8. අර්පණා නියමය.

යට දැක්වුණු පාඩමේ පරිකර්ම උපචාර අනුලෝම ගොත්‍රභූ නමින් කියවුණේ ඤාණසම්පයුත්ත කාමාවචර ජවන අට ය. අර්පණා නමින් කියවුණේ සවිසි මහග්ගත ලෝකොත්තර ජවන් ය. ඔවුන් අතුරෙන් කවර කවර කාමාවචර ජවනයකට අනතුරු වැ කවර කවර අර්පණා ජවන් උපදින්නේ දැ යි අවශ්‍යයෙන් දත යුතුය. ඒ පිළිබඳ විභාගය මෙහි දක්වනු ලැබේ.

1. සොම්නස් සහගත ජවනයන්ට අනතුරු වැ සොම්නස් සහගත වූ ම අර්පණා උපදනේය.

මෙහි සොම්නස් සහගත ජවන නම් “සොමනස්ස සහගත ඤාණ සම්පයුත්ත අසංඛාර සසංඛාර” කුසල සිත් දෙක හා එබඳු වු ම ක්‍රියා සිත් දෙකයි. සොම්නස් සහගත අර්පණා නම් පඨම, දුතිය, තතිය, චතුත්‍ථ ඣාන කුසල සිත් සතරය. එබඳු වූ ම ක්‍රියා සිත් සතරය, ඒ ධ්‍යාන සතර සම්බන්ධ වූ ම ලෝකොත්තර සිත් 32 ය යන මොහු යි. සොම්නස් කාමාවචර ජවනයකට අනතුරු වැ උපෙක්‍ෂා අර්පණා නො ලැබේ. එක ජවන සන්තතියෙහි අනන්තර වෙදනා සමාන විය යුතු බැවිනි.

2. උපෙක්‍ෂා සහගත ජවනයන්ට අනතුරු වැ උපෙක්‍ෂා සහගත වූ ම අර්පණා උපදනේ ය.

උපෙක්‍ෂා සහගත ජවන නම් “උපෙක්‍ෂා සහගත ඤාණ සම්පයුත්ත අසංඛාර සසංඛාර” කුසල සිත් දෙක හා එබඳු වු ම ක්‍රියා සිත් දෙකයි. උපෙක්‍ෂා සහගත අර්පණා නම් රූපාවචර පංචමජ්ඣාන කුශලය හා එම ක්‍රියාය, අරූපාවචර කුශල ක්‍රියා අටය, ලෝකොත්තර පඤ්චමජ්ඣාන සිත් අටය යන මොහුයි. උපෙක්‍ෂා ජවනයන්ට අනතුරු වැ සොම්නස් අර්පණා නො ලැබේ. යට කී සේම අනන්තර ජවන සමාන වේදනා විය යුතු බැවිනි.

ඔවුන් අතුරෙහි මේ දැක්වෙන වෙනස ද සැලකිය යුතුයි.

3. කුශල ජවනයන්ට අනතුරු වැ කුශල ජවනද, සෝතාපත්ති, සකදාගාමි අනාගාමි යන ඵල තුනද අර්පණා වශයෙන් උපදනේය.

මෙහි කුශල ජවන නම් සෝමනස්ස සහගත ඤාණසම්පයුත්ත අසංඛාර, සසංඛාර කුසල සිත් දෙක හා උපෙක්ඛා සහගත ඤාණසම්පයුත්ත අසංඛාර, සසංඛාර වශයෙන් ලැබෙන සිත් දෙකය. කුශල ජවන නම් රූපාවචර කුසල සිත් පස අරූපාවචර කුසල් සිත් සතර, ලෝකෝත්තර කුසල විස්ස යන මොහු යි. ඵල තුන ලැබෙන්නේ සමාපත්ති වීථියෙහි දී ය. මෙහි ක්‍රියා ජවන් අර්පණා නො වන්නේ භින්න සන්තාන බැවිනි.

