“මෝහය, අහිරිකය, අනොත්තප්පය, උද්ධච්චය, ලෝභය, දිට්ඨිය, මානය, දෝසය, ඉස්සාවය, මච්ඡරිය ය, කුක්කුච්චය, ථීනය, මිද්ධය, විචිකිච්ඡාව ය යි අකුශල චෛතසික තුදුසෙකි.
මෝහය
අරමුණෙහි සැබෑ තත්ත්වය වසන ස්වභාවය මෝහ නම් වේ. මෝ මෝහය ඇසෙහි ඇති පටලයක් වැනිය යි ද, අඳුරක් වැනිය යි ද කිය යුතු ය. මේ නිසා සත්ත්වයනට දුක ම මිහිරක් සැටියට, සැපයක් සැටියට පෙනේ. දුක් ඇති වීමේ හේතුව වන තණ්හාව සැපයේ හේතුවක් සේ පෙනේ. දුක් නිවීම වූ සැබෑ සැපය, නපුරක් සැටියට පෙනේ. සැප ලැබීමේ සැබෑ මඟ දුකක් සැටියට පෙනේ. එබැවින් දුක නො දැනීම ය, දුක් ඇති වීමේ හේතුව නො දැනීම ය, දුක් නිවීම වූ සැබෑ සැපය නො දැනීම ය, සැබෑ සැපයට පැමිණෙන මාර්ගය නො දැනීම ය යන මේවාට මෝහය යයි කියනු ලැබේ. අවිද්‍යාව යයි කියනුයේ ද මේ මෝහයට ය.
අහිරිකය
පාපය පිළිකුල් නො කරන ස්වභාවය අහිරික නමි. මෙයට පාපයට ලජ්ජා නො වන ස්වභාවය යි ද කියනු ලැබේ.
අනොත්තප්පය
පාපයට බිය නො වන ස්වභාවය අනොත්තප්පය නමි. අහිරිකය අනොත්තප්පය යන මේ චෛතසික දෙක අකුශල පක්ෂයෙහි මහ බල දෙකකි.
උද්ධච්චය
සිත සැලෙන ස්වභාවය, ආරම්මණයෙහි මැනවින් නො පිහිටන ස්වභාවය උද්ධච්ච නමි. මෙය සමාධියට විරුද්ධ ස්වභාවයෙකි.
ලෝභය
අරමුණ හොඳ දෙයක් සැටියට ගෙන, එහි ඇලෙන ස්වභාවය ලෝභ නමි. එය අරමුණට ඇලුම් කරන ස්වභාවය යි ද කිය යුතු ය. රාගය - ප්‍රේමය - ආලය - ආදරය - ආශාව - ඕනෑකම යන වචන වලින් කියැවෙන්නේ ද ලෝභය ම ය.
දිට්ඨිය
වරදවා දකින ස්වභාවය, කාරණය වැරදි ලෙස ගන්නා ස්වභාවය දිට්ඨි නම් වේ. ඇති දෙයක් නැති සැටියටත්, නැති දෙයක් ඇති සැටියටත්, වූ දෙයක් නො වූ දෙයක් සැටියටත්, වන දෙයක් නො වන දෙයක් සැටියටත්, හොඳ දෙය නරක දෙය ලෙසටත්, නරක දෙයක් හොඳ දෙය ලෙසටත්, හොඳ විපාකයක් ඇති දෙය නරක විපාකයක් ඇති දෙයක් ලෙසටත්, නරක විපාකයක් ඇති වන දෙය හොඳ විපාකයක් ඇති වන සැටියටත් දක්නා ස්වභාවය වරදවා දකින ස්වභාවය ය. දිට්ඨිය - සම්මා දිට්ඨි - මිච්ඡා දිට්ඨි කියා දෙ පරිදි වේ. සම්මා දිට්ඨි යනු කාරණය ඇති සැටියට දක්නා නුවණ ය. මිච්ඡා දිට්ඨි යනු වරදවා දකින ස්වභාවය ය. මේ අකුශල චෛතසිකයන්හි දිට්ඨි යන නාමයෙන් දැක්වෙන්නේ මිච්ඡා දිට්ඨිය ය.
