1. වස්තු ධර්ම හා චතුර්විධ සංග්‍රහ

චිත්ත, චෛතසික, රූප, නිර්වාණ සංඛ්‍යාත චතුර්විධ පරමාර්ථ චිත්තපාදාදි පරිච්ඡේද සයෙන් යට විස්තර කොටැ දක්වන ලද්දේ ය. චතුර්විධ පරමාර්ථ වනාහි වස්තු ධර්ම වශයෙන් වෙන් කොටැ ගත් කල්හි දෙ සැත්තෑවෙකි. වස්තු ධර්ම නම් ද්‍රව්‍ය මෙන් ආවේණික ලක්‍ෂණ වශයෙන් ස්වරූපයෙන් වෙන් වෙන් කොට ගත හැකි ධර්මයෝ ය. ඔහු මෙසේ ය.

චිත්ත

1

චෛතසික

52

රූප

18

නිර්වාණ

1

72

වස්තු ධර්ම

චිත්තය වනාහි චෛතසික හා සම්බන්‍ධයෙන් 89 වැදෑරුම් හෝ 121 වැදෑරුම හෝ වුව ද ආරම්මණ විජානන ලක්‍ෂණ වශයෙන් එක ම වස්තු ධර්මයෙකි. ඒ ඇම තන්හි ම පවත්නා සිත එකක් ම බැවිනි.

චෛතසික දෙපණස වස්තු ධර්ම දෙපණසෙකි. එක් එක් චෛතසිකය ඵුසන ලක්‍ෂණ වෙදයිත ලක්‍ෂණාදි වශයෙන් වෙන් වෙන් ලක්‍ෂණ ඇති බැවිනි.

අටවිසි රූප අතුරෙන් නිෂ්පන්න රූප අටළොස වස්තු ධර්ම ය. අනිෂ්පන්න රූප දසය වස්තු ධර්ම නොවේ. අනිෂ්පන්න රූප වනාහි තම තමා පිළිබඳ ස්වභාව ලක්‍ෂණ වශයෙන් හෝ අනිත්‍යාදි සාමාන්‍ය ලක්‍ෂණ වශයෙන් හෝ ලක්‍ෂණ වත් නො වන බැවිනි. ඔව්හු නිෂ්පන්න රූපයන්ගේ ම විකෘතීහු ය.

නිර්වාණය වස්තු ධර්මයෙකි. එය ශාන්ති ලක්‍ෂණයෙන් ලක්‍ෂණවත් ය. මාර්ග ඵල ප්‍රත්‍යවේක්‍ෂා ඥානයන්ට අරමුණු වන බැවින් ස්වරූපයෙන් ලැබෙන්නේ ය. මෙයින් නිර්වාණය අනිෂ්පන්න රූප මෙන් සෙසු ධර්මයන්ගේ විකෘති මාත්‍රයක් නො වන බව ද ප්‍රඥප්ති ධර්ම මෙන් පරමාර්ථච්ඡායාකාර මාත්‍රයක් නොවන බව ද හා අං, ඉබි ලොම්, කටුසු ලේ ආදිය මෙන් අභූත පරිකල්පිත ධර්ම මාත්‍රයක් නො වන බව ද දත යුතු.

මෙසේ දැක්වුණු දෙසැත්තෑ වස්තු ධර්ම පිළිබඳ සමුච්චය, 1 අකුසල සංග්‍රහය, 2 මිශ්‍රක සංග්‍රහය, 3 බෝධිපාක්‍ෂික සංග්‍රහය 4 සර්ව සංග්‍රහය යන සතර ආකාරයෙන් මතු විස්තර කරනු ලැබේ. සමුච්චය නම් සම්පිණ්ඩනය යි. සමූහය යි.

1. අකුශලයන්ගේ ආසවාදි වශයෙන් සංග්‍රහය අකුසල සංග්‍රහය යි. මෙහි අකුශල යනුවෙන් ඒකාන්ත අකුසල් ම ගත යුතු. අකුශල හා යෙදෙන චිත්ත ඵස්සාදිය නො ගත යුතු. 2. කුශල අකුශල අව්‍යාකෘත වශයෙන්, මිශ්‍රයන්ගේ හෙතු ආදි වශයෙන් සංග්‍රහය මිශ්‍රක සංග්‍රහය යි. 3. බෝධි නම් චතුමාර්ග ඥානය යි. තත් පක්‍ෂයෝ බෝධි පක්‍ෂයෝ ය. එහි ඇතුළත් වූවෝ බෝධිපාක්‍ෂිකයෝ ය. සත්තිස් ධර්ම යි. ඔවුන්ගේ සතිපට්ඨානාදි වශයෙන් සංග්‍රහය බෝධිපාක්‍ෂික සංග්‍රහය යි. 4. සියලු පරමාර්ථ ධර්මය්නගේ ස්කන්‍ධාදි වශයෙන් සංග්‍රහය සර්ව සංග්‍රහය යි.

සර්ව සංග්‍රහයෙහි අනිෂ්පන්න රූප ද ලැබෙන බැවින් වස්තු ධර්ම දෙසැත්තෑවක් කොටැ ගැන්මෙහි විශේෂාර්ථයෙක් නො පෙනේ ය යි ඇතැම් ටීකාවෙක දක්වයි. අනිෂ්පන්න රූප නිෂ්පන්න රූපයන්හි ඇතුළත් බැවින් එය සාර්ථකය යි තවත් ටීකාවෙක දක්වා තිබේ.

ප්‍රශ්න.

  1. සමුච්චය යනු කිම? මෙහි කවුරුන්ගේ සමුච්චය දැක්වේ ද?
  2. වස්තු ධර්ම කෙතෙක් ද? කවරහු ද?
  3. අනිෂ්පන්න රූප වස්තු ධර්ම නො වන්නටත් නිර්වාණය වස්තු ධර්ම වන්නටත් ඇති කරුණු දක්වනු.
  4. චතුර්විධ සංග්‍රහ දක්වා එහි අර්ථය පැහැදිලි කරනු.
  5. චතුර්විධ සංග්‍රහයට සියලු වස්තු ධර්ම ඇතුළත් වේ ද? සර්ව සංග්‍රහයෙහි අනිෂ්පන්න රූප ලැබෙතොත් මෙහි වස්තු ධර්ම වෙන් කිරීමේ ප්‍රයෝජනය කිම?