හැඳින්වීම

අප විසින් සම්පාදිත දහම් පොත් කියවූ ගිහි පැවිදි බොහෝ දෙනකුන් විසින් හා දහම් පාසල් පවත්වන, ඒවායේ උගන්වන බොහෝ දෙනකුන් විසින් ද තේරුම් ගැනීමට උගෙනීමට උගැන්වීමට පහසු අභිධර්ම ග්‍ර‍න්ථයක් සම්පාදනය කරන ලෙස නොයෙක් වර ආරාධනා කළ බැවින් අප විසින් අභිධර්ම මාර්ගය නැමැති මේ ග්‍ර‍න්ථය සම්පාදනය කරන ලදී.

දැනට ඇත්තා වූ අභිධර්ම පාඩම් පොත්වල බොහෝ තැන් තේරුම් ගැනීමට අපහසු වී ඇත්තේ ටීකා ග්‍ර‍න්ථවල එන පාළි පාඨ ඒ සැටියෙන් ම සිංහලට පෙරලා ඒ පොත්වල නොයෙක් තැන්වල යොදා තිබීම නිසා ය. අභිධර්ම මාර්ගය නමැති මේ ග්‍ර‍න්ථය සම්පාදනය කිරීමේදී අපි ඒ ක්‍ර‍මය අනුගමනය නො කෙළෙමු.

අප විසින් මේ ගත සම්පාදනය කර ඇත්තේ කෙසේ කිවහොත් ඒ ඒ කාරණය සිසුනට පහසුවෙන් අවබෝධ කරගත හැකිවේදැ යි සිතීමෙදී අපට වැටහුණු හැටියට ය. අන් බසකින් පෙරළාගත් කිසිවක් මේ ග්‍ර‍න්ථයෙහි යොදා නැත. මේ ග්‍ර‍න්ථයෙහි හා අන් අභිධර්ම පාඩම් පොත්වල ඇති වෙනස තේරුම් ගැනීමට නිදසුන් කීපයක් මෙසේ ය:-

එක් අභිධර්ම පාඩම් පොතක චිත්ත චෛතසික රූප නිර්වාණ යන පරමාර්ථ සතරින් චිත්තය හඳුන්වා ඇත්තේ මෙසේ ය:-

“චින්තේතීති චිත්තං, අරමුණ සිතන හෙයින් චිත්ත නම් වේ. මේ වචනාර්ථයෙන් අරමුණු සිතන්නා වූ ස්වභාවය චිත්ත යයි කියනු ලැබේ.”

අන් පොතක චිත්තය හඳුන්වන්නේ මෙසේ ය‍

සිතන්නේ හෙවත් අරමුණු දැනගන්නේ චිත්තය ය. සිත ඉපදීම පිළිබඳ අන්‍ය හේතු ඇත ද අරමුණ දැනගැන්ම එහි ප්‍ර‍ධාන හේතුව බව දත යුතුයි.

මේ ග්‍රන්ථයේ සිත හඳුන්වා ඇත්තේ මෙසේ ය.

“පරමාර්ථ සතර අතුරෙන් චිත්තය යනු දැනීම ය. සිතය කියනුයේ ද එයට ය.

එක් පොතක චෛතසිකය හඳුන්වා ඇති සැටි.

“චේතසි භවං චෙතසිකං, සිතෙහි වූයේ චෛතසික නමි. මේ වචනාර්ථයෙන් සිතෙහි පහළ වන ඵස්ස (ගැටීම) වේදනා (විඳීම) ආදි ස්වභාව ධර්ම සමූහය චෛතසික යයි කියනු ලැබේ.”

අන් පොතක ඇති සැටි.

“චිත්තයෙහි වූවෝ හෙවත් චිත්තයෙහි යෙදුණෝ චෛතසිකයෝ ය.”

මෙහි චෛසික හඳුන්වා ඇත්තේ මෙසේ ය.

“සිතක් හෙවත් අරමුණු දැනීමක් ඇති වන කල්හි ඒ දැනීම් ක්‍රියාව හා මිශ්‍ර‍ව ඇතිවන්නා වූ අන්‍ය ක්‍රියාවෝ චෛතසිකයෝ ය.

එක් පොතක රූපය හඳුන්වා ඇති සැටි.

“රුප්පතීති රූපං” විකාර වේනු යි රූප නමි. මේ වචනාර්ථයෙන් ශීතෝෂ්ණාදියෙන් විකාර වන ස්වභාව ධර්ම සමූහය රූපය යි කියනු ලැබේ.”

