13 4. අනන්තර ප්‍රත්‍යය, 5. සමනංතර ප්‍රත්‍යය, 6. සහජාත ප්‍රත්‍යය.

4. අනන්තර ප්‍රත්‍යය

අනන්තර ප්‍රත්‍යය නම් අනන්තර භාවයෙන් උපකාර වීම ය. අනන්තර භාවය නම් අතරක් නැති බව ය. ඉක්බිති වැවීම ය. සක්විති රජ්ජුරුවන් ගේ පැවිදිවීම පුත් කුමරාගේ රාජ්‍යප්‍රාප්තියට උපකාර වන්නා සේ පළමු පළමු සිත ඉක්බිති ඉක්බිති සිතට උපකාර වන්නේ ය. චක්ඛුවිඤ්ඤාණ සිත සම්පටිච්ඡන සිතට ද, සම්පටිච්ඡන සිත සන්තීරණ සිතට ද, සන්තීරණ සිත වොත්‍ථපන සිත ජවනයට ද, පළමු පළමු ජවන ඉක්බිති ජවනයට ද ජවන තදාලම්බනයට ද, තදාලම්බන භවඞ්ගයට ද, භවඞ්ග පඤ්චද්වාරාවර්ජනයට ද, පඤ්චද්වාරා වර්ජන චක්ඛුවිඤ්ඤාණයට ද යනාදී ක්‍රමයෙන් අනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වන්නේ ය. මෙසේ ආදි ආදි සිත ඉක්බිති ඉක්බිති සිත උපදීමට උපකාර වීම අනන්තර ප්‍රත්‍යය යි දත යුතු. වදාළේ මැ යි.

පට්ඨානයෙහි:

“අනන්තරපච්චයො ති, චක්ඛුවිඤ්ඤාණධාතු තං සම්පයුත්තකා ච ධම්මා මනොධාතුයා තං සම්පයුත්තකා නං ච ධම්මානං අනන්තරපච්චයෙන පච්චයො. මනො ධාතු සම්පයුත්තකා ච ධම්මා මනොවිඤ්ඤාණධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං අනන්තරපච්චයෙන පච්චයො. සොතවිඤ්ඤාණධාතු තං සම්පයුත්තකා ච ධම්මා මනොධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අනන්තරපච්චයෙන පච්චයො. මනොධාතු තං සම්පයුත්තකා ච ධම්මා මනොවිඤ්ඤාණධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අනන්තර පච්චයෙන පච්චයො. ඝාණවිඤ්ඤාණ ධාතු -පෙ- මනොධාතු -පෙ- ජිව්හාවිඤ්ඤාණධාතු -පෙ- මනොධාතු -පෙ- කායවිඤ්ඤාණධාතු -පෙ- මනොධාතු -පෙ- පුරිමා පුරිමා කුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චයෙන පච්චයො. පුරිමා පුරිමා කුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං අබ්‍යාකතානං ධම්මානං අනන්තරපච්චයෙන පච්චයො පුරිමා පුරිමා අකුසල ධම්මා පච්ඡිමානං අකුසලා නං ධම්මානං අනන්තරපච්චයෙන පච්චයො. පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං අබ්‍යාකතානං ධම්මානං අනන්තරපච්චයෙන පච්චයො. පුරිමා පුරිමා අබ්‍යාකතා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං අබ්‍යාකතානං ධම්මානං අනන්තරපච්චයෙන පච්චයො. පුරිමා පුරිමා අබ්‍යාකතා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චයෙන පච්චයො. පුරිමා පුරිමා අබ්‍යාකතා ධම්මා පච්ඡිමානං පච්ඡිමානං කුසලානං ධම්මානං අනන්තර පච්චයෙන පච්චයො. යෙසං යෙසං ධම්මානං අනන්තරා යෙ යෙ ධම්මා උප්පජ්ජන්ති චිත්ත චෙතසිකා ධම්මා තෙ තෙ ධම්මා තෙසං තෙසං ධම්මානං අනන්තර පච්චයෙන පච්චයො”යි.

මෙහි චක්ඛුවිඤ්ඤාණධාතු නම් චක්ඛුවිඤ්ඤාණ සිත් දෙක. තත් සම්ප්‍රයුක්ත නම් එහි චෛතසික. මනොධාතු නම් සම්පටිච්ඡන යුගල. (පඤ්ච ද්වාරාවර්ජනය ද මනොධාතු යි.) සොත විඤ්ඤාණාදිය ද එසේ ය. පුරිම පුරිම කුසලධම්ම නම් කුසල ජවන්. අකුසලධම්ම නම් අකුසල ජවන්. අබ්‍යාකත නම් විපාක ක්‍රියා. තදාලම්බන භවඞ්ගාදිය විපාක. මනොද්වාරාවර්ජනාදිය ක්‍රියා. විස්තර ඌහනය කළ යුතු යි.

පටිච්චසමුප්පාදයෙහි අවිද්‍යාව අපුණ්‍යාභිසංස්කාරයන්ට මේ අනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. එසේ වන්නේත් ජවනාවස්ථායෙහි යි.

5. සමනන්තර ප්‍රත්‍යය.

