11. කාමාවචර කුසල සිත් (8) අට

  1. සොමනස්ස සහගත ඤාණසම්පයුත්ත අසංඛාර චිත්තය
  2. සොමනස්ස සහගත ඤාණසම්පයුත්ත සසංඛාර චිත්තය
  3. සොමනස්ස සහගත ඤාණවිප්පයුත්ත අසංඛාර චිත්තය
  4. සොමනස්ස සහගත ඤාණවිප්පයුත්ත සසංඛාර චිත්තය
  5. උපෙක්ඛා සහගත ඤාණසම්පයුත්ත අසංඛාර චිත්තය,
  6. උපෙක්ඛා සහගත ඤාණසම්පයුත්ත සසංඛාර චිත්තය,
  7. උපෙක්ඛා සහගත ඤාණවිප්පයුත්ත අසංඛාර චිත්තය,
  8. උපෙක්ඛා සහගත ඤාණවිප්පයුත්ත සසංඛාර චිත්තය

1. මෙහි පළමුවන චිත්තයෙහි සොමනස්ස, ඤාණ, අසංඛාර යන අඞ්ග තුනෙක් ඇත්තේ ය. සොමනස්ස සහගත නම් සුඛ වේදනායෙන් - සොම්නසින් - සතුටින් යුක්ත බව ය. බලවත් ශ්‍රද්ධාව හා දර්ශන සම්පත්, ප්‍රත්‍යය සම්පත්, ප්‍රතිග්‍රාහක සම්පත්, ප්‍රදේශ සම්පත්, කාල සම්පත් ලැබීම ඒ සෝමනස්ස සහගත වීමේ හේතු ය. ඤාණසම්පයුත්ත නම් යථා ස්වභාවය දැන්මෙන් හෙවත් දානාදී කුසලයන්ගෙන් ඉෂ්ටවිපාක ලැබෙන්නේ ය. යනාදිය දැන්මෙන් යුක්ත බව ය. ප්‍රඥාව ලැබීමට හේතු කර්මය, බඹලොව ඉපද සිටීම ය, ඉඳුරන් බිහිකිරීම ය, ක්ලේශයන්ගෙන් දුරුව සිටීම ය යන මොව්හු ඥානසම්ප්‍රයුක්ත වීමේ හේතු වෙති. අසංඛාර නම් පූර්වප්‍රයෝග රහිත බව ය. හෙවත් අනුන්ගේ නියෝගය නිසාත් නො වැ තමාගේ ම පසුබැසීමෙනුත් නො වැ ස්වභාව තීක්‍ෂණ (=ඉබේ ම තියුණු) වූ සිතින් යුක්ත බව ය. ආවාස සප්පාය සෘතු සප්පාය භොජන සප්පාය ලැබීම, දන්දී පුරුදු බව යනාදිය අසංඛාර වීමේ හේතු යි.

මෙසේ යමෙක් දානවස්තු ප්‍රතිග්‍රාහක සම්පත් ආදිය ලැබීමෙන් තුටුපහටු වූයේ මෙයින් මතු ආනිසංස ලැබේ ය යන සම්‍යග්දෘෂ්ටිය පෙරටුකොටැ ගෙනැ තමා ම උත්සාහවත් වූ සිතින් දානාදී කුශලකර්මයක් කෙරේ ද, එවිට ඔහුට සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත අසංඛාර යන පළමු වන කාමාවචර කුසල චිත්තය ලැබෙන්නේ ය.

2. දෙවන චිත්තයෙහි සෝමනස්ස සහගත බව හා ඤාණසම්පයුත්ත බව කී සේ ම ය. සසංඛාර නම් පූර්වප්‍රයෝග සහිත බව ය. හෙවත් අනුන්ගේ නියෝගයෙන් හෝ තමාගේ ම පසුබැසීමෙන් යුක්ත බව ය. මෙසේ යමෙක් ප්‍රත්‍යය ප්‍රතිග්‍රාහකාදි සම්පත් ලැබීමෙන් කම්පල අදහා ගෙනැ අනුන්ගේ නියෝගයෙන් හෝ තමාගේ ම පසු බැසීමෙන් හෝ දානාදී කුශල කර්මයක් කෙරේ ද එවිට ඔහුට සෝමනස්ස සහගත ඤාණසම්පයුත්ත සසංඛාර යන දෙවන කාමාවචර කුසල චිත්තය ලැබෙන්නේ ය. මෙහි ආවාස සප්පායාදිය නො ලැබීම හා දන් දී නුපුරුදු බව සසංඛාරිකවීමේ හේතු යයි සැලකිය යුතු.

3. තුන්වන චිත්තයෙහි සෝමනස්ස සහගත බව හා අසංඛාරික බව කී සේ ම ය. ඤාණවිප්පයුත්ත නම් යට දැක්වූ ඥානයෙන් විප්‍රයුත්ත බව ය. හෙවත් ඥානය නොයෙදෙන බව ය. ඤාණසම්පයුත්ත වීමට වුවමනා යට කී කරුණු නො ලැබීම ඤාණසම්පයුත්තවීමට හේතු ය. මෙසේ මව්පිය ආදීන්ගේ වැඳුම් පිදුම් ආදී ප්‍රතිපත්ති දැකීමෙන් හටගත් පල පුරුදු කම් ඇති බාල දරුවෙක් භික්‍ෂූන් දැක සතුටින් පිණ පිණා තමා අත තුබූ දෙය වහා දෙයි ද එවිට ඔහුට සෝමනස්ස සහගත ඤාණවිප්පයුත්ත අසංඛාරික යන තුන්වන කුසල චිත්තය ලැබෙන්නේ ය. තමා බාල බැවින් මෙහි ඤාණය නොයෙදුණේ යි.