අන් පොතක ඇති සැටි.

“ශීත උෂ්ණ ආදියෙන් විකාරයට පැමිණෙන්නේ රූපය ය.”

මෙහි රූප දක්වා ඇති සැටි.

“සත්ත්ව ශරීර හා බාහිර වස්තූන් සෑදී ඇති මූලික ධර්ම රාශිය රූපයෝ ය.”

එක් පොතක නිර්වාණය හඳුන්වා ඇති සැටි.

“වානතෝ නික්ඛන්තං නිබ්බානං” වානය යි කියන ලද තෘෂ්ණාවෙන් නික්මුණා වූ ස්වභාවය නිබ්බාන නමි. මෙහි වාන නම් කුදුමහත් භවයන් එකට බැඳ ගලපන අර්ථයෙන්් තෘෂ්ණාවමැ යි.”

අන් පොතක නිවන හඳුන්වා ඇති සැටි.

“වාන යනු තෘෂ්ණාව ය. ඒ වාන සඞ්ඛ්‍යාත තෘෂ්ණාවෙන් නික්මුණේ නිර්වාණය ය. රාගගිනි ආදිය නිවන්නේ හෝ නිර්වාණය යි.”

මෙහි නිර්වාණය හඳුන්වා ඇති සැටි.

“රාගාදි කෙලෙස් ගිනිවලින් හා ජාති ජරා ව්‍යාධි මරණාදි දුක් ගිනිවලින් තොර වූ ශාන්ත සුඛස්වභාවය නිර්වාණය ය.

මෙහි සියලු ම පාඩම් සම්පාදනය කර ඇත්තේ ද හැකිතාක් පොදු ජනයා අතර ව්‍යවහාර කරන වචන යෙදීමෙනි. මෙහි අප්‍ර‍සිද්ධ වචන යොදා ඇත්තේ, ප්‍ර‍සිද්ධ වචනයන් සොයා ගත නුහුණු තැන්වල පමණෙකි. එබැවින් මේ පොත දැනට ඇත්තා වූ අනික් පොත්වලට වඩා පහසුවෙන් කියවා තේරුම් ගත හැකි වනු ඇත. උත්සාහවන්තයකුට ගුරුවරයකු ඇසුරු නො කොට වුව ද මේ පොතින් අභිධර්මය උගත හැකි වනු ඇත.

දැනට භාවිත කරන අභිධර්ම පාඩම් පොත් සියල්ල ම වාගේ සම්පාදනය කර ඇත්තේ අභිධර්මාර්ථ සංග්‍ර‍හය අනුව ය. මෙය සම්පාදනය කර ඇත්තේ ද එසේම ය. එහෙත් මෙය අභිධර්මය පිළිබඳ සාමාන්‍ය දැනුමක් ඇතිකර ගැනීම සඳහා උගෙනීම කරන පින්වතුන් උදෙසා සම්පාදනය කරන ලද්දක් බැවින් වඩා ප්‍රයෝජනයකුත් නො මැතිව, උගෙන ගන්නා තැනැත්තාට බොහෝ වෙහෙසෙන්නට සිදු වන, අභිධර්මාර්ථ සංග්‍ර‍හයෙහි දැක්වෙන ඇතැම් කරුණු මේ පොතට ඇතුළත් නො කරන ලදී. එසේ ම අන් අභිධර්ම පාඩම් පොත්වල ඇතුළත් වී ඇති වැඩි ප්‍රයෝජනයක් නැති, ඇතැම් කරුණු ද මේ පොතට ඇතුළු නො කරන ලදී.

සමහර තැනකදී අන් අභිධර්ම පාඩම් පොත්වල ඇතුළු වී නැති ප්‍රයෝජනවත් කරුණු මේ පොතට ඇතුළු කර ඇත්තේ ය. ස්වරූප විභාග වැඩිදුරට පුහුණු කරගන්නට වුවමනා වන්නේ අභිධර්ම ප්‍ර‍කරණ උගෙනීමේ දී පහසු වනු පිණිස ය. එතරම් දුරට උගෙනීම කරන්නට බලාපොරොත්තුව නැති පින්වතුන්ට, වඩා ස්වරූප විභාග පුහුණු කිරීමෙන් වෙහෙසක් මිස විශේෂ ප්‍රයෝජනයක් නැත. එබැවින් වැඩිදුර ස්වරූප විභාග ද මේ පොතට ඇතුළු නො කරන ලදී.

