1. වේදනාව චෛතසිකයක් බව යට දක්වන ලද්දේය. (චෛතසික පාද 2 වන පාඩමේ 2 බලනු.) අරමුණ විඳ ගැනීම් ලක්‍ෂණයෙන් එය එකෙක් ම වුව ද විඳ ගැනීමේ ආකාර වශයෙන් සුඛ වේදනාය. දුක්ඛ වේදනාය. අදුක්ඛමසුඛ වේදනාය යි ත්‍රිවිධ වේ.
2. අරමුණ ඉෂ්ට වී නම් එය ගන්නා සිතෙහි යෙදෙන වේදනාව සුඛ වේ. අරමුණ අනිෂ්ට වී නම් ඒ ගන්නා සිතෙහි යෙදෙන වේදනාව දුක්ඛ වේ. අරමුණ මධ්‍යස්ථ වී නම් ඒ ගන්නා සිතෙහි යෙදෙන වේදනාව අදුක්ඛමසුඛ වේ. අදුක්ඛමසුඛ නම්, සුඛත් නො වන දුක්ඛත් නො වන බව යි. ආරම්මණයෙහි ඉෂ්ටානිෂ්ට මධ්‍යස්ථභාවය ස්වභාව වශයෙන් ද විය හැක. ස්වභාව ආරම්මණය පිළිබඳ ය. පරිකල්පය අරමුණ ගන්නා පිළිබඳ යි.
3. සුඛ වේදනාය, දුක්ඛ වේදනාය, සෝමනස්ස වේදනාය, දෝමනස්ස වේදනාය, උපෙක්‍ෂා වේදනාය යි වේදනාව පඤ්චවිධ ද වේ. මෙහි ලා සුඛ හා දුක්ඛ කායික වශයෙන් ද, සෝමනස්ස හා දෝමනස්ස මානසික වශයෙන් ද, උපෙක්‍ෂා උභය වශයෙන් ද, ගන්නා ලදි. මතු දැක්වෙන චිත්තවිභාග ක්‍රමයෙන් ඒ බැව් පැහැදිලි වේ.
මේ පංචවිධ වේදනා අතුරෙන් අසවල් අසවල් වේදනාව අසවල් අසවල් සිත්හි යෙදෙන්නේ ය යනු ඉක්බිති දක්වනු ලැබේ.
4. සුඛ වේදනාව එක ම සිතෙක-එ නම් සුඛ සහගත කුසල විපාක කායවිඤ්ඤාණ සිතෙහි යෙදෙන්නේ ය. (චිත්තපාද 9 වන පාඩමේ 5 බලනු.)
5. දුක්ඛ වේදනාව ද එක ම සිතෙක- එ නම් දුක්ඛ සහගත අකුශල විපාක කාය විඤ්ඤාණ සිතෙහි යෙදේ. සුඛ දුක්ඛ කායික වශයෙන් ගන්නා ලදැ යි කීයේ මේ නිසා ය. සෙසු චක්‍ෂුරාදි විපාක විඤ්ඤාණ අටෙහි මෙන් මෙහි වේදනාව උපෙක්‍ෂා නොව සුඛ දුක්ඛ වීමේ හේතු යට දැක්විණි.
6. සෝමනස්ස වේදනාව සිත් දෙසැට (62) ක යෙදේ. එ නම් සෝමනස්ස සහගත ලෝභමූලික සතරය. (චිත්තපාද 5 වන පාඩම බලනු.) සෝමනස්ස සහගත සන්තීරණය, (චිත්තපාද 9 වන පාඩමේ 7 බලනු.) සෝමනස්ස සහගත හසිතුප්පාය (චිත්තපාද 10 වන පාඩමේ 3 බලනු.) සෝමනස්ස සහගත කාමාවචර සෝභන දොළොස ය (චිත්තපාද 11, 12, 13 පාඩම් බලනු.) මහග්ගත හා ලොකුත්තර වූ පඨමජ්ඣාන සිත් 11 ය, දුතියජ්ඣාන සිත් 11 ය, තතියජ්ඣාන සිත් 11 ය, චතුත්‍ථජ්ඣාන සිත් 11 ය යන මොහු යි. වේදනාව ධ්‍යානාඞ්ගයක් බැවින් සිත් මධ්‍යම පුඩු වශයෙන් ගිණූ බව සලකනු.
7. දෝමනස්ස වේදනාව සිත් දෙකෙක-එ නම් දෝමනස්ස සහගත පටිඝසම්පයුත්ත අකුසල සිත් දෙකෙහි යෙදෙන්නේ ය. (චිත්තපාද 6 වන පාඩම බලනු.)
