1. චක්ඛු වස්තුය, සොත වස්තුය, ඝාණ වස්තුය, ජිව්හා වස්තුය, කාය වස්තුය, හෘදය වස්තුය යි වස්තූහු සවැදෑරුම් වෙති. වස්තු නම්, චිත්ත චෛතසික වසන තැන්ය. ඇතැම් විටෙක සිත් චක්‍ෂුරාදියෙහි වසන්නේ ය. ඒ එසේ ම ය. චක්‍ෂු ප්‍රසාදයෙහි රූපාරම්මණයක් ගැටුණු විට හෘදය වස්තුවෙහි පැවති සිත සැලී සිඳී පංචද්වාරාවර්ජනයට ඉක්බිති ව චක්‍ෂුසෙහි පවත්නේ චක්ඛු විඤ්ඤාණය යි කියනු ලැබේ. චක්ඛුවිඤ්ඤාණ සිත චක්ඛුවෙහි වසන බැවින් චක්ඛුව චක්ඛුවත්‍ථු වේ. සොත වත්‍ථු ආදිය ද මෙසේ ම ය. හෘදය වස්තු නම්, මනො ධාතු මනො විඤ්ඤාණ ධාතූන්ට නිඃශ්‍රය වූ පපුවෙහි කුලුඳුලක් පමණ වූ ලෙය ඇසුරු කොටැ පවත්නා කර්මජ රූපයෙකි.
2. කාම ලෝකයෙහි සම්පූර්ණ ඉන්‍ද්‍රිය ඇත්තන්ට මේ වස්තු සය ම පවත්නේ ය. ඇතැම් විට ජාත්‍යන්‍ධාදීන්ගේ වශයෙන් මෙයින් කීපයක් අඩුවිය ද හැකි ය.
3. රූප ලෝකයෙහි ඝාණ, ජිව්හා, කාය වස්තු නැත. ගන්‍ධ රස, ස්ප්‍රෂ්ටව්‍ය විශේෂයෙන් කාමපාක්‍ෂික ය. බඹලොව උපදනු කැමැත්තෝ කාමය තුච්ඡ කොට එහි උපදිති. එවිට ඔවුනට ඒ ගන්‍ධාදිය ගන්නා ඝාණාදි ප්‍රසාද රූපද නැත්තේය. බුද්ධ දර්ශන ධර්මශ්‍රවණාදිය සඳහා චක්ඛු සොත ඇත් මැ යි.
4. අරූපලෝකයෙහි මේ චක්‍ෂුරාදි එක වස්තුවකු දු නැත. එහි රූප ඒකාන්තයෙන් ම නැති බැවිනි.
5. මේ එක් එක් වස්තුවෙක අසවල් අසවල් සිත් උපදනේ ය යි දක්වනු සඳහා සිත් මුළුල්ල සත්ත විඤ්ඤාණ ධාතු වශයෙන් බෙදනු ලැබේ.
6. චක්ඛු විඤ්ඤාණ සිත් දෙක චක්ඛු විඤ්ඤාණ ධාතු නම් වේ. එසේ ම සොත විඤ්ඤාණ සිත් දෙක සොත විඤ්ඤාණ ධාතු නමි. ඝාණ විඤ්ඤාණ සිත් දෙක ඝාණ විඤ්ඤාණ ධාතු නමි. ජිව්හා විඤ්ඤාණ සිත් දෙක ජිව්හා විඤ්ඤාණ ධාතු නමි. කාය විඤ්ඤාණ සිත් දෙක කාය විඤ්ඤාණ ධාතු නමි. පඤ්චද්වාරාවර්ජනය හා සම්පටිච්ඡන යුගලය මනො ධාතු නමි. සෙසු සියල්ල මනොවිඤ්ඤාණ ධාතු නම් වේ.
7. මෙයින් චක්ඛුවිඤ්ඤාණ ධාතු චක්ඛු වස්තුව නිසා පවත්නේ ය. සොත, ඝාණ, ජිව්හා, කාය විඤ්ඤාණ ධාතු සොත, ඝාණ, ජිව්හා, කාය වස්තු නිසා පවත්නේ ය.
8. මනො ධාතුව හෘදය වස්තුව නිසා ම පවත්නේ ය. පංචාලම්බන නිසා පඤ්චද්වාරාවර්ජන සම්පටිච්ඡන වන බැවිනි.
9. මනො විඤ්ඤාණ ධාතුවට අයත් සිත් අතුරෙන් සන්තීරණ තුන ය, මහාවිපාක අට ය, (අකුසල අතුරෙන්) පටිඝ දෙක ය, සෝවාන් මාර්ගය, හසිතුප්පාදය, රූපාවචර පසළොස ය යන සමතිස් (30) සිත් හෘදය වස්තුව නිසා පවත්නේ ය.
සන්තීරණ තුන හා මහාවිපාක අට අරූප ලෝකයෙහි නැත. ද්වාර ප්‍රතිසන්‍ධි හා කෘත්‍යාදියත් එහි නැති බැවිනි. පටිඝ සිත් දෙක රූපී බ්‍රහ්ම ලෝකයෙහි දු නැත. බ්‍රහ්මයනට කෝප නැති බැවිනි. ශ්‍රාවකයන් සෝවාන් මාර්ග සිත පරතොඝොෂ ප්‍රත්‍යයෙන් ලැබිය යුතු වේ. අරූපයෙහි ශ්‍රොත්‍ර ප්‍රසාදය නැති බැවින් ඔවුන්ට ධර්මදේශනා නො ඇසිය හැකි ය. පරතොඝොෂ ප්‍රත්‍යය නම්, මෙරමාගෙන් චතුස්සත්‍යාත්මක ධර්මයක් ඇසීම ය. උපතිස්ස මානවක අස්සජි තෙරුන්ගෙන් “යෙ ධම්මා හෙතුප්පභවා” යනාදි ගාථාව ඇසුවා මෙනි. අරූපීනට රූප නැති බැවින් රහත් වුව ද සිනාසිය නො හැකි. රූපාවචර සිත් අරූපයෙහි නො ලැබේ.
