සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මේ චෛතසිකයෝ තිදෙන විරති නම් වෙති.
බොරු කීම - කේලාම් කීම - ඵරුෂ වචන කීම නිෂ්ඵල වචන කීම යන කටින් සිදුවන පව් කම් සතරින් වළක්නා ස්වභාවය, සම්මා වාචා” නම් වේ.
සතුන් මැරීම - සොරකම් කිරීම - පරදාර සේවනය යන කයින් සිදුවන පව් කම් තුනෙන් වළක්නා ස්වභාවය “සම්මා කම්මන්ත” නමි.
කයින් හා වචනයෙන් කරන පව් කම් දිවි පැවැත්වීමේ උපායක් වශයෙන් ද කෙරෙති. අන් කරුණු සඳහා ද කෙරෙති. දිවි පැවැත්වීම සඳහා කරන කාය වාග් දුශ්චරිතවලින් වළක්නා ස්වභාවය “සම්මා ආජීව” නමි.
මේ චෛතසික තුන කරණ කොට ගෙන පව් කම්වලින් වළක්නා බැවින් ඒ චෛතසිකයෝ විරති නම් වෙති.
කරුණා-මුදිතා යන මේ චෛතසික දෙක අප්‍රමාණ්‍ය නම් වේ.
තමාට දුක් ඇති වෙනාවට නො කැමති වන්නාක් මෙන් ම, අනුන් දුක් වීමත් නො කැමති වන, අනුන් දුකින් මුදවනු කැමති ස්වභාවය “කරුණා” නම් වේ.
තමාට යම් සම්පතක් ලැබුණ හොත් ඒ ගැන සතුටු වන්නාක් මෙන්, අනුන්ගේ සම්පත් ගැන සතුටු වන්නා වූ ස්වභාවය ‘මුදිතා’ නම් වේ.
අප්‍රමාණ සත්ත්වයන් ගැන පවත්වන බැවින් මේ දෙක අප්‍රමාණ්‍ය නම් වේ.
සිතින් දැන ගන්නවාට වඩා හොඳින්, වඩා පිරිසිදු ලෙස - වඩා ගැඹුරු ලෙස අරමුණු දක්නා ස්වභාවය ප්‍රඥා චෛතසිකයය. එයට “අමෝහය” යි ද, “විද්‍යාව” යයි ද කියනු ලැබේ.
ශෝභන සාධාරණ චෛතසික දහනවය ය, විරති තුන ය, අප්‍රමාණ්‍ය දෙක ය, ප්‍රඥා චෛතසිකය ය යන මේ චෛතසික විසිපහට “ශෝභන චෛතසික” ය යි කියනු ලැබේ.
විශේෂ කරුණු
සම්පත්ත විරතිය, සමාදාන විරතිය, සමුච්ඡේද විරතිය කියා එක් එක් විරති චෛතසිකයන් තුන් ආකාර වේ. පව් කමක් කරන්නට සිදු වන අවස්ථාවක් පැමිණි කල්හි, කලින් සික පද සමාදන් වීමක් නැති ව ම හෝ සික - පද සමාදන් වී තුබුණත් ඒවා ගැන අපේක්ෂාවක් නො කොට, පාපයෙහි දෝෂය පමණක් සලකා, පවින් වළකින්නහුට ඇති වන විරතිය “සම්පත්ත විරති” නම් වේ. සික - පද සමාදන් වීම් වශයෙන් ද, සමාදන් වූ සික - පද රැකීම් වශයෙන් ද ඇති වන විරතිය “සමාදන විරති” නම් වේ. ලෝකෝත්තර මාර්ග චිත්තය හා උපදනා විරතීහු “සමුච්ඡේද විරති” නම් වෙති.
මෛත්‍රී - කරුණා - මුදිතා - උපේක්ෂා යයි අප්‍රමාණ්‍ය සතරෙකි. මේ ශෝභන චෛතසිකවල දී අප්‍රමාණ්‍ය නාමයෙන් චෛතසික දෙකක් පමණක් දක්වා ඇත්තේ තත්‍රමජ්ඣත්තතා නාමයෙන් උපේක්ෂාවත්, අදෝස නාමයෙන් මෛත්‍රියත් ශෝභන සාධාරණ චෛතසිකයන්ට ඇතුළත් ව කියැවුණු බැවිනි.
මේවා කටපාඩම් කර ගන්න.
“ඵස්ස වේදනා සඤ්ඤා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මනසිකාරය” යි සර්ව චිත්ත සාධාරණ චෛතසික සතෙකි.
“විතක්ක විචාර අධිමොක්ඛ විරිය පීති ඡන්ද ය” යි ප්‍රකීර්ණක චෛතසික සයෙකි.
“මෝහ අහිරික අනොත්තප්ප උද්ධච්ච ලෝභ දිට්ඨි මාන දෝස ඉස්සා මච්ඡරිය කුක්කුච්ච ථින මිද්ධ විචිකිච්ඡා ය” යි අකුශල චෛතසික තුදුසෙකි.
“සද්ධා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝස තත්‍රමජ්ඣත්තතා කායපස්සද්ධි චිත්තපස්සද්ධි කායලහුතා චිත්තලහුතා කායමුදුතා චිත්තමුදුතා කායකම්මඤ්ඤතා චිත්තකම්මඤ්ඤතා කායපාගුඤ්ඤතා චිත්තපාගුඤ්ඤතා කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා” යි සෝභන සාධාරණ චෛතසික එකුන්විස්සෙකි.
“සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවය” යි විරති තුනෙකි.
“කරුණා, මුදිතාය” යි අප්‍රමාණ්‍ය දෙකකි. “ප්‍රඥා” චෛතසිකයත් සමග මේ චෛතසික පස් විස්ස ශෝභන චෛතසිකයෝ ය.
අන්‍යසමාන දහතුන ය, අකුශල දාහතර ය, සෝභන විසිපසය යි චෛතසික පනස් දෙකකි.