11. පට්ඨාන නය.

බුදුරජාණන් විසින් පටිච්චසමුප්පාද නය පට්ඨාන නය යන දෙ ආකාරයෙකින් ප්‍රත්‍යය වදාළේ ය. පටිච්චසමුප්පාදනය යට පාඩම්වලින් විස්තර කරන ලදි. දැන් දැක්විය යුත්තේ පට්ඨාන නය යි. පට්ඨාන නය ද යට සැකෙවින් දක්වන ලදුවත් විස්තර මෙහි පළ වේ.

ප යන්නෙහි අර්ථ නානා ප්‍රකාර යනු යි. ඨාන යන්නෙහි අර්ථ ප්‍රත්‍යය යනු යි. නානාප්‍රකාර ප්‍රත්‍යය වශයෙන් වදාළේ පට්ඨාන යි. මෙයින් එක් එක් ප්‍රත්‍යය පට්ඨාන නම්වූ බව දත යුතු. එ බඳු ප්‍රත්‍යය සමූහය ඇති ප්‍රකරණය ද පට්ඨාන ය.

තව ද පට්ඨාන යන්නෙහි බෙදන්නේ ය යන අර්ථය ද ඇත්තේ ය. කුශලාදි ධර්ම හේතු ආදී වශයෙන් බෙදන්නේ පට්ඨාන ය. මෙයින් ද එක් එක් ප්‍රත්‍යය පට්ඨාන නම් විය. එ බඳු ප්‍රත්‍යය සමූහය ඇති ප්‍රකරණය ද පට්ඨාන ය.

තව ද පට්ඨාන යන්නෙහි ගමනාර්ථය ද ඇත්තේ ය. සර්වඥතාඥානය අනිස්සඞ්ග වශයෙන් ගියේ මෙහි ය. එ බැවින් මෙ පට්ඨාන යි.

ඒ පට්ඨානයෙහි වදාළ ප්‍රත්‍යය සූවිස්සෙකි.

සූවිසි පට්ඨාන පච්චය.

  1. හේතු පච්චය
  2. ආරම්මණ පච්චය
  3. අධිපති පච්චය
  4. අනන්තර පච්චය
  5. සමනන්තර පච්චය
  6. සහජාත පච්චය
  7. අඤ්ඤමඤ්ඤ පච්චය
  8. නිස්සය පච්චය
  9. උපනිස්සය පච්චය
  10. පුරෙජාත පච්චය
  11. පච්ඡාජාත පච්චය
  12. ආසෙවන පච්චය
  13. කම්මපච්චය
  14. විපාක පච්චය
  15. ආහාර පච්චය
  16. ඉන්ද්‍රිය පච්චය
  17. ඣාන පච්චය
  18. මග්ග පච්චය
  19. සම්පයුත්ත පච්චය
  20. විප්පයුත්ත පච්චය
  21. අත්‍ථි පච්චය
  22. නත්‍ථි පච්චය
  23. විගත පච්චය
  24. අවිගත පච්චය,

මේ එක් එක් ප්‍රත්‍යයෙහි තේරුම ද, අවිජ්ජාදිය සංඛාරාදියට මේ පට්ඨාන ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වන සැටි ද නාමාදිය නාමාදියට ප්‍රත්‍යය වන සැටි ද මතු පාඩම් වලින් දක්වනු ලැබේ.

ප්‍රශ්න.

  1. ප්‍රත්‍යය කී විධියකට වදාරන ලද්දේ ද? ඒ විධි කවරේ ද?
  2. පට්ඨාන යනු ප්‍රත්‍යයන්ට ද ග්‍රත්‍ථයට ද නම් වූ සැටි දක්වනු.
  3. සූවිසි පට්ඨාන ප්‍රත්‍යය ලියනු.