1. ද්විවිධ දේශනා

1 සම්මුති දේශනා, 2 පරමත්‍ථ දේශනා යයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා දෙ වැදෑරුම් වේ. සම්මුති දේශනා නම් සත්ත්ව, පුද්ගල, ස්ත්‍රී, පුරුෂ, දෙව, බ්‍රහ්ම, වෘක්‍ෂ, පර්වත යනාදී වශයෙන් ලෝක ව්‍යවහාරය නොඉක්මැ ලෝක ව්‍යවහාරයෙහි පිහිටා වදාළ දේශනා ය. පරමත්‍ථ දේශනා නම් ලෝක ව්‍යවහාරය ඉක්මැ ලෝක ව්‍යවහාරයෙහි නොපිහිටා ස්කන්‍ධ, ධාතු ආයතන යනාදී වශයෙන් ඒ ඒ ධර්මයන්ගේ අවිපරිතාර්ථය (-නො පෙරළෙන සුලු අර්ථය) ගෙනැ වදාළ දේශනා ය.

සම්මුති සත්‍ය පරමාර්ථ සත්‍ය, යනුදු මෙයට පරියාය නාම ය: මෙයින් සම්මුති දේශනාව බොහෝ සෙයින් විනය පිටකයෙහි හා සූත්‍ර පිටකයෙහි ඇතුළත් ය. පරමත්‍ථ දේශනාව අභිධර්මපිටකයෙහි ඇතුළත් ය. ලෝක සම්මුතිය හෙයින් සම්මුතිය ද සත්‍ය ය. ධර්මයන්ගේ අවිපරිතාර්ථ හෙයින් පරමාර්ථය ද සත්‍ය ය. සම්බුද්ධයන් වහන්සේ සම්මුති ධර්මය අසා නිවන් අවබෝධ කරන්නවුන්ට එයින් ද, පරමාර්ථ ධර්මය අසා නිවන් අවබෝධ කරන්නවුන්ට එයින් ද ධර්මය වදාරන සේක.

ප්‍රශ්න

  1. බුද්ධ දේශනාව කී වැදෑරුම් ද?
  2. සම්මුති දේශනා, පරමාර්ථ දේශනා යනු කිම?
  3. සම්මුති ව්‍යවහාරය බොරු නො වන්නේ මන්ද?
  4. බුද්ධදාස, සඳුන්, සතිපට්ඨාන, ඉන්‍ද්‍රිය මනුෂ්‍ය යන මොවුන් අතුරෙන් සම්මුති කුමක් ද? පරමාර්ථ, කුමක් ද?
  5. බුදුරජාණන් වහන්සේ කුමක් හෙයින් මේ දෙ ආකාරයෙකින් ධර්මදේශනා කරන සේක් ද?