6. දොස මූලික සිත් (2) දෙක

  1. දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අසංඛාරික චිත්තය,
  2. දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත සසංඛාරික චිත්තය.

1. මෙහි දෝමනස්ස සහගත නම් දොම්නසින් හෙවත් මානසික දුඃඛ වේදනායෙන් යුක්ත බව ය. පටිඝ සම්පයුත්ත නම් ද්වේෂයෙන් යුක්ත බව ය. අරමුණෙහි නො ඇලී එහි විරුද්ධ වැ හැපී යන බැවින් ද්වේෂය පටිඝය යි කියනු ලැබේ. දෝමනස්ස අනිෂ්ට අරමුණු අනුභව කිරීම ලක්‍ෂණ කොට ඇති වේදනාස්කන්‍ධයට අයත් ධර්මයෙක. පටිඝය චණ්ඩකම ස්වභාවකොට ඇති සංස්කාරස්ඛන්‍ධයට අයත් ධර්මයෙක. මේ දෙදෙන එකතුව ම මුත් වෙන් වැ නූපදිත්. අසංඛාර ලක්‍ෂණය පෙර කී සේ ම ය. මෙසේ යමෙකු ප්‍රාණඝාතාදියක් කරන්නේ දොම්නසින් හා පටිඝයෙන් යුක්ත වැ අනුන්ගේ හෝ තමන්ගේ මෙහෙයීමකුදු නැති වැ සැහැසි ව ම කෙරේ ද එවිට ඔහුට දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අසංඛාරික යන ද්වේෂමූලික පළමුවන සිත ලැබෙන බව දතයුතුයි.

2. දෙවන චිත්තයෙහි දෝමනස්ස - පටිඝ - සසංඛාර යන මොවුන්ගේ ලක්‍ෂණය පෙර කී සේ ම ය. යමෙකු දොම්නසින් හා පටිඝයෙන් යුක්ත වැ අනුන්ගේ මෙහෙයීමෙන් හෝ තමාගේ ම පසුබැසීමෙන් හෝ ප්‍රාණඝාතාදී පාපයක් කෙරේ ද ඔහුට දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත සසංඛාරික යන දෝස මූලික දෙවන චිත්තය ලැබෙන්නේ ය.

ප්‍රශ්න

  1. දෝස මූලික සිත් දෙක කෙසේද?
  2. දෝමනස්ස - පටිඝ යන දෙක්හි වෙනස කිම?
  3. ළමයෙක් සිනාසෙමින් කුරුල්ලකු මැරුවේ ය. ඔහුට උපන් අකුසල් සිත කුමක් ද?
  4. ස්වාමියාගේ නියෝගයෙන් සේවකයෙක් කුකුළකු මැරුවේ ය. ඔහුට උපන් අකුසල සිත කිමෙක් ද?