අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සමුච්චය සංග්‍රහ විභාගය

චිත්ත, චෛතසික, රූප, නිබ්බාණ යන සතර පරමාර්ථ ධර්‍මයෝ, ස්වභාව ලක්‍ෂණ වශයෙන් හෙවත් ස්වරූපයෙන් වෙන් වෙන් කොට ගත හැකිවූ වස්තු ධර්‍ම වශයෙන් ගත් කල්හි දෙසැත්තෑ වස්තු ධර්‍ම කෙනෙක් වෙති. ඒ දෙසැත්තෑ වස්තු ධර්‍ම පිළිබඳ සමුච්චය හෙවත් සම්පිණ්ඩනය දැක්වීම, සමුච්චය සංග්‍රහ නම් වේ.

දෙසැත්තෑ වස්තු ධර්‍මයෝ නම්

චිත්තය 1 චෛතසික 52 රූප 18 නිර්‍වාණය 1 72

අසූනව වැදෑරුම් වූ හෝ එක් සිය විසිඑක් වැදෑරුම් වූ හෝ යම් තාක් චිත්තයෝ වෙත්නම්, ඒ සියලුම සිත් ආරම්මණ විජානන ලක්‍ෂණයෙන් එක් වැදෑරුම් වන හෙයින් චිත්ත පරමාර්ථය එක් වස්තු ධර්‍මයක් ලෙස සලකනු ලැබේ.

දෙපනස් (52) චෛතසික ධර්මයෝ ඵුසන, වේදයිත ආදි වශයෙන් වෙන් වෙන් වූ අන්‍යොන්‍ය විරුද්ධ ලක්‍ෂණ ඇති හෙයින් වස්තු ධර්ම දෙපනසක් (52) වෙත්.

අට විසි (28) රූප ධර්මයන් අතුරෙන් අටළොස් (18) නිෂ්ඵන්න රූපයෝ ඔවුනොවුන්ට විරුද්ධ ලක්‍ෂණ ඇති හෙයින් වස්තු ධර්ම අටළොසක්ම (18) වන්නාහ. අනිෂ්ඵන්න රූපයෝ දසදෙනා නිෂ්ඵන්න රූපයන්ගේම විකෘති ස්වභාව ඇති රූපයන් බැවින් නිෂ්ඵන්න රූපයන්ටම ඇතුළත් වේ.

ශාන්ති ලක්‍ෂණය ඇති හෙයින් නිර්වාණයද එක් වස්තු ධර්මයකි. විද්‍යමාන වූ වස්තු ධර්මයක් වශයෙන් නිර්වාණය මාර්ග ඵල සිත් වලින් අරමුණු කරනු ලබන්නේ ය. ඒකාන්ත ලක්‍ෂණ ඇති ධර්මයක් නොවේ නම් අරමුණක් වශයෙන් නොගත හැකි වේ.

ත්‍රිපිටකයෙහි වදාළ සියලුම ධර්මයෝ මේ දෙසැත්තෑ (72) වස්තු ධර්මයන්ටම ඇතුළත්වේ. මේ වස්තු ධර්ම සතර සංග්‍රහයක් වශයෙන් විස්තර කරනු ලැබේ.

සතර සංග්‍රහයෝ නම්:-

  1. අකුසල සංග්‍රහය
  2. මිශ්‍රක සංග්‍රහය
  3. බොධි පාක්‍ෂික සංග්‍රහය
  4. සර්වථ සංග්‍රහය

ඒකාන්ත අකුසලයන් වශයෙන් දක්වන ලද අකුසල ධර්මයන්ගේ ආශ්‍රවාදි වශයෙන් සංග්‍රහය අකුසල සංග්‍රහය නම් වේ.

කුසල, අකුසල, අව්‍යාකෘත වශයෙන් මිශ්‍රයන්ගේ හේතු ආදි වශයෙන් සංග්‍රහය මිශ්‍රක සංග්‍රහය වේ.

සතර මාර්ගඥාන නම්වූ බොධි පක්‍ෂයට ඇතුළත් වූ සත්තිස් ධර්මයන්ගේ සතිපට්ඨානාදි වශයෙන් සංග්‍රහය බොධිපාක්‍ෂික සංග්‍රහය නම් වේ.

සියලුම පරමාර්‍ත්‍ථ ධර්‍මයන්ගේ ස්කන්‍ධ, ධාතු ආයතනාදි වශයෙන් සංග්‍රහය සර්‍ව සංග්‍රහය නම් වේ.