4. ක්‍රියා ජවනයන්ට අනතුරු වැ ක්‍රියා ජවනද, අර්හත් ඵලයද, අර්පණා වශයෙන් ලැබෙන්නේය.

මෙහි ක්‍රියා ජවන නම් සෝමනස්ස හා උපෙක්ඛා සහගත ඤාණසම්පයුත්ත අසංඛාර, සසංඛාර ක්‍රියා ජවන සතර යි. අර්පණා වශයෙන් ලැබෙන ක්‍රියා ජවන නම් රූපාවචර ක්‍රියා පස හා අරූපාවචර ක්‍රියා සතර යි. අර්හත් මාර්ග සිතට අනතුරු වැ ඵල සිත උපදිතත් මේ පූර්වාපර නියමය පරිකර්ම සඳහා බැවින් එය මෙහි නො ගන්නා ලදි.

මේ පිළිබඳ වූ ම ගණන පරිච්ඡේදයක් ද මෙහි දක්වනු ලැබේ.

1. සෝමනස්ස සහගත ඤාණසම්පයුත්ත අසංඛාර සසංඛාර යන කුසල සිත් දෙකට අනතුරු වැ ලැබෙන අර්පණා සිත් දෙතිසෙකි.

එනම් රූපාවචර ප්‍රථමධ්‍යාන, ද්විතීයධ්‍යාන, තෘතීය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කුසල සිත් සතරය. ඔවුන් පිළිබඳ වූ ම සෝතාපත්ති මග්ග සතරය, ඵල සතරය, සකදාගාමි මග්ග සතරය, ඵල සතරය, අනාගාමි මග්ග සතරය, ඵලසතරය, අර්හත් මාර්ග සතරය යන මොහු ය. වේදනා භේදය හා ක්‍රියා භේදය නිසා සෙසු අර්පණා නො ලැබේ.

2. උපෙක්ඛා සහගත ඤාණසම්පයුත්ත අසංඛාර සසංඛාර කුසල සිත් දෙකට අනතුරු වැ අර්පණා සිත් දොළොසෙක් ලැබේ.

එනම් පඤ්චමජ්ඣාන කුසල චිත්තය, අරූපාවචර කුසල සිත් සතර පඤ්චමජ්ඣාන සෝවාන් ආදී මාර්ග සිත් සතර, ඵල සිත් තුන යන මොහුයි.

3. සෝමනස්ස සහගත ඤාණසම්පයුත්ත අසංඛාර සසංඛාර ක්‍රියා සිත් දෙකට අනතුරු වැ අර්පණා සිත් අටෙක් ලැබේ.

එනම් පඨමජ්ඣාන, දුතියජ්ඣාන, තතියජ්ඣාන, චතුත්‍ථජ්ඣාන ක්‍රියා සිත් සතර හා ඔවුන් පිළිබඳ වු ම අර්හත් ඵල සිත් සතරයි.

4. උපෙක්ඛා සහගත ඤාණසම්පයුත්ත අසංඛාර සසංඛාර ක්‍රියා සිත් දෙකට අනතුරු වැ අර්පණා සිත් සයෙක් ලැබේ.

එනම් පඤ්චමජ්ඣාන ක්‍රියා සිත, අරූපාවචර ක්‍රියා සිත් සතර, පඤ්චමජ්ඣාන සහගත අර්හත් ඵල සිත යන මොහු යි.

මේ අර්පණා ම පෘථග්ජන ශෛක්‍ෂ අශෛක්‍ෂයන්ගේ වශයෙන් යෙදෙන පිළිවෙල මෙසේ ය.

1. පෘථග්ජනයන්ට හා ශෛක්‍ෂයන්ට අර්පණා ලැබෙන්නේ කාමාවචර ත්‍රිහේතුක කුසල සිත් සතරට අනතුරු වැ ය. ඒ සියල්ල සිව් සාලිසෙ (44) කි.

