17. ලෝකෝත්තර සිත් අට

සම්මාදිට්ඨි - සම්මාසඞ්කප්ප - සම්මාවාචා - සම්මා කම්මන්ත - සම්මා ආජීව - සම්මා වායාම - සම්මා සති - සම්මා සමාධි යන මේ චෛතසික ධර්ම අටට ‘ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්ගය’ යි කියනු ලැබේ. සංසාර සඞ්ඛ්‍යාත ලෝකයෙන් එතර වනු රිසියෙන් විදර්ශනා භාවනාවෙහි යෙදෙන යෝගාවචරයා ගේ සන්තානයෙහි ඒ ධර්මයෝ ක්‍ර‍මයෙන් දියුණු වෙති. යෝගාවචරයාහට නිවන ප්‍ර‍ත්‍යක්ෂ කරවිය හැකි තරමට, මතු කවර කලෙකවත් ඇති නොවන ලෙස, කෙලෙසුන් නැසිය හැකි තරමට දියුණු වූ අෂ්ටාඞ්ගික මාර්ගය, සත්ත්වයා ලෝකයෙන් එතෙර කොට නිවනට පමුණුවන බැවින් ‘ලෝකෝත්තර මාර්ගයෙන් යුක්ත වන සිතට “ලෝකෝත්තර මාර්ගය” යි කියනු ලැබේ. ඒ ලෝකෝත්තර මාර්ගයෙන් යුක්ත වන සිතට ‘ලෝකෝත්තර සිත ය’ යි කියනු ලැබේ.

එක් පුද්ගලයකු ගේ සන්තානයෙහි ලෝකෝත්තර මාර්ගය එකිනෙකට වඩ වඩා බලවත් ව සතර වාරයක් ඇති වේ. පළමු වන වර ඇති වන ලෝකෝත්තර මාර්ගයට ‘සෝතාපත්ති මග්ග’ කියා ද, දෙවන වර ඇති වන ලෝකෝත්තර මාර්ගයට ‘සකදාගාමි මග්ග’ කියා ද, තුන් වන වර ඇති වන ලෝකෝත්තර මාර්ගයට “අනාගාමි මග්ග” කියා ද, සතර වන වර ඇති වන ලෝකෝත්තර මාර්ගයට “අරහත්ත මග්ග” කියා ද, නම් කර තිබේ. සතර වරක ඇති වන ලෝකෝත්තර මාර්ගයන් අනුව -

  1. සෝතාපත්ති මග්ග චිත්තය
  2. සකදාගාමි මග්ග චිත්තය
  3. අනාගාමි මග්ග චිත්තය
  4. අරහත්ත මග්ග චිත්තය

කියා ලෝකෝත්තර කුසල් සිත් සතරක් වේ.

ලෝකෝත්තර විපාකවලට බොහෝ සෙයින් ව්‍යවහාර වී ඇත්තේ “විපාක” යන නාමය නො ව “ඵල” යන නාමය ය. විපාක ඵල යන වචන දෙක්හි අර්ථ වශයෙන් වෙනසක් නැත්තේ ය. ලෝකෝත්තර කුශලය වනාහි ලෞකික කුශලයන් මෙන් කල් පසු කොට, තමා ගේ විපාකය ඇති කරන්නක් නොව එකෙණෙහි ම විපාකය ඇති කරන කුශලයෙකි.

  1. සෝතාපත්ති ඵල චිත්තය
  2. සකදාගාමි ඵල චිත්තය
  3. අනාගාමි ඵල චිත්තය
  4. අරහත්ත ඵල චිත්තය

කියා ලෝකෝත්තර විපාක සිත් ද සතරක් වේ. ලෝකෝත්තර ක්‍රියා සිත් නැත්තේ ය. කුසල් සිත් සතරක් හා විපාක සිත් සතරක් වීමෙන් ලෝකෝත්තරසිත් අටක් වේ. ලෝකෝත්තර ක්‍රියා සිත් නැත්තේ එක් එක් මාර්ග සිතක් එක් පුද්ගලයකු තුළ එක වරකට වඩා ඇති නොවන බැවිනි. මාර්ග චිත්තය පළමු වන වර ඇති වීමේදී ම ඒ ඒ මාර්ග චිත්තයේ ශක්ති ප්‍ර‍මාණයෙන් ක්ලේශ ප්‍ර‍හාණයක් සිදු වේ. මාර්ග චිත්තයන් නැවත නැවත ඇති නො වන්නේ ප්‍ර‍හීණ ක්ලේශයෙහි නැවත ප්‍ර‍හාණයක් කරන්නට දෙයක් නැති බැවිනි.

කාමාවචර සිත් (54) සිවු පනසක් ද, රූපාවචර සිත් (15) පසළොසක් ද, අරූපාවචර සිත් (12) දොළොසක් ද, ලෝකෝත්තර සිත් (8) අටක් ද වීමෙන් කෙටි ක්‍ර‍මයෙන් සිත් (89) එකුන් අනූවක් වේ.

එකුන් අනූ චිත්තයෙහි අකුසල් (12) දොළොසක් ද, කුසල් (21) එක් විස්සක් ද, විපාක (36) සතිසක් ද, ක්‍රියා (20) විස්සක් ද ඇත්තේ ය. ඒවා සොයාගත යුතු.

මේ එකුන්අනූ චිත්තය අහේතුක සිත්ය, සහේතුක සිත් ය කියා දෙ කොටසකට ද, ශෝභන සිත් ය අශෝභන සිත් ය. කියා දෙ කොටසකට ද, ලෞකික සිත් ය-ලෝකෝත්තර සිත් ය කියා දෙ කොටසකට ද බෙදෙන්නේ ය. ඒ ඒ කොටස්වලට අයත් සිත්වල ගණන් සොයා ගත යුතු. වේදනාදි භේදවලින් ලෝකෝත්තර සිත් අට නො බෙදිය හැකි ය.

ප්‍ර‍ශ්න

  1. ලෝකෝත්තර මාර්ගය යනු කුමක් ද?
  2. ලෝකෝත්තර සිතය යනු කුමක් ද?
  3. ලෝකෝත්තර සිත භේදයට පැමිණෙන්නේ කවර කරුණු අනුව ද?
  4. ලෝකෝත්තර විපාක සිත්වලට කියන අනික් නම කුමක් ද?
  5. සිත් සියල්ල ම කොපමණ ද?
  6. ශෝභන සිත් හා අශෝභන සිත් කොතෙක් කොතෙක් ඇත්තේ ද?
  7. කුසල් - අකුසල් - විපාක - ක්‍රියා සිත් කොතෙක් කොතෙක් ඇත්තේ ද?