චිත්ත පාදයෙහි සිත් 89 හෝ 121 දක්වන ලද්දේය. චෛතසික පාදයෙහි චෛතසික 52 ද, එක් එක් චෛතසිකය මෙතෙක් මෙතෙක් සිත්හි යෙදෙන්නේය යන සම්ප්‍රයෝග නය හා එක් එක් සිතෙහි මෙතෙක් මෙතෙක් චෛතසික ඇත්තේය යන සඞ්ග්‍රහ නය ද දක්වන ලද්දේය. ප්‍රකීර්ණක පාදයෙහි ඒ චිත්ත චෛතසිකයන් පිළිබඳ වේදනා, හේතු, කෘත්‍ය, ද්වාර, ආලම්බන, වස්තු වශයෙන් සවැදෑරුම් මිශ්‍රක නය දක්වන ලද්දේය. මෙහි වනාහි චිත්ත පාදයෙහි දැක්වුණු චිත්තයන් පිළිබඳ ප්‍රවෘත්ති සඞ්ග්‍රහය දක්වනු ලැබේ.
ප්‍රවෘත්ති සඞ්ග්‍රහ නම් කාම, රූප, අරූප ලෝකයන්හි අහේතුක, ද්විහේතුක, ත්‍රිහේතුක පුද්ගලයන් පිළිබඳ වැ මේ සිත මේ සිත්වලට අනතුරු වැ උපදින්නේ ය. මේ සිතට අනතුරු වැ මේ සිත් උපදින්නේය යි චිත්තයන්ගේ පූර්වාපර නියමය සඞ්ග්‍රහ කොට දැක්වීම ය. හෙවත් සත්ත්‍වයා පිළිබඳ සිත් පැවැතීගෙන යාමේ පිළිවෙල දැක්වීම යි.
ඒ ප්‍රවෘත්ති සඞ්ග්‍රහය ද වනාහි වීථි චිත්ත ප්‍රවෘත්ති සඞ්ග්‍රහය, වීථි මුක්ත චිත්ත ප්‍රවෘත්ති සඞ්ග්‍රහය යි දෙවැදෑරුම් වේ. වීථි සිත් පැවැතීගෙන යන පිළිවෙල සඞ්ග්‍රහ කොටැ දැක්වීම වීථි චිත්ත ප්‍රවෘත්ති සංග්‍රහ යයි. වීථි සිත් නම් රූපාදි එක අරමුණක් නිසා පවතින චිත්ත පරම්පරාවෙකි. වීථිමුක්ත චිත්ත ප්‍රවෘත්ති සංග්‍රහ නම් වීථි වශයෙන් නො පැවතෙන සිත් පිළිබඳ ක්‍රමය දැක්වීමය. වීථි වශයෙන් නො පැවතෙන සිත් නම් කර්ම, කර්ම නිමිති, ගති නිමිති අරමුණු කොට ඇති ප්‍රතිසන්‍ධි භවාඞ්ග ච්‍යුති කෘත්‍ය කරන සිත් එකුන්විස්ස (19) ය. (එක ගෘහයක් වූ පමණින් මාර්ගය වීථිය නො වන්නා සේ එක සිතක් වූ පමණින් චිත්ත ද වීථියෙක් නො වේ. මේ දෙවැදෑරුම් ප්‍රවෘත්ති සඞ්ග්‍රහයන් අතුරෙන් මෙහි වීථි චිත්ත ප්‍රවෘත්ති සංග්‍රහය වීතිපාදය යන නමින් දැක්වෙන බව සැලකිය යුතුයි.
වීතිචිත්ත ප්‍රවෘත්ති දැන ගැන්ම සඳහා පළමු කොට වස්තු සය, ද්වාර සය, ආලම්බන සය, විඤ්ඤාණ සය, වීථි සය විෂය ප්‍රවෘත්ති සය යන ෂට්ක සය උගත යුතුය.
1. වස්තු සය නම් චක්ඛු වස්තුය, සොත වස්තුය ඝාණ වස්තුය, ජිව්හා වස්තුය, කාය වස්තුය, හෘදය වස්තුය යන මොහු ය. මොවුන්ගේ ආකාර හා මොවුන් නිසා උපදින සිත් ගණන් ප්‍රකීර්ණ පාදයෙහි 13 වන පාඩමේ දක්වන ලද්දේය.
2. ද්වාර සය නම් චක්ඛු ද්වාරය, සොත ද්වාරය, ඝාණ ද්වාරය, ජිව්හා ද්වාරය, කාය ද්වාරය, මනො ද්වාරය යන මොහුය. මොවුන්ගේ ආකාර ද ඒ ඒ ද්වාරයන්හි උපදින සිත් ද එහි ම 9 වන පාඩමේ දක්වන ලද්දේය.
3. ආලම්බන සය නම් රූපාලම්බනය, සද්දාලම්බනය, ගන්‍ධාලම්බනය, රසාලම්බනය, ඵොට්ඨබ්බාලම්බනය, ධම්මාලම්බනය යන මොහු ය. මොවුන්ගේ ආකාර හා ඒ ඒ අරමුණු ගෙන පවත්නා සිත් එහි ම (ආලම්බන සංග්‍රහයෙහි) දක්වන ලද්දේය. (ප්‍රකීර්ණක පාද 11 වන පාඩම බලනු.)