මේ පොතට ඇතුළු කර ඇත්තේ සාමාන්‍යයෙන් ධර්මඥානය ඇතිකරගන්නා කෙනකු විසින් අවශ්‍යයෙන් දත යුතු කරුණු පමණෙකි. එබැවින් මේ පොතෙහි අනික් අභිධර්ම පාඩම් පොත්වල තරමට කරුණු ඇතුළත් නැත. පොත මහත් වී ඇත්තේ ඇතුළත් කොට ඇති කරුණු පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි විස්තර කර ඇති බැවිනි. මෙහි ඇතැම් තැනක කරුණු දැක්වීමේ පටිපාටිය ද අභිධර්මාර්ථ සඞ්ග්‍ර‍හයට වෙනස් කර ඇත. ඒ වෙනස්කම් බොහෝ සෙයින් ඇත්තේ සතර වන අට වන නව වන පරිච්ඡේද තුනෙහි ය. එසේ වෙනස් කොට යොදා ඇත්තේ උගෙනීම පහසු වනු පිණිස ය. අනික් පොතකින් අභිධර්මය උගෙන ගන්නවාට වඩා මේ පොතෙන් අභිධර්මය උගෙනීම තරමක් පහසු වෙනවා ඇත.

කොපමණ ලිහිල් වචන යොදා, උගෙනීමට කොතරම් පහසු වන සැටියට පොත සම්පාදනයකර තැබුවත් උගෙන ගන්නා තැනැත්තා විසින් උගත යුතු ක්‍ර‍මය වරදවා උගෙන ගන්නට උත්සාහ කළහොත් මේ ගැඹුරු ධර්මය උගත නො හැකි ය. උගත යුතු ක්‍ර‍මය නම්, එක පාඩමකුදු අත නො හැර පිළිවෙළින් උගෙනීම ය. මුල් පාඩම් ගැන, මුල් පරිච්ඡේද ගැන දැනීම ඇතිකර නො ගෙන ඉදිරියට නොයා යුතුය. අභිධර්ම පාඩම් පොත් සම්පාදනය කර ඇත්තේ පාඩමෙන් පාඩමට පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට සම්බන්ධයක් ඇතිව ය. එබැවින් පළමුවන පරිච්ඡේදය නො පිළිවන් තැනැත්තාට දෙවන පරිච්ඡේදය උගත නො හැකි ය. ඒ දෙක ම නො පිළිවන් තැනැත්තාට තුන්වන පරිච්ඡේදය නූගත හැකි ය. ඒ පරිච්ඡේද තුන ම නො පිළිවන් තැනැත්තාට සතර වන පරිච්ඡේදය නූගත හැකි ය. අවසානය තෙක් ම ක්‍ර‍මය මෙසේ ම ය.

මුල් පරිච්ඡේද ගැන දැනුම නැති ව, මුල් පරිච්ඡේද වල කරුණු මතක තබා නො ගෙන, ඉහළ පරිච්ඡේදයට ගිය තැනැත්තාට ඒ පරිච්ඡේදයේ දී කිසිවක් තේරුම් ගත නො හැකි වීමෙන් උගෙනීම එපා වන්නේ ය. අභිධර්මය උගෙනීමට පටන් ගන්නා බොහෝ දෙනා ටික කලකින් එපා වී උගෙනීම අත හැර දමන්නේ මුල් පරිච්ඡේදවල කරුණු නො දැන ඉහළට යාමෙනි. මුල් පරිච්ඡේදවල කරුණු හොඳින් උගෙන මතක තබාගෙන ඉදිරියට උගෙනීම කරන්නවුන්ට මේ ධර්මය පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට වඩ වඩා රසවත් වන්නේ ය. උගෙනීම හරියන්නට නම්, ධර්මඥානය - ධර්ම රසය ලබන්නට නම්, ක්‍ර‍මානුකූලව ම උගෙනීම කළ යුතු ය.