4. සතරවන චිත්තයෙහි සෝමනස්ස සහගත බව ද ඤාණවිප්පයුත්ත බව ද සසංඛාරික බව ද පෙර කී සේ ම ය. “මෙසේ දෙව” යි මවුපියන් විසින් අණ කරනු ලැබූ බාල දරුවෙක් තමා අත තුබූ දෙය සොම්නසින් දෙයි ද එවිට ඔහුට සෝමනස්ස සහගත ඤාණවිප්පයුත්ත සසංඛාරික යන සතරවන කාමාවචර කුසල චිත්තය ලැබෙන්නේ ය. තමා බාල බැවින් මෙහි ඤාණය නොයෙදුණේ ය. තමාගේ ම කැමැත්තෙන් නො වැ මව්පියන්ගේ නියෝගයෙන් දුන් හෙයින් සසංඛාරික විය.

5. පස්වන චිත්තයෙහි උපෙක්ඛා සහගත නම් සොම්නසුත් නො වැ දොම්නසුත් නො වැ මධ්‍යස්ථ භාවයෙන් යුක්ත බවය. සොම්නස් වන්නට වුවමනා හේතු නො ලැබීම උපේක්‍ෂා සහගත වීමට හේතු වන බව සැලකිය යුතුයි. ඤාණසම්පයුත්ත බව හා අසංඛාරික බව කී සේ ම ය. මෙසේ යමෙක් දාන වස්තු ප්‍රතිග්‍රාහක සම්පත් ආදිය රිසි සේ නො ලැබීම කරණ කොටැගෙනැ උපේක්‍ෂායෙන් යුක්තවැ කම්පල ඇදහීම් සංඛ්‍යාත සම්‍යග්දෘෂ්ටි ඇතිවැ ස්වභාව තීක්‍ෂණ වූ සිතින් ම දානාදී කුශල කර්මයක් කෙරේ ද, එවිට ඔහුට උපෙක්ඛාසහගත ඤාණසම්පයුත්ත අසංඛාරික යන පස්වන කුසල චිත්තය ලැබෙන්නේ ය.

6. සවන චිත්තයෙහි උපෙක්ඛා සහගත බව ද, ඤාණ සම්පයුත්ත බව ද, සසංඛාරික බව ද කී සේ ම ය. මෙසේ යමෙක් උපේක්‍ෂායෙන් යුක්ත වැ කම්පල අදහා ගෙන අනුන්ගේ නියෝගයෙන් හෝ තමාගේ ම පසුබැසීමෙන් දානාදී කුශලකර්මයක් කෙරේ ද, එවිට ඔහුට උපෙක්ඛා සහගත ඤාණසම්පයුත්ත සසංඛාරික යන සවන කුසල චිත්තය ලැබෙන්නේ ය.

7. සත්වන චිත්තයෙහි උපෙක්ඛා සහගත බව ද ඤාණවිප්පයුත්ත බව ද අසංඛාරික බව ද කී සේ ම ය. යට කී පරිදි බාල දරුවෙක් සිනා නැතිව - උපේක්‍ෂාවත් වැ අතතුබූ දෙයක් සිය කැමැත්තෙන්ම භික්‍ෂු ආදීන්ට දෙයි ද එවිට ඔහුට උපෙක්ඛා සහගත ඤාණවිප්පයුත්ත අසංඛාරික යන සත්වන කුසල චිත්තය ලැබෙන්නේ ය. සොම්නස් වන්නට හේතු නැත්තෙන් උපෙක්ඛා සහගත විය. බාල භාවයෙන් ඥාන විප්‍රයුක්ත විය. සිය කැමැත්තෙන් දුන් හෙයින් අසංඛාරික විය.

8. අට වන චිත්තයෙහි දු උපෙක්ඛා සහගත බව ඤාණවිප්පයුත්ත බව, සසංඛාරික බව කී සේ ම ය. යම් බාල දරුවෙක් සිනා නැති වැ උපේක්‍ෂාවත් වැ මව්පියන්ගේ නියෝගයෙන් තමා අත තුබූවක් භික්‍ෂු ආදීන්ට දෙයි ද එවිට ඔහුට උපෙක්ඛා සහගත ඤාණවිප්පයුත්ත සසංඛාරික යන අටවන කුසල චිත්තය ලැබෙන්නේ ය.

ප්‍රශ්න

  1. කාමාවචර කුසල සිත් අට කෙසේ ද?
  2. සොමනස්ස සහගත ඤාණසම්පයුත්ත යනු කිම?
  3. කුසලයක් සසංඛාර අසංඛාර වීමේ හේතු කවරේ ද?
  4. සත් නව කාමාවචර කුසල චිත්තය ලැබෙන පරිදි දක්වනු.
  5. ළදරුවෙක් විහාරයට ගොස් මෑණියන්ගේ නියෝගයෙන් සතුටින් බුදුන් වැන්දේය. ඔහුට ලැබුණු කුසල චිත්තය කුමක් ද?