10. අකුසල චිත්තයන්හි චෛතසික සංග්‍රහය
එක් එක් චෛතසිකයන් කවර කවර සිත්වල යෙදෙනවා ද කියා දැන් ඔබ දන්නෙහි ය. මින් ඉදිරියට කළ යුත්තේ සිතක් පාසා ම ඒ ඒ සිතේ යෙදෙන චෛතසික ගණන සොයා ගැනීම ය. මෙ තැන් පටන් චිත්ත පරිච්ඡේදයේ දී සිත් දැක්වූ පිළිවෙළින් ඒ ඒ සිත්වල යෙදෙන චෛතසික සඞ්ඛ්‍යාව දක්වනු ලැබේ.
අන්‍යසමාන චෛතසික දහතුනය, අකුශල චෛතසික දාහතරය කියා අකුසල් සිත්වල යෙදෙන චෛතසිකයන් ඇත්තේ විසි හතකි. ඔබට චෛතසික සෙවීම පහසු වනු සඳහා ඒ චෛතසික විසි හතෙන් සියල් ම අකුසල් සිත්වල යෙදෙන චෛතසික පළමුවෙන් සොයා ගන්න. සර්වචිත්ත සාධාරණ චෛතසික සතය. විතක්ක - විචාර - විරිය යන ප්‍රකීර්ණක චෛතසික තුන ය. මෝහ - අහිරික - අනොත්තප්ප - උද්ධච්ච යන අකුසල සාධාරණ චෛතසික සතර ය යන මේ චෛතසික දාහතර සියලු ම අකුසල් සිත්වල යෙදෙන බව මුලින් ම සිතේ තබා ගත්තාම ඒ ඒ සිතේ යෙදෙන අනිකුත් චෛතසික පහසුවෙන් සොයා ගත හැකි වනු ඇත.
ලෝභ මූලයේ පළමු වන සිත වූ සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසඞ්ඛාරික සිතෙහි ඉහත කී චෛතසික තුදුස හැර, අමුතුවෙන් යෙදෙන්නේ අධිමොක්ඛ - පීති - ඡන්ද යන අන්‍යසමාන තුන හා ලෝභ දිට්ඨි යන අකුශල චෛතසික දෙක ය.
- 1.ලෝභමූලයේ පළමු වන චිත්තයෙහි අන්‍යසමාන චෛතසික දහතුනය, අකුශලය සාධාරණ සතරය, ලෝභය ය, දිට්ඨිය ය යන චෛතසික දහනවය යෙදේ.
- 2.ලෝභ මූලයේ දෙවන චිත්තයෙහි පළමු වන සිතේ යෙදෙන චෛතසික දහනවය ය, ථීන මිද්ධ දෙකය යන චෛතසික විසිඑක යෙදේ. ථීනමිද්ධය යෙදෙන්නේ සමහර විටෙක ය.
- 3.ලෝභ මූලයේ තුන් වන සිතෙහි අන්‍යසමාන දහතුනය, අකුශල සාධාරණ සතරය, ලෝභ-මාන දෙකය යන චෛතසික එකුන් විස්ස යෙදේ.
- 4.සතර වන සිතෙහි, තුන් වන සිතේ යෙදෙන චෛතසික හා ථීනමිද්ධ දෙක ද යන චෛතසික විසි එක යෙදේ.
- 5.පස් වන සිතෙහි, පළමු වන සිතෙහි යෙදෙන චෛතසික දහනවයෙන් පීතිය හැර ඉතිරි දහ අට යෙදේ.
- 6.සවන සිතෙහි, දෙවන සිතේ යෙදෙන චෛතසික විසි එකෙන් පීතිය හැර ඉතිරි විස්ස යෙදේ.
- 7.සත්වන සිතෙහි, තුන් වන සිතේ යෙදෙන චෛතසික දහනවයෙන් පීතිය හැර ඉතිරි දහ අට යෙදේ.
- 8.අට වන සිතෙහි, සතර වන සිතේ යෙදෙන චෛතසික විසි එකෙන් පීතිය හැර ඉතිරි විස්ස යෙදේ.
- 9.ද්වේෂ මූල පළමු වන සිතෙහි, පීතිය හැර අන්‍ය සමාන දොළස ය, අකුශල සාධාරණ සතර ය, දෝස - ඉස්සා - මච්ඡරිය - කුක්කුච්ච සතරය යන චෛතසික විස්ස යෙදේ. ඉස්සා - මච්ඡරිය - කුක්කුච්චයන් යෙදෙන්නේ සමහර අවස්ථාවල පමණෙකි. යෙදෙන කල්හි ද ඒවායින් එකක් පමණක් යෙදේ.
- 10.ද්වේෂ මූල දෙවන සිතෙහි, පළමු වන සිතෙහි යෙදෙන චෛතසික විස්සය, ථීන - මිද්ධයෝ ය යන චෛතසික දෙවිස්ස යෙදේ.
- 11.මෝහ මූල පළමු වන සිතෙහි, අධිමොක්ඛ - ඡන්ද - පීති හැර අන්‍යසමාන දශයය, අකුශල සාධාරණ සතර ය, විචිකිච්ඡාවය යන චෛතසික පසළොස යෙදේ.
- 12.මෝහ මූල දෙවන සිතෙහි, ඡන්ද - පීති හැර අන්‍ය සමාන එකොළොස ය, අකුසල සාධාරණ සතරය යන චෛතසික පසළොස යෙදේ.