4. විඤ්ඤාණ සය නම් චක්ඛු විඤ්ඤාණය, සොත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනො විඤ්ඤාණය යන මොහුය. චක්ඛු විඤ්ඤාණ නම් චක්ඛු විඤ්ඤාණ සිත් දෙක ය. සොත විඤ්ඤාණ නම් සොත විඤ්ඤාණ සිත් දෙක ය. ඝාණ විඤ්ඤාණ නම් ඝාණ විඤ්ඤාණ සිත් දෙක ය. ජිව්හා විඤ්ඤාණ නම් ජිව්හා විඤ්ඤාණ සිත් දෙක ය. කාය විඤ්ඤාණ නම් කාය විඤ්ඤාණ සිත් දෙක ය. මනො විඤ්ඤාණ නම් මේ චක්ඛු විඤ්ඤාණාදි සිත් දසය හැර සෙසු එකුන් අසූව (79) ක් සිත් ය.
5. වීථි සය නම් ද්වාර වශයෙන් නම් ලත් චක්ඛුද්වාර වීථිය, සොතද්වාර වීථිය, ඝාණද්වාර වීථිය, ජිව්හා ද්වාර වීථිය, කායද්වාර වීථිය, මනොද්වාර වීථිය යන මොහු ය. චක්ඛුද්වාර වීථි නම් රූප අරමුණු කොට ගෙන චක්ඛු ද්වාරයෙහි පවත්නා චිත්ත පරම්පරාව ය. සෙසු වීථි ද මෙසේ ය. මේ වීථි සය ම විඤ්ඤාණ වශයෙන් නම් ගත් කල චක්ඛු විඤ්ඤාණ වීථිය, සොත විඤ්ඤාණ වීථිය, ඝාණ විඤ්ඤාණ වීථිය, ජිව්හා විඤ්ඤාණ වීථිය, කාය විඤ්ඤාණ වීථිය, මනො විඤ්ඤාණ වීථිය යි ද කියනු ලැබේ. චක්ඛු විඤ්ඤාණ, සම්බන්‍ධයෙන් පවත්නා චිත්ත පරම්පරාව චක්ඛු විඤ්ඤාණ වීථිය යි. සෙස්ස ද මෙසේ ය.
6. විෂය ප්‍රවෘත්ති සය නම් පඤ්චද්වාරය පිළිබඳ වැ පවත්නා අතිමහන්ත, මහන්ත, පරිත්ත, අතිපරිත්ත යන සතර හා මනොද්වාරය පිළිබඳ වැ පවත්නා විභූත, අවිභූත යන දෙක යි. විෂය නම් අරමුණ ය, ප්‍රවෘත්ති නම් පැවැත්ම ය. අරමුණු පිළිබඳ පැවැත්ම විෂය ප්‍රවෘත්ති යි.
අරමුණු වනාහි රූපාදි වශයෙන් සවැදෑරුම් බව යට කියන ලදි. ඔවුන් අතුරෙන් රුප, ශබ්ද, ගන්‍ධ, රස, ඵොට්ඨබ්බ යන අරමුණු පස චිත්තක්‍ෂණ සතළොස (17) සතළොස ආයු ඇත්තේ ය. මේ පස පමණක් නො වේ. අටවිසි රූප අතුරෙන් විඤ්ඤත්ති රූප දෙක ය. ලක්‍ෂණ රූප සතර ය යන රූප සය හැර සෙසු දෙවිසි රූප ම, චිත්තක්‍ෂණ සතළොස බැගින් ආයු ඇත්තේය. “තංසත්තරස චින්තායු විනා විඤ්ඤත්ති ලක්ඛණා” යනු එහෙයින් කියන ලදී.
එක් චිත්තක්‍ෂණයක් ඉක්මැ චිත්තක්‍ෂණ සොළොසක් ආයු ඇති වැ ආපාතගත වන (-හමු වන) අරමුණ අති මහන්තය. චිත්තක්‍ෂණ දෙකක් හෝ තුනක් ඉක්මැ පසළොස් හෝ තුදුස් චිත්තක්‍ෂණ ආයු ඇතිවැ ආපාතගත වන අරමුණ මහන්තය. චිත්තක්‍ෂණ සතර පටන් නවය දක්වා ඉක්මැ තෙළස (13) පටන් අට දක්වා ආයු ඇති වැ ආපාතගත වන අරමුණ පරිත්තය. චිත්තක්‍ෂණ දසයේ පටන් පසළොස දක්වා ඉක්මැ චිත්තක්‍ෂණ සතේ පටන් දෙක දක්වා ආයු ඇති වැ ආපාතගතවන අරමුණ අතිපරිත්ත යි. මෙය මතු ද පැහැදිලි වන්නේ ය.
ධම්මාරම්මණයෙහි අතිමහන්තාදි භේද නැත. එහි ඇත්තේ විභූත අවිභූත භේදය යි. විභූත නම් අරමුණේ ප්‍රකට භාවයයි. අවිභූත නම් අරමුණේ අප්‍රකට භාවය යි. මෙතෙකින් ෂට්ක සය සැකෙවින් දක්වන ලදි.
ප්‍රශ්න.
- ප්‍රවෘත්ති සංග්‍රහය යනු කිම? එය කී ආකාරයකට බෙදෙන්නේ ද? මෙහි දැක්වෙනුයේ කවර ප්‍රවෘත්ති සංග්‍රහයෙක් ද?
- ෂට්ක සය දක්වනු.
- වස්තු, ද්වාර, ආරම්මණ, විඤ්ඤාණ, සය හා ඔවුන් පිළිබඳ සිත් දක්වනු.
- වීථි සය කෙසේද? චක්ඛුවාර වීථි, චක්‍ෂුර්විඥාන වීථි දෙකේ වෙනස කිම?
- විෂය ප්‍රවෘත්ති සය දක්වනු. අතිමහන්ත, මහන්ත, පරිත්ත, අතිපරිත්ත විෂය ප්‍රවෘත්ති පිළිබඳ රූපයන්ගේ ආයුෂ කෙතෙක් කෙතෙක් ද? විභූත, අවිභූත පැහැදිලි කරනු.