6. චිත්ත වීථි ඇති වන සැටි

චිත්ත වීථි නාමයෙන් හඳුන්වන රූප දර්ශනාදිය සම්බන්ධයෙන් ඇති වන පඤ්චද්වාරාවජ්ජන චක්ඛු විඤ්ඤාණාදි සිත් වැල් ඒ ඒ පුද්ගලයන්ට තම තමන්ගේ උත්සාහයෙන් ද ඇති කළ නො හැකි ය. දේවාදි යම් කිසිවකු ගේ බලයකින් ඒවා ඇති කළ හැක්කේ ද නො වේ. චක්ෂුර්ද්වාර වීථියක් ඇති වෙතොත් ඇති වන්නේ රූපාරම්මණයක් චක්ෂුඃ ප්‍ර‍සාදයෙහි ගැටීමෙන් ම ය. බෙර ඇසෙහි අත වැදුණ හොත් හඬක් ඇති වන්නාක් මෙන් ගිනි පෙට්ටියෙහි ගිනිකූර ඇතිල්ලුවහොත් ගින්නක් හට ගන්නාක් මෙන්, චක්ෂුඃප්‍ර‍සාද-රූපාරම්මණ දෙක්හි ගැටීමක් සිදු වුව හොත් චක්ෂුර්ද්වාරික වීථි ඇති වේ.

චක්ෂුඃ ප්‍ර‍සාදයෙහි රූපයක් ගැටුණු කල්හි ඇති වන පඤ්චද්වාරාවජ්ජනාදි සිත් පෙළ අවුල් නො වන ලෙස පඤ්චද්වාරාවජ්ජන - චක්ඛුවිඤ්ඤාණ - සම්පටිච්ඡන - සන්තීරණාදි වශයෙන් පිළිවෙළ නො ඉක්මවා ඇති වන ලෙස විධානය කරන්නෙක් ද නැත. එසේ නැති ව මේ සිත් පිළිවෙළට ඇති වන්නේ පූර්ව පූර්ව සිත්වල බලයෙන් ම ය. පඤ්චද්වාරාවජ්ජනයක් ඇතිවීම නිසා එය ළඟට ඇති වීමට යෝග්‍ය වූ චක්ඛුවිඤ්ඤාණය ඇති වේ. චක්ඛුවිඤ්ඤාණය ඇති වීම නිසා එය ළඟට ඇති වීමට නිසි සිත වූ සම්පටිච්ඡනය ඇති වේ. සම්පටිච්ඡනාදිය ඇති වීම නිසා සන්තීරණාදිය ද එසේ ක්‍ර‍මානුකූල ව ඇති වේ.

නියාම ධර්ම

විධානය කරන්නකු නැති ව ම ක්‍ර‍මානුකූලව සිත් ඇති විය හැකි බව දැක්වීම පිණිස පෞරාණිකාචාර්‍ය්‍යයන් විසින් නියාම ධර්ම කථාව දක්වා තිබේ.

ඒ මෙසේ ය:-

බීජ නියාමය, සෘතු නියාමය, කර්ම නියාමය, ධර්ම නියාමය, චිත්ත නියාමය” නියාම ධර්ම පසෙකි.

අඹ ඇටයකින් කජු පැළයක් - දෙහි පැළයක් - දොඩම් පැළයක් ඇති නො වී, අඹ පැළයක් ම ඇති වීම; කොස් ඇටයකින් කොස් පැළයක් ම - පොල් ගෙඩියකින් පොල් පැළයක්ම යනාදි වශයෙන් ඒ ඒ බීජයන් ඒ ඒ ජාතියේ ම ගස් හට ගැනීම, කඩල ගසේ කරටිය උතුරට ම හැරී සිටීම; සූර්‍ය්‍යකාන්ත ගසේ කරටිය ඉර දෙසට හැරීම; පොල් ගෙඩියේ ඇස් තුනක් ඇතිවීම යනාදිය බීජ නියාමය ය.

ඒ ඒ ජාතිවලට අයත් ගස් වැල්වල එක ම කාලයකදී දලු - මල් ඵල හට ගැනීම සෘතු නියාමය ය.

ඒ ඒ කර්මයන්ට අනුකූල වන විපාකයක් ම ඇති වීම කර්ම නියාමය ය.

මහා බෝධිසත්ත්වයන් ගේ මවුකුස පිළිසිඳ ගැනීම් මව් කුසයෙන් බිහිවීම් - බුදුවීම් - දම්සක්පැවැත්වීම් ආදියෙහි පොළොව කම්පාවීම් ආදී නිමිති පහළ වීම ධර්ම නියාමය ය.

රූපාදි ආරම්මණයන් චක්ෂුරාදි ප්‍ර‍සාදයන්හි ගැටුණු කල්හි කිසිවකු ගේ සංවිධානයක් නැති ව ක්‍ර‍මානුකූලව සිත් පරම්පරාව ඇති වීම චිත්ත නියාමය ය.

කියන ලද කරුණු පස කාගේවත් සංවිධානයක් නැතිව නියාම ධර්ම අනුව සිදු වේ.

“චිත්ත වීථි උගෙනීම අමාරු වැඩක් ය” යන සම්මුතියක් රටේ පවතී. අමාරු වන්නේ පළමුවෙන් එක් වීථියක් උගෙනීමට ය. එය පිළිබඳව ඇති සියලු ම ප්‍ර‍ශ්න හොඳින් නිරාකරණය කර ගෙන එක් වීථියක් හොඳින් තේරුම් ගත හොත්, ඉදිරියට අපහසුවක් නැති ව චිත්ත වීථි උගත හැකිවනු ඇත. එබැවින් ඉදිරියට යන්නට ඉක්මන් නොවී මේ අතිමහන්තාරම්මණ වීථිය ඉතා හොඳින් ඉගෙන ගන්න. හොඳින් තේරුම් කර ගන්න.