දහම් පාසල්වල අභිධර්ම පාඩම් උගැන්වීමේ දුෂ්කරත්වය ගැන නොයෙක් විට කථා කරනු අසන්නට ලැබේ. බොහෝ දෙනා පාඩම් පොත්වල දෝෂය නිසා උගැන්වීම දුෂ්කර වී ඇතැයි සිතති. එහිත් තරමක සත්‍යතාවක් ඇතත් සම්පූර්ණ සත්‍යය නම් එය නොවේ. අභිධර්මය ඉතා ගැඹුරු විද්‍යාවෙකි. නො ගැඹුරු විද්‍යාවක් වුව ද අනිකකුට හොඳින් උගැන්විය හැක්කේ ඒ විද්‍යාව ගැන අඞ්ග සම්පූර්ණ දැනුමක් ඇතියකුට ය. දහම් පාසැල්වල අඞ්ග සම්පූර්ණ දැනුමක් ඇති ගුරුවරුන් සොයා ගන්නට නැත. එබැවින් අන්‍ය විෂයයන් උගත් ගුරුවරුන් ලවා ම දහම් පාසල්වල අභිධර්ම පාඩම් ද උගන්වා ගන්නට සිදුවී තිබේ. ඒ ගුරුවරුන්ට අභිධර්ම පාඩම් උගැන්වීම දුෂ්කර වීම පුදුමයක් නො වේ. එය විය යුත්තක් ම ය.

පාඩම් පොත්වල කොතෙක් දුබලකම් තුබුණත් උගත් ගුරුවරයාට කාරණය නො වරදවා හොඳින් උගැන්විය හැකි ය. අභිධර්ම පාඩම් උගැන්වීමට දුෂ්කර වීමේ සත්‍ය හේතුව නම් ගුරුවරුන්ගේ දුබල බව ය. දුෂ්කර කම් නිසා අත් නො හැර දහම් පාසල්වල අභිධර්ම පාඩම් අමාරුවෙන් වුව ද උගන්වා ගෙන යාම ගැන ඒ ගුරු මහතුන්ට පැසසිය යුතු ය. දහම් පාසල්වල අමාරුවෙන් වුව ද නො නවත්වා අභිධර්මය උගැන්වීම කරගෙන ගිය හොත් කල්යාමෙන් ඒ දුෂ්කර කම් මග හැරී යා හැකි ය.

අභිධර්ම පාඩම් හොඳින් උගැන්වීම කළ හැක්කේ අභිධර්මය පිළිබඳ අඞ්ගසම්පූර්ණ දැනීම ඇති ගුරුවරයකුට පමණකි. අභිධර්මාර්ථ සංග්‍ර‍හය ගැන හෝ එවැනි අන් පොතක් ගැන හෝ සම්පූර්ණ දැනීම ඇති ගුරුවරයකුට ද තරමක් හොඳින් අභිධර්ම පාඩම් උගැන්වීම කළ හැකි ය. අභිධර්ම පාඩම් උගන්වන ගුරුවරයා විසින් යටත් පිරිසෙයින් අභිධර්ම පාඩම් පොතේ එදා උගන්වන පාඩමට මුලින් ඇති පාඩම් ටිකවත් දැන සිටිය යුතු ය. එතරම්වත් දැනුම නැතියකුට නම් අභිධර්ම පාඩම් කොහෙත් ම උගැන්විය නො හැකි ය.

ලෙහෙසියෙන් අභිධර්මාචාර්‍ය්‍ය වරයකු විය හැකි ක්‍ර‍මයක්

උගැන්වීම දැනුම දියුණු කර ගැනීමට ඇති ඉතා හොඳ ක්‍ර‍මයකි. ශිෂ්‍ය පිරිසකට පාඩමක් උගැන් වූ කල්හි එයින් ඒ ශිෂ්‍ය පිරිස ලබන දැනුමට වඩා උසස් දැනුමක් ගුරුවරයාට ලැබේ. අභිධර්ම මාර්ගය නමැති මේ පොත පහසුවෙන් උගැන්විය හැකි පරිදි පිළියෙළ කර ඇතියක් වන බැවින් ගුරුවරයකු විසින් මුල පටන් ම ශිෂ්‍ය පිරිසකට උගන්වාගෙන යතහොත් වැඩි අපහසුවක් නැතිව උගැන්විය හැකි වනු ඇත. උගැන්වීමෙන් ම ගුරුවරයාට දැනුම ලැබෙනවා ඇත. පසු කළ පාඩම් අමතක වුව හොත් ඉදිරියට උගැන්වීම අපහසු වනු ඇත. එබැවින් අමතක නො වනු පිණිස පසු කළ පාඩම් නැවත නැවත කියවිය යුතු ය.

