන් තොරවූ භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මදේශනා වෙක් නැත. යන නෙත්ති අටුවා වචනයෙනුත්, “චතුසච්ච විනිම්මුත්තො ධම්මො නාම නත්‍ථි” චතුරාර්‍ය්‍ය සත්‍යයෙන් තොර දහමෙක් නම් නැත. යන පෙටකොපදෙස වචන යෙනුත් ඒ බව හෙළි වේ.

අභිධර්‍ම යන්නෙහි “අභි” ශබ්දයට අටුවා ටීකා ඇදුරහු අර්‍ථාන්තරයෙක් දක්වති “අභි” ශබ්දයෙහි (ධර්‍ම) අතිරෙක, (ධර්‍ම) විශේෂ යන ආදි අර්‍ථයන් දැක්ක හැකිය. නිවන් දැකීමට ඉවහල්වන බැවින් ධර්‍මාතිරෙකය, ලොක සම්මුති යෙන් පිටත් හෙයින් ධර්‍මවිශේෂය.

කාමාවචරාදී වශයෙන් ක්‍රමයෙන් වැඩිවෙන නිසා අභි ශබ්දයෙහි වෘද්ධි අර්‍ථයෙක් ද වේ. ඵස්ස වෙදනා ආදි සලක්‍ෂණ (සලක්ඛණ) ධර්‍ම ඇති හෙයින් අභිධර්‍මය සලක්ඛණ ධර්‍ම ද වේ. කුසලාකුසල, ක්‍රියා විපාක වශයෙන් පිරිසිඳ පෙන්වන හෙයින් පරිච්ඡින්න ධර්‍මත් වේ. ලොකොත්තර ධර්‍මයන් ඇතුළත් හෙයින් “පූජිත ධර්‍මද” වේ. තවද අභිධර්‍මය ශාසන වශයෙන් යථාධම්ම සාසන නමි. කථා වශයෙන් නාමරූප පරිච්ඡේද කථා නමි. දේශනා වශයෙන් පරමාර්‍ථදේශනා නමි.

ශාබ්දිකයන් විසින් මෙසේ විවරණය කරන ලද මේ “අභිධර්‍ම”යෙහි එන්නේ පරමාර්‍ථ ධර්‍ම සතරෙකි. සත්ත්‍ව සන්තානයෙහි පහළවන තාක් සිත්, චිත්ත පරමාර්‍ථ වශයෙනුත්, හැම සිත්හි ලැබිය හැකිතාක් හොඳ නොහොඳ ගුණ විශේෂයන් චෛතසික පරමාර්‍ථ වශයෙනුත්, මේ චිත්ත චෛතසික නම් වූ නාම ධර්‍මයනට ආධාර වූ ශරීරයෙහි ලැබිය හැකිතාක් ද්‍රව්‍ය සමූහය රූප පරමාර්‍ථ වශයෙනුත්, මේ නාමරූප හෙවත් පඤ්චස්කන්‍ධ සඞ්ඛ්‍යාත සත්ත්‍වයා පිළිබඳ වුවත් චිත්ත චෛතසිකයන් හා සම්ප්‍රයෝග ලක්‍ෂණයෙන්වත්, රූපයන් හා කලාප බන්‍ධන වශයෙන්වත්, කිසිකලෙක නො බැඳෙන බැවින් ඒකාන්ත කෙවල (තනි) ධර්‍මයක් වූ ද, සෝවාන් ආදී සතර මඟින් දක්නා තෙක් ප්‍රත්‍යක්‍ෂයෙන් නොපෙනෙතත් නිත්‍යව නොවෙනස්ව පවත්නා වූ ද, නිර්‍වාණ ධර්‍මය නිර්‍වාණ පරමාර්‍ථ වශයෙනුත් අභිධර්‍මයෙහි අඳුන්වා දී ඇත. අභිධර්‍ම පිටකයට අයත් සප්තප්‍රකරණයෙහිම දැක්ක හැක්කේ මේ සතර පරමාර්‍ථ පිළිබඳ විස්තර විවරණ ය.

