9. මෝහමූල සිත් දෙක

star_outline

යම් කිසි කරුණක් සිතන කල්හි ඒ කරුණ හරියට දැන ගන්නට නො පිළිවන් වන පරිදි සිත අඳුරු කරන එක්තරා ස්වභාවයකට මෝහය යි කියනු ලැබේ. එය සාමාන්‍යයෙන් අකුසල් සිත් සියල්ලෙහි ම ඇත්තේ ය. එය මෝහ මූල චිත්තයෙහි බලවත් ව ඇත්තේ ය. මෝහ මූල චිත්තය බෙදෙන්නේ විචිකිච්ඡා, උද්ධච්ච යන චෛතසික දෙකෙනි.

බුද්ධාදි රත්නත්‍ර‍ය ගැන හා පින් පව්වල විපාක, මරණින් මතු නැවත ඉපදීම යනාදිය ගැන හටගන්නා සැකය විචිකිච්ඡා නම් වේ. යම් කිසිවක් සිතන කල්හි කරන කල්හි සිතෙහි හටගන්නා නො සන්සුන් ගතිය කලබල ගතිය උද්ධච්ච නම් වේ. මෝහමූල චිත්තය සමහර අවස්ථාවෙක විචිකිච්ඡාවෙන් යුක්ත ව ද සමහර අවස්ථාවෙක බලවත් උද්ධච්චයෙන් යුක්ත ව ද උපදී.

මෝහමූල චිත්තය, අරමුණේ සැටි වසන මෝහයෙන් යුක්ත වන නිසා ද, අරමුණ ගැන නිශ්චයක් නැති නිසා ද, උද්ධච්චයාගේ වශයෙන් සැලෙන නිසා ද, අරමුණු රසය හොඳින් ගැනීමට සමත් නොවේ. එබැවින් සෑම කල්හි ඒ සිත උපේක්ෂා සහගත ම වේ.

සැකය ය නො සන්සුන් කම ය යන මේ දෙක ප්‍ර‍කෘතියෙන් ම සත්ත්වයන් තුළ ඇති වන කරුණු දෙකකි. ඒවා කෙනකුගේ මෙහෙයීමෙන් ඇති වන ධර්ම නො වේ. එබැවින් මෝහමූල චිත්තයෙහි සඞ්ඛාර භේදය නො ලැබේ. සියලු ම මෝහමූල සිත් අසඞ්ඛාරිකය.

  1. උපේක්ෂා සහගත විචිකිත්සා සම්ප්‍ර‍යුක්ත සිතය
  2. උපේක්ෂා සහගත ඖධත්‍ය සම්ප්‍ර‍යුක්ත සිතය

යි මෝහමූල සිත් දෙකකි.

මෝහමූල සිත් දුබල බැවින් ඒවායින් ලෝභමූල දෝසමූල සිත්වලින් මෙන් බරපතල විපාක ඇති නො වේ. විචිකිච්ඡා සහගත සිතෙහි ඇති විශේෂ නපුර නම් එය ඇති වන තැනැත්තා ගේ සිත පස්කම් සැපයට මිස කුශලයට නො නැමීම ය. විචිකිච්ඡාව ඇතිව කුශලයක් කළත් එය බලවත් කුශලයක් නො වේ.

සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ ඥානය ඉක්ම වූ උසස් නුවණ ඇති බුද්ධාදී මහෝත්තමයන්ට මිස, සෙස්සන්ට අවිෂය වූ කරුණු විවේචනය කරන්නට යෑමෙනුත්, පරලොව ආදිය පිළිබඳ ව සාමාන්‍ය ජනයා කරන පුහු විවේචන ඇසීමෙනුත්, කියැවීමෙනුත් බොහෝ දෙනාට විචිකිච්ඡාව වැඩි වේ. එය දුරු කර ගැනීමට ඇත්තා වූ උපාය නම් තමාගේත් බුද්ධාදීන්ගේත් වෙනස තේරුම් ගෙන ශ්‍ර‍ද්ධාව දියුණු කර ගැනීමය.

උද්ධච්ච සහගත සිත වනාහි හදිසියෙන් පැමිණෙන කරුණුවලදිත් එක විට බොහෝ වැඩ කිරීමේදීත් ඉක්මනින් වැඩ කිරීමේදීත් සමහර විට ඇති වන්නකි. ඉතා දුබල බැවින් මරණින් මතු සත්ත්වයා අපායට පැමිණවීමේ ශක්තිය ද ඒ සිතට නැත. ඉතිරි අකුසල් සිත් එකොළොසට අපායට පැමිණවීමේ ශක්තිය ඇත්තේ ය.

ලෝභමූල සිත් අට ය, ද්වේෂමූල සිත් දෙක ය, මෝහමූල සිත් දෙකය කියා අකුසල් සිත් දොළොසෙකි.

ඒ සිත් දොළොසෙහි සෝමනස්ස සහසගත සිත් සතරක් ද, උපේක්ෂා සහගත සිත් සයක් ද, දෝමනස්ස සහගත සිත් දෙකක් ද, අසඞ්ඛාරික සිත් සතක් ද, සසඞ්ඛාරික සිත් පසක් ද ඇත්තේ ය.

ප්‍ර‍ශ්න

  1. මෝහය යනු කුමක් ද?
  2. විචිකිච්ඡාව යනු කුමක් ද?
  3. උද්ධච්චය යනු කුමක් ද?
  4. මෝහමූල චිත්තය බෙදෙන්නේ කුමකින්ද?
  5. මෝහමූල සිත සෝමනස්සයෙන් හෝ දෝමනස්සයෙන් යුක්ත නොවන්නේ කුමක් නිසා ද?
  6. මෝහමූල චිත්තයෙහි සඞ්ඛාර භේදය නො ලැබෙන්නේ කුමක් නිසා ද?
  7. විචිකිච්ඡාව දුරු කර ගත හැක්කේ කෙසේ ද?
  8. විචිකිච්ඡාව ඇති වීමේ හේතු මොනවා ද?
  9. සියල්ලට ම දුබල අකුසල සිත කුමක් ද?