2. අශෛක්‍ෂයන්ට අර්පණා ලැබෙන්නේ කාමාවචර ත්‍රිහේතුක ක්‍රියා සිත් සතරට අනතුරු වැ ය. ඒ සියල්ල තුදුසෙන (14) කි.

මේ පිළිබඳ අභිධර්මාර්ථ සංග්‍රහයෙහි දැක්වුණු ගාථා මෙසේය.

“ද්වත්තිංස සුඛපුඤ්ඤම්හා - ද්වාදසොපෙක්ඛකො පරං,

සුඛිතක්‍රියතො අට්ඨ - ඡ සම්භොන්ති උපෙක්ඛකා.

පුථුජ්ජනානං සෙක්ඛානං - කාමපුඤ්ඤා තිහෙතුතො,

තිහෙතු කාමක්‍රියාතො - වීතරාගානමප්පණා

(ගුරු මුඛයකින් නො අසා මෙහි අදහස ප්‍රකාශ කළහොත් සුදු ඇතකු ත්‍යාග කරන බව බුරුම රජකු විසින් ප්‍රසිද්ධ කර තුබුණු හෙයින් මෙයට “සෙතහත්‍ථි ගාථා” ය යි එරට ව්‍යවහාර කෙරෙත්ලු.)

සුඛපුඤ්ඤම්හා පරං-සොමනස්ස සහගත ත්‍රිහේතුක කුසල සිත් දෙකින් පරවැ; ද්වත්තිංස-දෙතිස් අර්පණා සිත් කෙනෙක්; සම්භොන්ති-ලැබෙති. උපෙක්ඛකා පරං-උපෙක්‍ෂා සහගත ත්‍රිහේතුක කුසල සිත් දෙකින් පර වැ; ද්වාදස- දොළොස් අර්පණා සිත් කෙනෙක් ලැබෙති; සුඛිත ක්‍රියතො-සොමනස්ස සහගත ත්‍රිහේතුක ක්‍රියා සිත් දෙකින් පර වැ; අට්ඨ සම්භොන්ති-අර්පණා සිත් අට දෙනෙක් ලැබෙති; උපෙක්ඛකා පරං-උපෙක්‍ෂා සහගත ත්‍රිහේතුක ක්‍රියා සිත් දෙකින් පර වැ; ඡ සම්භොන්ති-අර්පණා සිත් ස දෙනෙක් ලැබෙත්.

පුථුජ්ජනානං-පෘථග්ජනයන්ට ද; සෙක්ඛානං-ශෛක්‍ෂයන්ට ද; තිහෙතුතො කාමපුඤ්ඤා-ත්‍රිහෙතුක කාමාවචර කුශල චිත්තයන් කෙරෙන්; අප්පණා-අර්පණා වන්නේය. වීතරාගානං-අර්හත් ඵලස්ථයන්ට; තිහෙතු කාමක්‍රියතො-ත්‍රිහේතුක කාමාවචර ක්‍රියා සිත් කෙරෙන් පර වැ; අප්පණා-අර්පණා වන්නේය.

ප්‍රශ්න.

  1. පරිකර්ම උපචාර අනුලෝම ගොත්‍රභූ නමින් හා අර්පණා නමින් දැක්වුණු සිත් මේ මේ යයි පැහැදිලි කරනු.
  2. පරිකර්මාදි සතර සෝමනස්ස සහගත විණි නම් එයට අනතුරු වැ ලැබෙන අර්පණා කවරහු ද?
  3. පරිකර්මාදි සතර උපෙක්‍ෂා සහගත නම් එයට අනතුරු වැ ලැබෙන අර්පණා කවරහු ද?
  4. පරිකර්මාදි සතර කුශල වූ විට හා ක්‍රියා වූ විට අනතුරු වැ ලැබෙන අර්පණා මේ මේ යයි දක්වනු.
  5. “ද්වත්තිංස සුඛ පුඤ්ඤම්හා” යනාදි ගාථා දෙකේ භාවය පැහැදිලි කරනු.