මිනිසා කවරෙක්ද? ඔහුගේ බලාපොරොත්තුව කුමක්ද? යන්න මේ සතර පරමාර්‍ථ ධර්‍මයන්ගෙන් හෙළිවෙයි. චිත්ත, චෛතසික, රූප යන ධර්‍මත්‍රයයෙන් මිනිසා හැඳින්වෙයි. ඔහුගේ නාමකය හා රූපකය ගැනෙයි. වෙනත් වචන වලින් කියතොත් මිනිසාගේ සිතත්, කයත් ගැනෙයි. මෙයම තවදුරටත් විභජනය කරනවිට රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පස්කඳ ගැනෙයි. මේ පංචස්කන්‍ධසංඛ්‍යාත මිනිසාගේ (බෞද්ධයාගේ), පරමාර්‍ථය, උසස්ම බලාපොරොත්තුව, නිර්වාණාවබෝධයයි. එහෙයින්, අභිධර්‍ම දේශනාවෙන් ඉගැන්වෙන්නේ පංචස්කන්‍ධ විභාගය සහ නිර්වාණ පරමාර්ථය බව පැහැදිලි ය.

ඒ නිර්‍වාණ පරමාර්‍ථය කැමැත්තවුන් විසින් තමා සෙවිය යුතුය (අත්තානං ගවෙසෙය්‍යාථ). එසේ තමන් සොයන්නවුන් විසින් බැලියයුත්තේ රූපාදි පංච උපාදානස්කන්‍ධයන් දෙස ය. එසේ බැලීමට යට සඳහන් සමථ-විපස්සනා භාවනාද්වය අවශ්‍ය ය.

සමථයෙන් කැරෙන්නේ වික්‍ෂිප්තව, අන්‍යවිහිතව, පොලාපනින මිනිස් සිත ඉන් මුදා අරමුණෙහි රැඳවීම ය. සමාධි, එකග්ගතා, එකොධිභාව යන ආදි නාමයෙන් හැඳින්වෙන්නේ ඒ සමථය යි. අරමුණෙහි රාගවශයෙන් නොඇලී, පටිඝ වශයෙන් නොහැපී - අනුරොධ, විරොධ භාවයෙන් තොරව - බලනවිට සිතෙහි ඇතිවන එකගකම, සන්හුන්කම සමථ භාවනාවයි. මෙය ආලම්බනොපනිධ්‍යානය යි.

සමාහිතො යථාභූතං පජානාති - සමාහිතවූ, සන්සුන් සිත ඇති දේ ඇති හැටියට දකියි. මෙසේ ඇති සැටියෙන් දැකීම විපස්සනාවයි (විදර්‍ශනාවයි), විශේෂාකාරයෙන් දැක්මයි. විශේෂාකාරයෙන් දැක්ම නම් පස්කඳ ඝණ සංඥායෙන් ගොණුවක්, මිටියක් සේ නොගෙන වෙන් වෙන් කොට බැලීම යි, ඝණවිනිර්භෝගය යි.

සඤ්ඤා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස (විපිරියාස) වශයෙන් දැක්වෙන පරිදි අරමුණ විපරීතා කාරයෙන් නොගෙන ඇතිතතු දැකීම යි. එනම්: රූපාදී පංචඋපාදානස්කන්‍ධයන් එකක්, එකක් පාසා ත්‍රිලක්‍ෂණයට ආරොපනය කැරැ බැලීම යි. අනිච්ච, දුක්ඛ, අනත්ත යනු ත්‍රිලක්‍ෂණ යි. අකුරු අටෙකින් හා පද තුනෙකින් (අට්ඨක්ඛරා තීනිපදා) යුත් මේ තිලකුණු විදර්‍ශනා භාවනාවේ අඞ්ග යි.

බුද්ධ වචනය අනුව රූපාදි පස්කඳ හේතුප්‍රත්‍යයයෙන් හටගත් නිසා අනිත්‍ය ය, මොහොතක් එක සේ නොපැවැත වෙනස් වෙයි. යමක් අනිත්‍ය ද එය දුක් ය. යමක් දුක් ද එය අනාත්ම ය, ස්ථිරවූ නිත්‍යවූ ශාස්වතවූ ආත්මයෙන් තොර ය. යමක් අනාත්ම ද එය මාගේ නොවේය. (නෙ තං මම). එය මම නොවෙමි (නෙ සො හමස්මි). ඒ මාගේ ආත්මය නො වෙයි (න මෙසො අත්තා). පස්කඳ පිළිබඳව මෙසේ ඇතිතතු සම්‍යක් ප්‍රඥායෙන් (සම්මප්පඤ්ඤාය) බැලීම ලක්‍ෂණොපනිධ්‍යානය යි. මෙසේ බලන්නවුන්ගේ සිත නොඇලීමෙන්, උපාදාන නොකිරීමෙන් ආශ්‍රවයන්ගෙන්, කෙලෙසුන්ගෙන් මිදෙයි. (සංයුත්ත නිකාය, 351).