මානය
මම ලෝකයෙහි එක්තරා උසස් කෙනෙක්මිය යනාදීන් තමාගේ තත්ත්වය තමා විසින් ම මැන ගන්නා ස්වභාවය මාන නම් වේ. සෙය්‍ය මානය - සදිස මානය - හීන මානය කියා මානය තෙ වැදෑරුම් වේ. තමා අන්‍යයන්ට වඩා උසස් ය කියා ඇති වන මානය “සෙය්‍යමාන” නම් වේ. තමා අන්‍යයන් හා සමය කියා ඇති වන මානය “සදිස මාන” නම් වේ. තමා අන්‍යයන්ට වඩා හීනය කියා ඇති වන මානය “හීන මාන” නම් වේ. මේ මානය උමතු කමක් මෙන් දතයුතු යයි කියා තිබේ.
දෝසය
අරමුණට විරුද්ධ ස්වභාවය දෝසය ය. ද්වේෂය යනු ද එයට නමෙකි. එය සාමාන්‍යයෙන් නපුරු බව රළු බව ලක්ෂණ කොට ඇතියකි. එය කීප ආකාරයකින් ඇති වේ. ක්‍රෝධය - කෝපය - භය - නො සතුට - පිළිකුල - අප්‍රසාදය යන නම් වලින් කියැවෙන්නේ ද ඒ ඒ ආකාරයෙන් ඇති වන්නා වූ ද්වේෂ ය ය. ශෝකයත් ද්වේෂය හා ඇති වන්නකි.
ඉස්සාව
අනුන් ගේ සැපයට - අනුන් ගේ සම්පත්තියට විරුද්ධ ස්වභාවය ඉස්සා නමි. ඊර්ෂ්‍යා යනු ද එයට නමෙකි.
මච්ඡරිය
තමා අයත් දෙයක් අනිකකට අයිති වීම නො ඉවසන්නා වූ ද, තමා අයත් දෙයකින් අනිකකුට ප්‍රයෝජනයක් වීම නො ඉවසන්නා වූ ද, තමා ගේ සම්පත්තිය වැනි සම්පත්තියක් අනිකකුට ලැබීම නො ඉවසන්නා වූ ද, තමාගේ සම්පත්තිය හඟවන්නා වූ ද ස්වභාවය මච්ඡරිය නමි. මාත්සර්‍ය්‍ය යනු ද එයට නමෙකි.
(ආවාස මච්ඡරිය - කුලමච්ඡරිය - ලාභ මච්ඡරිය - වණ්ණ මච්ඡරිය - ධම්ම මච්ඡරිය යයි මච්ඡරිය පසක් බව ධම්මසඞ්ගණියේ වදාරා තිබේ.)
කුක්කුච්ච
කළ පව් කම් ගැන හා නො කළ පින් කම් ගැනත් පසු තැවෙන ස්වභාවය කුක්කුච්ච නම් වේ.
ථීනය හා මිද්ධය
සිතෙහි දුබල බව, චිත්ත වේගයේ හීන බව, සිතෙහි අලස බව ථීන නම් වේ. චෛතසිකයන්ගේ දුබල බව, අලස බව මිද්ධ නම් වේ. ථීන මිද්ධ ඇති වීමෙන් සිත හැකිළේ. වීර්‍ය්‍යය හීණ වේ. සමහරවිට නිදිමත ද ඇති වේ.
විචිකිච්ඡාව
අරමුණ පිළිබඳ වූ සැකය විශ්වාසයක් නැති බව විචිකිච්ඡා නම් වේ. මෙය ශ්‍රද්ධාවට හා ඥානයටත් විපක්ෂ චෛතසිකයෙකි. මේ අකුශල කථාවෙහි විචිකිච්ඡා යනුවෙන් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් සියලු ම කුශලයන්ටත්, විශේෂයේ ධ්‍යානාදි උසස් ධර්මවලටත් බාධක වූ සැකයෝ ය. නො දන්නා දේවල් පිළිබඳ ව, එසේ ද, මෙසේ ද කියා කාහටත් සැක ඇති වේ. එය මේ විචිකිච්ඡා චෛතසිකය නොවේ. අකුශල විචිකිච්ඡා වන්නේ බුදුන් ගැන සැක කිරීම්, දහම් ගැන සැක කිරීම් ආදිය ය.