අභිධර්මාර්ථ ප්‍රදීපිකා

පෙරවදන

අභිධර්මයෙහි එන්නේ පරමාර්ථ ධර්ම සතරෙකි. සත්ත්වසන්තානයෙහි පහළ වන තාක් සිත් චිත්ත පරමාර්ථ වශයෙනුත් හැම සිත්හි ලැබිය හැකි තාක් හොඳ නොහොඳ ගුණ විශේෂයන් චෛතසික පරමාර්ථ වශයෙනුත්, මේ චිත්ත චෛතසික නම්වූ නාම ධර්මයනට ආධාර වූ ශරීරයෙහි ලැබිය හැකි තාක් ද්‍රව්‍ය සමූහය රූප පරමාර්ථ වශයෙනුත්, මේ නාමරූප හෙවත් පංචස්කන්ධ සංඛ්‍යාත සත්ත්වයාම පිළිබඳ වුවත් චිත්ත චෛතසිකයන් හා සම්ප්‍රයෝග ලක්ෂණයෙන්වත්, රූපයන් හා කලාප බන්ධන වශයෙන්වත් කිසිකලෙකත් නොබැඳෙන බැවින් ඒකාන්ත කෙවල (තනි) ධර්මයක් වූ ද, සොවාන් ආදී සතර මඟින් දක්නාතෙක් ප්‍රත්‍යක්ෂයෙන් නොපෙනෙතත් නිත්‍යව නොවෙනස්ව පවත්නා වූ නිර්වාණ ධර්මය නිර්වාණ පරමාර්ථ වශයෙනුත් අභිධර්මයෙහි හඳුන්වාදී ඇත. අභිධර්මපිටකයට අයත් සප්තප්‍රකරණයෙහි ම එන්නේ මේ සතර පරමාර්ථ පිළිබඳ විස්තර ය.

ආභිධර්මිකයන්ගේ ආදර ගෞරවාදරයට බඳුන් වූ අභිධර්මාර්ථ සංග්‍රහය නම්වූ ග්‍රන්ථරත්නයට දිඹුලාගල මහා කස්සප සඟරජ මාහිමිපාණන් ගේ ශිෂ්‍ය සාගරමතී සාරිපුත්ත ස්වාමීන්ද්‍රයන් විසින් ඉතා ව්‍යක්ත ලෙස සැපැයුණු සන්නයක් ඇත. මේ හැර මේ ග්‍රන්ථය සඳහා ලියැවුණු ටීකා සන්න හා පරිවාර ග්‍රන්ථයෝ ද බොහෝ වෙති.

උගතුන්ගේ සිතැඟිගත් මේ අභිධර්මාර්ථ සංග්‍රහය ම අනුව යමින් අමරදාස රත්නපාල දොස්තර මහත්මා විසින් මහත් වෑයමකින් සපයා ඇති මේ අභිධර්මාර්ථ ප්‍රදීපිකා නම්වූ ග්‍රන්ථයෙහි අභිධර්ම කාරණා ඉතා විසිතුරුවත්, විශදවත් ලියා ඇති බව කිය යුතුය.

කාණ්ඩ සතරෙකින් හා දෙදහසකට (2000) අධික පිටු ගණනකින් යුතුව මෙතරම් විස්තර විභාග සහිතව ලියැවුණු මේ සා විශාල අනෙක් අභිධර්ම ග්‍රන්ථයක් මෙතෙක් මේ රටෙහි ලියැවී නැතිසේ ය. නවීනයනට මෙන් ම ප්‍රවීනයනට ද මේ ග්‍රන්ථය බෙහෙවින් උපකාර වනුවා පමණක් නොව මෙය ජනකාන්ත ද වනුවා ඇත. වෛද්‍යවෘත්තියෙහි යෙදෙන ගමනේ මෙබඳු වටිනා ග්‍රන්ථයක් ලියා බෞද්ධ ධර්ම සාහිත්‍ය පෝෂණය කිරීම ගැන කවුරුනුත් රත්නපාල මහතාට කෘතඥ වීය යුතු බව කියනු කැමැත්තෙමි.

පියදස්සී ස්ථවිර.

1964 ජූලි 8 වෙනිදා

බම්බලපිටියේ

වජිරාරාමයේ දී ය.