සමනන්තර ප්‍රත්‍යය නම් සමනන්තර භාවයෙන් උපකාර වීම ය. සමනන්තර භාව නම් මොනොවට අනන්තර වීම ය. සක්විති රජ්ජුරුවන්ගේ මරණය පුත් කුමරුවාගේ රාජ්‍ය ප්‍රාප්තියට උපකාර වන්නා සේ ආදි ආදි සිත ඉක්බිති ඉක්බිති සිතට මනා සේ උපකාරවන්නේ සමනන්තර ප්‍රත්‍යය යි. සං යන උපසර්ගයෙන් යුක්ත වීම විනා මේ ප්‍රත්‍යය දෙකෙහි වෙනසක් නැතැ යි පට්ඨාන අටුවායෙහි දක්වයි. අත්‍ථානන්තරය අනන්තර ප්‍රත්‍යය, කාලානන්තරය සමනන්තර ප්‍රත්‍යය යන ඇතැම් ආචාර්යවරයන්ගේ මතය ද බැහැර කරයි. පෙළෙහි ද මේ ප්‍රත්‍යය දෙක එකසේ ම වර්ණනා කරති. පට්ඨානයෙහි:

“සමනන්තර පච්චයො ති, චක්ඛුවිඤ්ඤාණධාතු තං සම්පයුත්තකා ච ධම්මා මනොධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මා නං සමනන්තර පච්චයෙන පච්චයො. මනො ධාතු තං සම්පයුත්තකා ච ධම්මා මනොවිඤ්ඤාණධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං සමනන්තර පච්චයෙන පච්චයො. සොතවිඤ්ඤාණධාතු” යනාදි වශයෙන් සියල්ල අනන්තර ප්‍රත්‍යය සමාන යි.

පටිච්චසමුප්පාදයෙහි අනන්තර ප්‍රත්‍යය සේ ම ජවනාවස්ථායෙහි අවිද්‍යාව අපුණ්‍යාභිසංස්කාරයන්ට මේ සමනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ.

6. සහජාත ප්‍රත්‍යය.

සහජාත ප්‍රත්‍යය නම් එක් වැ උපදීම් වශයෙන් උපකාර වීම ය. එක් වැ උපදීම නම් එකක් උපදනා කල්හි අනික ද උපදින්නේ ය, නූපදිතොත් නූපදින්නේ ය, එසේ උපදින්නේත් ඉදිරි පසු නො වැ එකවට ම උපදන්නේ ය, එසේ උපදීම යි. ප්‍රදීපය දල්වන්නාහා ම ආලෝකය ප්‍රකාශවන්නාක් මෙනි. වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන අරූප ධර්ම සතර එකක් උපදින විට අනික් තුන ද උපදින්නේ ය. එබැවින් එකෙක් අන්‍යොන්‍යයන්ට සහජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය යි. එසේ ම සතර මහාභූත අන්‍යොන්‍යයන්ට ද, ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහි නාමරූප අන්‍යොන්‍යයන්ට ද, චිත්ත චෛතසික චිත්තජරූපයන්ට ද, මහාභූත උපාදාය රූපයන්ට ද, සහජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය යි. හෘදයවස්තුව අරූපී ධර්මයන්ට කලෙක සහජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. කලෙක නො වේ. සිතා බලනු. වදාළේ මැ යි.

පට්ඨානයෙහි:

සහජාතපච්චයොති, චත්තාරො ඛන්ධා අරූපිනො අඤ්ඤමඤ්ඤං සහජාත පච්චයෙන පච්චයො. චත්තාරො මහාභූතා අඤ්ඤමඤ්ඤං සහජාත පච්චයෙන පච්චයො ඔක්කන්තික්ඛණෙ නාමරූප අඤ්ඤමඤ්ඤං සහජාත පච්චයෙන පච්චයො චිත්ත චෛතසිකා ධම්මා චිත්තසමුට්ඨානානං රූපානං සහජාතපච්චයෙන පච්චයො. රූපිනො ධම්මා අරූපීනං ධම්මානං කිංචිකාලෙ සහජාත පච්චයෙන පච්චයො. කිංචිකාලෙන සහජාතපච්චයෙන පච්චයො” යි. අර්ථ යට දක්වන ලදි.

පටිච්චසමුප්පාදයෙහි අවිද්‍යාව අපුණ්‍යාභිසංස්කාරයන්ට සහජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. මෝහය සර්වාකුශල සාධාරණ යි. එසේ ම විඤ්ඤාණය නාමරූපයට ද, නාමරූප සළායතනයට ද, මනායතනය ඵස්සයට ද, ඵස්සය වේදනාවට ද, තණ්හාව උපාදානයට ද, උපාදානය කර්මභවයට ද, සහජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. විශේෂ පරීක්‍ෂායෙන් බලනු.

ප්‍රශ්න.

  1. අනන්තර ප්‍රත්‍යය පහදා දෙනු.
  2. පටිච්චසමුප්පාදයෙහි අනන්තර ප්‍රත්‍යය කොතැන ලැබේද?
  3. සමනන්තර ප්‍රත්‍යය දක්වනු. අනන්තර සමනන්තර දෙක්හි වෙනසෙක් ඇත්නම් පෙන්වනු.
  4. සහජාත ප්‍රත්‍යය විස්තර කරනු. ඒ කොතැන්හි කොතැන් හි වේ ද? විකල්ප ගැන පෙන්වනු.
  5. පටිච්චසමුප්පාදයෙහි සහජාත ප්‍රත්‍යය ලැබෙන තැන් දක්වනු.