කාණ්ඩ සතරෙකින් යුත් අභිධර්‍මාර්ථප්‍රදීපිකායෙන් මුල සිට අගතෙක් හෙළිකරන්නේ මේ විමුක්ති මාර්‍ගය යි, නිවන් මඟයි. එහෙයින්, මෙය කියවන භවතුන් විසින් නිර්වාණ පරමාර්‍ථය සඳහා උත්සාහ දැරීම මැනැවි.

ආභිධර්මිකයන්ගේ ගෞරවාදරයට බඳුන් වූ අභිධර්‍මාර්ථ සංග්‍රහය නම් වූ ග්‍රන්‍ථරත්නයට පොරණැදුරන් විසින් ලියන ලද ටීකා අතර දැනට ඇත්තේ දිඬුලාගල මහා කස්සප මාහිමිපාණන් විසින් රචිත පුරාණ ටීකාව ද, උන්වහන්සේගේ ශිෂ්‍ය සාගරමති සාරිපුත්ත මාහිමිපාණන් විසින් ඉතා ව්‍යක්ත ලෙස සැපැයුණු අභිධර්‍මාර්ථ සඞ්ග්‍රහ සන්නය ද, උන්වහන්සේගේ ශිෂ්‍ය සුමඞ්ගල මාහිමිපාණන් ලියූ අභිධම්මත්‍ථ විභාවිනී ටීකාව ද යන මේ ග්‍රන්‍ථයන් ය. මෑතකාලයේදී ලියැවුණු පොත් ද කිහිපයෙකි.

උගතුන්ගේ සිතැදගත් මේ අභිධර්‍මාර්ථ සංග්‍රහයම අනුව යමින් අමරදාස රත්නපාල දොස්තර මහත්මා විසින් මහත් වෑයමකින් සපයා ඇති මේ අභිධර්‍මාර්ථ ප්‍රදීපිකා නම් වූ ග්‍රන්‍ථයෙහි අභිධර්‍මපාළියත් ඇතුළුකොට අභිධර්‍ම කාරණා ඉතා විසිතුරුවත් විසදවත් ලියා ඇති බව කිය යුතුය.

කාණ්ඩ සතරෙකින් සහ පිටු 2309 යුතුව මෙතරම් විස්තර විභාග සහිතව ලියැවුණු මේ සා විශාල අනෙක් අභිධර්‍මග්‍රන්‍ථයක් මේ රටෙහි ලියැවී නැති සේ ය.

පාළි භාෂාව නොදත් සාමාන්‍ය ජනයාට වුවද අභිධර්‍ම දේශනාවන් පිළිබඳව සෑහෙන දැනීමක් ලබා ගැනීමට මේ පොත බෙහෙවින් උපකාරවනු ඇත. අභිධර්‍මය පිළිබඳව විස්තර සහිතව හෙළබසින් ලියැවුණු පොතක් නැතැයි මැසිවිලි කියන්නට දැන් ඉඩෙක් ඇත. ඒ පාඩුව මේ කාණ්ඩ සතරෙන් පිරිමැසේ. දහම් පාසල්හි ශිෂ්‍ය ශික්‍ෂක දෙපසට ද මේ අභිධර්‍මාර්ථ ප්‍රදීපිකාව හස්තසාර වස්තුවක් වනු නිසැක ය.

මෙසේ නවීනයනට පමණක් නොව ප්‍රවීනයනට ද බෙහෙවින් උපකාර වන මේ ග්‍රන්‍ථය ජනකාන්ත වනුවා ඇත. වෛද්‍ය වෘත්තියෙහි යෙදෙන ගමනේ මෙබඳු වටනා අභිධර්‍මග්‍රන්‍ථයක් ලියා බෞද්ධ ධර්‍ම සාහිත්‍යය පෝෂණය කිරීම ගැන සත්පුරුෂ කවුරුනුත් රත්නපාල මහත්මාට කෘතඥවිය යුතු බව කියනු කැමැත්තෙමි.

“බුදුගුණ මුත් තෙපුල් - මෙත් බහාවුන් මුත් සිත්

නොවෙවා කෙනෙක්හිදු - පරවැඩ මුත් පියෝමා”