8. උපෙක්‍ෂා වෙදනාව සිත් පස් පණසෙ (55) ක යෙදේ. එ නම්-උපෙක්‍ෂා සහගත අකුසල සය (6), (චිත්තපාද 5, 7, පාඩම්) උපෙක්‍ෂා සහගත අහේතුක තුදුස (14) ය, (චිත්තපාද 8, 9, 10 පාඩම් බලනු.) උපෙක්‍ෂා සහගත කාමාවචර සෝභන දොළොස ය. (චිත්තපාද 11, 12, 13 පාඩම් බලනු.) මහග්ගත හා ලොකුත්තර වූ පඤ්චමජ්ඣානික විසිතුනය. (චිත්තපාද 23 වන පාඩම බලනු.) යනු මොහුයි.
9. මේ දක්වන ලද්දේ වේදනා පඤ්චක ක්‍රමයට ය. ත්‍රික ක්‍රමයෙහි වනාහි සුඛය සෝමනස්සයට ද, දුක්ඛය දෝමනස්සයට ද ඇතුළත් කරනු. ත්‍රික ක්‍රමය ධම්මසඞ්ගණියෙහි ද, පඤ්චක ක්‍රමය විභඞ්ග ඉන්ද්‍රියවිභඞ්ගයෙහි ද ආයේ යි.
10. ඇතැම් තැනෙක සුඛ වේදනාය, දුක්ඛ වේදනාය යි වේදනාව විවිධ කොට ද දැක්විණි. එවිට උපෙක්‍ෂාව සුඛයෙහි ඇතුළත් වේ. “උපෙක්‍ෂා පන සන්තත්තා සුඛ මිච්චෙව භාසිතා” – “උපෙක්‍ෂාව ශාන්ත බැවින් සුඛ මැයි කියන ලදී” යනු එහි භාව යි. නැතහොත් නිරවද්‍ය උපෙක්‍ෂාව සුඛයෙහි ද, සාවද්‍ය උපෙක්‍ෂාව දුක්ඛයෙහි ද ඇතුළත් වේ.
11. සංස්කාරයන්ගේ අනිත්‍යතාවය සලකා සියලු වේදනා දුක්ඛ ය යි ද ඇතැම් තැනෙක වදාළහ. “යංකිඤ්චි වෙදයිත මිදමෙත්‍ථ දුක්ඛස්ස” – “යම් විඳගන්නා සුලු බවෙක් වේ නම් ඒ මෙහිලා දුක්ඛ සම්බන්ධ මැ යි” යනු එහි භාව යි.
[1]*“සුඛං දුක්ඛමුපෙක්ඛාති තිවිධා තත්‍ථ වෙදනා
සොමනස්සං දොමනස්ස මිති භෙදෙන පඤ්චධා.
සුඛමෙකත්‍ථ දුක්ඛං ච දෝමනස්සං ද්වයෙ ඨිතං
ද්වාසට්ඨීසු සොමනස්සං පඤ්චපණ්ණාසකෙතරා.”
සුඛය, දුක්ඛය, උපෙක්‍ෂාය යි වේදනාව ත්‍රිවිධ වේ. සුඛය දුක්ඛය, උපෙක්‍ෂාය, සෝමනස්සය, දෝමනස්සය යන භේදයෙන් පංචවිධ වේ. සුඛය එක් සිතෙක ය. දුක්ඛය ද එක් සිතෙක ය, දෝමනස්සය සිත් දෙකක ය, සෝමනස්සය සිත් දෙසැටක ය, උපෙක්‍ෂාව සිත් පස් පණසෙකැ යි දතයුතු. (විස්තර යට දැක්වුණු නියායෙන් දතහැකි.)
ප්‍රශ්න.
- වේදනාව කී වැදෑරුම් ද? ඇති තාක් භෙද දක්වනු.
- මෙහි සිත් බෙදුණේ කවර ප්‍රභේදයක ද?
- සුඛවේදනා හා දුක්ඛවේදනා යෙදෙන සිත් දක්වනු.
- සෝමනස්ස හා දෝමනස්ස වේදනා යෙදෙන සිත් දක්වනු.
- උපෙක්‍ෂා වේදනා යෙදෙන සිත් කීය ද? කවරහු ද?
-
* සුව දුක් උවේ යන-බෙයින් වෙයින් වේ තෙ බේ
සොම්නස් දොම්නස් විසින්-වැළි ඒ පස් වැදෑරුම්.
සුව දුක් එකෙකැ සිතැ-දොම්නස් සිත් දෙකෙකැ වේ.
සොම්නස දෙසැට සිත්හි-උවේ වේ පස්පණසෙකැ. ↑