පසු කළ පාඩම් ගැන දැනුම නැතිව ඉදිරියෙහි පාඩම් කියවීමෙන් ප්‍රයෝජනයක් නො ලැබිය හැකි ය. ඉදිරියෙහි පාඩම් ගැන සොයන්නට නො ගොස් පසු කළ පාඩම් ගැන විශේෂ සැලකිල්ලක් නිතර ම කළ යුතු ය. මෙසේ උගැන්වීම කරගෙන යන තැනැත්තාට දුෂ්කරත්වයක් එතොත් එන්නේ අට වන පරිච්ඡේදයෙහිය. අටවන පරිච්ඡේදය පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි ලියුවහොත් පාඩම් පොතකට සුදුසු නො වන හැටියට එය දීර්ඝ වන්නේ ය. එබැවින් අටවන පරිච්ඡේදයේ කරුණු විස්තර කර ඇත්තේ එක්තරා ප්‍ර‍මාණයකට ය. අට වන පරිච්ඡේදය දැනීමේ මඳ බව නවවන පරිච්ඡේදය උගෙනීමට හා උගැන්වීමට බාධාවක් නො වේ. මෙහි නව වන පරිච්ඡේදයෙන් කාහටත් ප්‍රයෝජනය ලැබිය හැකි ය. එහි භාවනා ක්‍ර‍ම විස්තර කර ඇත්තේ ය. යම් කිසි ගුරුවරයකු විසින් කියන ලද පරිද්දෙන් මේ පොත දෙතුන් වරක් උගැන්වීම කළහොත් ඒ තැනැත්තා නිරුත්සාහයෙන් ම හොඳ අභිධර්මාචාර්‍ය්‍ය වරයකු වනු ඇත.

පරමාර්ථ ධර්ම ඉතා සියුම් ය. කෙනකුට කියවා තේරුම් ගත හැකි වන සැටියට ධර්මයන්ගේ සැටි පහදා ලිවීම ඉතා දුෂ්කර ය. පාඩම් පොතක් සම්පාදනය කිරීමේ දී ඒ දුෂ්කරත්වයට තවත් දුෂ්කරත්වයක් එකතු වේ. බොහෝ වචන යොදා බොහෝ දිගට ලියත හොත් කොතරම් ගැඹුරු කරුණක් වුවත් තේරුම් ගත හැකි පරිදි ලිය හැකි ය. පාඩම් පොත් සැපයීමේ දී එසේ කරන්නට ඉඩක් නැත. පාඩමකට සුදුසු වන තරමට වාක්‍ය කෙටි කරන්නට ගියාම කාරණය පැහැදිලි නො වේ. පාඩම් සැපයීමේ දී ඇති දුෂ්කරත්වය එය යි. කාරණය තේරුම් ගත හැකි සැටියටත් කොටිනුත් ලිවීම ඉතා දුෂ්කර බැවින් මේ ග්‍ර‍න්ථය සම්පාදනය කිරීමේ දී අනික් පොතක් ලිවීමේ දී ගන්නා මහන්සියට වැඩි මහන්සියක් ගන්නට සිදු විය. එය සාර්ථක වී ද, නො වී ද යන බව අනාගතයේ දී දත හැකි වනු ඇත.

මෙ වැනි ග්‍ර‍න්ථයක් හොඳට ම හරියන්නට නැවත නැවත කීප වරක් පරීක්ෂා කර සංස්කරණය කළ යුතු ය. මෙහි මුද්‍ර‍ණය කර ඇත්තේ අපගේ පළමු වන ලිපිය ය. මෙහි නොයෙක් අඩුපාඩු කම් තිබෙන්නට බැරි නැත. ඒවා හොඳට පෙනෙන්නේ කියවන්නා වූ ද උගන්වන්නා වූ ද පින්වතුන්ට ය. මෙහි යම් කිසි තැනක අඩුවක් හෝ වැඩියක් හෝ අපැහැදිලිකමක් හෝ වරදක් හෝ දුට හොත් එය අපට දන්වන ලෙස සැමදෙනාගෙන් ම ඉල්ලා සිටිමු.

මීට - ශාසනස්ථිතිකාමී,

රේරුකානේ චන්දවිමල ස්ථවිර.

(බු: ව: 2501) ක්‍රි: ව: 1958 මාර්තු 01 දින.

ශ්‍රී විනයාලංකාරාමයේදී ය.

පොකුණුවිට.

අභිධර්ම මාර්ගය

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස