- උපෙක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණය,
- උපෙක්ඛා සහගත සොත විඤ්ඤාණය,
- උපෙක්ඛා සහගත ඝාණ විඤ්ඤාණය,
- උපෙක්ඛා සහගත ජිව්හා විඤ්ඤාණය,
- සුඛ සහගත කාය විඤ්ඤාණය,
- උපෙක්ඛා සහගත සම්පටිච්ඡන චිත්තය,
- සොමනස්ස සහගත සන්තීරණ චිත්තය,
- උපෙක්ඛා සහගත සන්තීරණ චිත්තය,
යන මේ අට කුසල අහේතුක විපාක සිත් නම් වේ.
කාමාවචර කුසලයන්ගේ විප කයෝ සොළොස් (16) දෙනෙක් වෙති. එයින් අටක් සහේතුක ය. අටක් අහේතුක ය. අහේතුක සිත් කාණ්ඩය දක්වා නිම කරන සඳහා කුසල සිත් දක්වන්නටත් පළමු ඒ කුසලයන්ගේ දෙවැදෑරුම් විපාකයන් අතුරෙන් අහේතුක විපාක සිත් කොටස මෙහි දැක්වූ බව දතයුතු.
එහි:-
1. ඉෂ්ට රූපයක් චක්‍ෂුඃ ප්‍රශාදයේ හැපුණු කල හෙවත් ප්‍රිය රූපයක් ඇසින් දුටු කල කුසල විපාක උපෙක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණය ලැබේ.
2. ඉෂ්ට ශබ්දයක් ශ්‍රොත්‍ර ප්‍රශාදයේ හැපුණු කල හෙවත් ප්‍රිය හඬක් ඇසුණු කල කුසල විපාක උපෙක්ඛා සහගත සොත විඤ්ඤාණය ලැබේ.
3. ඉෂ්ට ගන්‍ධයක් ඝ්‍රාණ ප්‍රශාදයේ හැපුණු කල හෙවත් මිහිරි සුවඳක් නැහැයට දැනුණු කල කුසල විපාක උපෙක්ඛා සහගත ඝාණ විඤ්ඤාණය ලැබේ.
4. ඉෂ්ට රසයක් ජිහ්වා ප්‍රසාදයට හැපුණු කල හෙවත් දිවට ප්‍රිය රසයක් දැනුණු කල කුසල විපාක උපෙක්ඛා සහගත ජිව්හා විඤ්ඤාණය ලැබේ. මේ සිව් තැන ම උපෙක්ඛා සහගත වීමේ හේතුව අකුසල චිත්තයන්ට කී නියාම ය යි දතයුතු.
5. ඉෂ්ට ස්ප්‍රෂ්ටව්‍යයක් කාය ප්‍රශාදයේ හැපුණු කල හෙවත් පිය පහසක් ඇඟට දැනුණු කල කුසල විපාක සුඛ සහගත කාය විඤ්ඤාණය ලැබේ. මෙහිදු සුඛ සහගතවීමේ හේතුව යට කී නයින් දතයුතු.
6. පඤ්ච විඤ්ඤාණයන් විසින් ගන්නා ලද ඉෂ්ටාරම්මණය පිළිගන්නාක් මෙන් උපදින සිත කුසල විපාක උපෙක්ඛාසහගත සම්පටිච්ඡන චිත්තය යි.
7. එම අති ඉෂ්ටාරම්මණයක් තීරණය කරන්නාක් මෙන් උපදින සිත කුසල විපාක සොමනස්ස සහගත සන්තීරණ චිත්තය යි.
8. එම ඉෂ්ට මධ්‍යස්ථාරම්මණයක් තීරණය කරන්නාක් මෙන් උපදින සිත කුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණ චිත්තය යි කියනු ලැබේ. මේ චිත්තයන්ගේ විශේෂ විභාගය මතු පහළ වන්නේ ය. මෙහිදී සාමාන්‍ය වශයෙන් අවබෝධ කරගත යුතු ය.
ප්‍රශ්න
- කාමාවචර කුසල විපාක කෙතෙක් ද?
- එයින් අහේතුක විපාක අට දක්වනු.
- කුසල දක්වන්නටත් පළමු කුමක් හෙයින් එහි විපාක දක්වන ලද්දේ ද?
- සන්තීරණ සිත් දෙකේ වෙනස දක්වනු.
- මේ සිත් අට පැහැදිලි කරනු.