10. කාමාවචර කුසල 8 ය, අරූපාවචර කුසල 4 ය යන දොළොස් කුසල සිත් ද පටිඝ දෙක හැර සෙසු දස අකුසල් සිත ද, පඤ්චද්වාරාවර්ජන හසන රූපාවචර ක්‍රියා හැර සෙසු මනොද්වාරා වර්ජනය, කාමාවචර සහේතුක ක්‍රියා අට ය, අරූපාවචර ක්‍රියා 4 ය යන තෙළෙස් ක්‍රියා සිත් ද, සෝවාන් මාර්ගය හැර සෙසු ලෝකෝත්තර සත් සිත් ද යන මේ දෙසාළිස් (42) සිත් හෘදය වස්තුව ඇසුරු කොට ද ඇසුරු නො කොට ද පවත්නේ ය. මේ සිත් කාම ලෝකයෙහි ද, රූප ලෝකයෙහි ද, අරූප ලෝකයෙහි ද සත්ත්‍වයනට සුදුසු පරිදි උපදිත හැකි සේ යි.
11. අරූපාවචර විපාක සිත් සතර හෘදය වස්තුව ඇසුරු නො කොට ම පවත්නේ ය. ඒ සිත් කාම භවයෙහි ද, රූප භවයෙහි ද නො ලැබේ මැ යි.
[1]*”ඡවත්‍ථු නිස්සිතාකාමෙ සත්තරූපෙ චතුබ්බිධා,
තිවත්‍ථුනිස්සිතාරුප්පෙ ධාත්‍වෙකා නිස්සිතාමතා,
තෙ චත්තාලීස නිස්සාය ද්වෙ චත්තාලීස ජායරෙ,
නිස්සාය ච අනිස්සාය පාකාරූප්පා අනිස්සිතා.”
කාම ලෝකයෙහි සත්තවිඥාන ධාතුහු චක්‍ෂුරාදි ෂඩ්වස්තු නිසා පවතිති. රූප ලෝකයෙහි චක්ඛුවිඤ්ඤාණ ධාතු, සොත විඤ්ඤාණ ධාතු, මනො ධාතු, මනොවිඤ්ඤාණ ධාතු යන සතර ධාතුහු චක්ඛු සොත හදය යන වස්තු තුන නිසා පවතිති. අරූප ලෝකයෙහි එකම මනො විඤ්ඤාණ ධාතු ෂඩ්වස්තු නොනිසා ම (=නැති වැ ම) පවතී.
තෙසාළිස් සිත් කෙනෙක් ෂඩ්වස්තු නිසා ම පවතිති. (එනම් කාමාවචර විපාක තෙවිස්ස (23) ය, පඤ්චද්වාරා වර්ජනය, හසිතුප්පාදය, පටිඝ චිත්තද්වය, රූපාවචර පසළොස ය, ප්‍රථම මාර්ග චිත්තය යන මොහු යි.) දෙසාළිස් සිත් කෙනෙක් හෘදය වස්තුව නිසා ද නො නිසා ද පවතිති. පංච වොකාර භව වහයෙන් නිසා ය. චතුවොකාර භව වශයෙන් නො නිසා ය. පංචවොකාර භව නම්, රූප, වෙදනා, සඤ්ඤා, සංඛාරා, විඤ්ඤාණ යන පඤ්චස්කන්‍ධය ම ඇති කාම රූප ලෝක යි. අසඤ්ඤසත්තය එකවොකාර භව ය. රූපය පමණක් ම ඇති බැවිනි. චතුවොකාර භව නම්, වෙදනා, සඤ්ඤා, සංඛාරා, විඤ්ඤාණ යන ස්කන්‍ධ සතර ඇති අරූපාලෝකය යි. වොකාර නම්, ස්කන්‍ධ ය. යට දැක්වූ විභාගයෙන් මෙය අවබෝධ කරගත හැකියි.
ප්‍රශ්න.
- වස්තු කෙතෙක් ද? කවරහු ද?
- සත්තවිඤ්ඤාණ ධාතු වෙන් කොටැ දක්වනු.
- කවර කවර වස්තුවල කවර කවර විඤ්ඤාණ ධාතූහු වෙත් ද? පැහැදිලි කරනු.
- චතුවොකාර, පංචවොකාර එකවොකාර භව දක්වනු.
- හෘදය වස්තුව නිසා ද, නොනිසා ද පවත්නා සිත් දක්වා හේතු පෙන්වනු.
පණ්ඩිත මාතර ශ්‍රී ධර්මවංශ ස්ථවිර ප්‍රණීත අභිධර්මචන්‍ද්‍රිකාවේ ප්‍රකීර්ණක පාදයයි.
-
*සවත් ඇසුරින් කම් හී-සතෙකි රූහී සතරෙකි
තිවතැ’සුරින් අරූහී-එකෙකි සවත් නැතිවැ මැ
තෙ සාළිස් සිත් සවත්-නිසාපවති දෙසා ළිස්
නිසා හා නොතිසා-විවාරූ නොනිසා මැයි. ↑