1. රූප සමුද්දේශය.

star_outline

පරමාර්ථ වශයෙන් චතුර්විධ වූ අභිධර්මාර්ථ අතුරෙන් චිත්ත හා චෛතසික යට පරිච්ඡේද පසින් පැහැදිලි කොට දක්වන ලද්දේය. එහි දු ප්‍රථම පාදයෙන් චිත්ත විභාගයද දෙවන පාදයෙන් චෛතසික විභාගය ද තෙවන පාදයෙන් වෙදනාදි වශයෙන් චිත්ත චෛතසිකයන්ගේ ප්‍රකීර්ණක විභාගය ද සතරවන පාදයෙන් ප්‍රවෘත්තිකාලයෙහි චිත්ත චෛතසික පවත්නා පිළිවෙල ද පස් වන පාදයෙන් ච්‍යුතිප්‍රතිසන්‍ධි වශයෙන් චිත්ත චෛතසික පවත්නා පිළිවෙල ද දැක්වුණේ ය. දැන් දැක්විය යුත්තේ රූපය යි. රූප නම් ශීත උෂ්ණාදි විරුද්ධ ප්‍රත්‍යය ඇති කල්හි විකාරයට පැමිණෙන දේ ය.

“රුප්පතීති භවෙ රූපං විකාර පච්චයෙ සති’

රූපරූපං තථා රූප පරියාපන්නතො පරං.”

ශීත උෂ්ණාදි විරුද්ධ ප්‍රත්‍යය ඇති කල්හි යම් රූපරූපයෙක් විකාරයට පැමිණේ ද ඒ රූපරූප රූප නම් වේ. එයින් අන්‍ය රූප රූපරූපයෙහි ඇතුළත් වන බැවින් රූප නම් වේ යනු එහි අර්ථයි. රූපරූප නම් නිෂ්පන්න රූප ය. අරූපරූප නම් අනිෂ්පන්න රූප යි. විස්තරය මතු ලැබේ.

1. සමුද්දෙස. 2 විභාග, 3 සමුට්ඨාන, 4 කලාප, 5 ප්‍රවෘත්තික්‍රම යන පස් ආකාරයෙන් ඒ රූප මතු පැහැදිලි කරනු ලැබේ. 1 සමුද්දෙස නම් සංක්‍ෂෙපයෙන් දැක්වීම හෙවත් නාම මාත්‍ර වශයෙන් දැක්වීමය. 2 විභාග නම් සමුද්දිෂ්ට රූප බෙදා දැක්වීම ය. 3 සමුට්ඨාන නම් රූප උපදවන ප්‍රත්‍යය-හේතු දැක්වීමය. 4 කලාප නම් එකට බැඳී පවත්නා රූප සමූහ දැක්වීම ය. 5 ප්‍රවෘත්ති ක්‍රම නම් රූප පැවතෙන පිළිවෙල දැක්වීම ය.

රූප සමුද්දෙසය මෙසේ ය.

මහා භූතරූප සතර ය. ඔවුන් නිසා පවත්නා උපාදාය රූප සූවිස්සය යි රූප මුළුල්ල අට විස්සෙ (28) කි. මේ අට විසි රූප එකොළොස් ආකාරයෙකින් සංග්‍රහ වේ.

  1. පඨවිධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතු යන සතර මහා භූතරූප ය.
  2. චක්ඛු සොත ඝාණ ජිව්හා කාය යන පස ප්‍රසාද රූප ය.
  3. රූප ශබ්ද ගන්‍ධ රස (ඵොට්ඨබ්බ) යන සතර ගෝචර රූප ය. (මෙහි ඵොට්ඨබ්බ රූපය නම් වශයෙන් ගත් නමුදු අර්ථවශයෙන් පඨවි තේජෝ වායු යන භූත රූපත්‍රය මැ යි.)
  4. ස්ත්‍රීභාව පුරුෂභාව යන දෙක භාවරූප ය.
  5. හෘදය වස්තුව හෘදය රූපය.
  6. ජීවිතේන්‍ද්‍රිය ජීවිත රූපය.
  7. කබලීකාර ආහාරය ආහාර රූපය. මේ අටළොස් රූපයෝ ස්වභාව රූප, සලක්‍ෂණ රූප, නිෂ්පන්න රූප, රූප සම්මර්ශන රූප නම් ද වෙත්.
  8. ආකාශ ධාතුව පරිච්ඡේද රූප ය.
  9. කාය විඤ්ඤත්ති වචී විඤ්ඤත්ති දෙක විඤ්ඤත්ති රූපය.
  10. ලහුතා මුදුතා කම්මඤ්ඤතා යන තුන හා විඤ්ඤත්ති රූප දෙක විකාර රූපය.
  11. උපචය සන්තති ජරතා අනිච්චතා යන සතර ලක්ෂණ රුපය. උපචය සන්තති දෙක ජාති රුප යයි ද කියනු ලැබේ.

“භූතප්පසාද විසයා භාවො හදයමිච්චපි

ජීවිතාහාර රූපෙහි අට්ඨාරසවිධං තථා

පරිච්ඡෙදො ච විඤ්ඤත්ති විකාරො ලක්ඛණංතිච

අනිපඵන්නා දසචෙති අට්ඨවීසතිවිධං භවෙ.”

භූත රූප

4

ප්‍රසාද රූප

5

විෂය (ගොචර) රූප

4

භාව රූප

2

හෘදයවස්තු රූප

1

ජීවිතෙන්‍ද්‍රිය රූප

1

ආහාර රූප

1-18

ස්වභාවාදි රූප

පරිච්ඡෙද රූප

1

විඤ්ඤත්ති රූප

2

විකාර රූප

3

(විඤ්ඤත්ති දෙක සමග 5)

ලක්‍ෂණ රූප

4

28

රූප මුළුල්ල

දෙවන පාඩමින් මේ පිළිබඳ විස්තර දෙනු ලැබේ.

ප්‍රශ්න.

  1. යට දැක්වුණු පරිච්ඡේද පසින් කුමක් දක්වන ලද්දේ ද?
  2. රූප යන්නෙහි අර්ථය කිම? ආකාශ ධාතු ආදි දසය කුමක් හෙයින් රූප යන නාම ලබන්නේ ද?
  3. අට විසි රූප දක්වනු. ඵොට්ඨබ්බය යි විශේෂ රූපයෙක් ඇත්තේ ද?
  4. ස්වභාව රූප, සලක්‍ෂණ රූප, නිෂ්පන්නරූප, රූපරූප, සම්මර්ශන රූප කෙතෙක් ද? කවරහු ද?
  5. රූප සංග්‍රහ කථා ලියා කොටස් වශයෙන් බෙදනු.