12. භූමි විභාගය.

පුද්ගලයන් පිළිබඳ වීථිචිත්ත විභාගය යට දක්වන ලදී. භූමි පිළිබඳ වීථිචිත්ත විභාගය මෙහි දක්වනු ලැබේ.

භූමි වනාහි කාමභූමි, රූප භූමි, අරූප භූමි ය යි ත්‍රිවිධ වේ. සතර අපාය මිනිස් ලොව සදෙව් ලොව යන එකොළොස කාම භූමි . බ්‍රහ්මපාරිසජ්ජාදි සොළොස රූපභූමි ය. ආකාසානඤ්චායතනාදි සතර අරූප භූමි යි.

1. මේ ත්‍රිවිධ භූමින් අතුරෙන් කාම භූමියෙහි මහග්ගත විපාක සිත් නවය හැරැ සෙසු සිත් 80 ම ලැබෙන්නේය. එසේ ලැබීම් ඒ ඒ පුද්ගලයන්ට අනුරූප පරිදිය යි දතයුතු.

2. රූප භූමියෙහි ආවර්ජන දෙක ද, කුශලාකුශල අහේතුක විපාක වූ චක්ඛුවිඤ්ඤාණද්වය සොතවිඤ්ඤාණද්වය සම්පටිච්ඡන යුගල සන්තීරණත්‍රික යන සිත් නවය ද, දෝසමූලික සිත් හැර සෙසු තෙපණස් (53) ජවන ද යන සූසැටක් සිත් උපදනේය. ඔවුන්ට ඝාණජිව්හා කාය ප්‍රසාද නැති බැවින් ඝාණවිඤ්ඤාණද්වය ද, ජිව්හා විඤ්ඤාණද්වය ද, කායවිඤ්ඤාණද්වය ද නැත. එසේම ඔවුන්ට පටිඝද්වය ද, තදාලම්බන අට ද වීථිමුත්තක ද නැත. එවිට එහි සිත් 25 ක් නො ලැබෙන්නේ ය. අසඤ්ඤාසත්තය රූපභූමියට ඇතුලත් වුව ද එහි එක් සිතෙකු දු නූපදී. එය ස්වභාවයෙන් ම අචිත්තක බැවිනි.

3. අරූපභූමියෙහි හසිතුප්පාදය හා පටිඝද්වය හැරැ සෙසු සවිසි (26) පරිත්ත ජවන ද, අරූපාවචර ජවන අට ද, සෝවාන් මාර්ගය හැරැ සෙසු ලෝකෝත්තර ජවන සත ද, මනොද්වාරාවර්ජනය ද යන දෙසාළිස උපදනේය. සෙසු සත්සාළිස (47) නූපදනේය.

යම් භූමියෙක්හි ස්වභාවයෙන් යම් යම් ප්‍රසාදයෙක් නැත් ද ඒ භූමියෙහි ඒ ඒ ද්වාරික සිත් නො ලැබෙන්නේ ය.

සඞ්ග්‍රහ ගාථාව

“අසීති වීථිචිත්තානි කාමෙ රූපෙ යථාරහං

චතුසට්ඨි=තථාරුප්පෙබ ද්වෙචත්තාලීස ලබ්භරෙ.”

කාමභූමියෙහි වීථි සිත් 80 ක් ද, රූප භූමියෙහි 64 ක් ද, අරූප භූමියෙහි 42 ක් ද යෙදෙන පරිදි ලැබෙන්නේ යි. විස්තර යට දැක්විණි.

ප්‍රශ්න

  1. භූමි කෙතෙක් ද? කවරහු ද?
  2. කාමභූමියෙහි උපදින සිත් දක්වනු.
  3. රූපභූමියෙහි නූපදින සිත් දක්වනු.
  4. අරූපභූමියෙහි උපදින සිත් ද, නූපදින සිත් ද වෙන් වෙන් කොටැ දක්වනු.
  5. අසඤ්ඤ සත්තාය කවර භූමියකට අයත් ද? එහි සිත් නැත්තේ කිම?

මෙසේ ඒ ඒ භවයෙහි ඒ ඒ පුද්ගලයන් පිළිබඳ වැ ද්වාර හා ආරම්මණ ලැබෙන ලැබෙන පරිදි ප්‍රතිසන්‍ධියෙන් පසු භවනිකන්ති වශයෙන් පවත්නා මනොද්වාරික චිත්ත වීථියෙහි පටන් චුතිචිත්තය දක්වා භවඞ්ගයන්ගෙන් අන්තරිත වැ යට දැක්වුණු ෂට්ද්වාරික චිත්තප්‍රවෘත්තිය නොසිඳී පවත්නේ ය. සිඳීමක් වත්හොත් නිරෝධ සමාපත්තියෙන් ය. අසඤ්ඤසත්තයෙහි චිත්තප්‍රවෘත්තිය මැ නැති බැව් යට කියන ලදි.

පූජ්‍ය පණ්ඩිත මාතර ශ්‍රී ධර්මවංශ ස්වාමීන් කළ අභිධර්මචන්‍ද්‍රිකාවෙහි වීථිචිත්තපාදය යි.