මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධියට අනතුරු පටිපදා ඤාණදස්සන විසුද්ධියට පැමිණිය යුතු ය. පටිපදාඤාණදස්සවිසුද්ධි නම් උදයබ්බයානුපස්සනා ඤාණ, භඞ්ගානුපස්සනා ඤාණ, භයතුපට්ඨාන ඤාණ මුඤ්චිතුකම්‍යතා ඤාණ, පටිසඞ්කානුපස්සනා ඤාණ, සඞ්කාරුපෙක්ඛාඤාණ, සච්චානුලොමික ඤාණ යන නව විදර්ශනා ඥානයි. උදයව්‍යඥාන භඞ්ග ඥානාදි වශයෙන් යට දැක්වුණේ මේ ය.
උදයබ්බයපස්සනා ඤාණය.
උදයබ්බයපස්සනා ඤාණය නම් උදය හා ව්‍යය බලන නුවණ ය. මේ ආදියෙහි ද ලද්දේ නො වේ ද? එසේ ය. ආදියෙහිද ලද්දේ ය. එහෙත් එය විදර්ශනෝපක්ලේශයන්ගෙන් කිලිටි විය. එ බැවින් යථාවසරසයෙන් ත්‍රිලක්‍ෂණ මෙනෙහි කළ නො හැකි විය. දැන් මේ උපක්ලේශයන්ගෙන් මිදුණු බැවින් මොනවට කළ හැකි ය. එ බැවින් ඒ සඳහා නැවත ද මේ යෝගය යි.
කුමක් මෙනෙහි නො කිරීම නිසා කුමකින් ප්‍රතිච්ඡන්න වීම නිසා ත්‍රිලක්‍ෂණ මනා වැ නො වැටහේ ද? උදයව්‍යය මෙනෙහි නො කිරීම නිසා සන්තතියෙන් ප්‍රතිච්ඡන්න වීම නිසා අනිත්‍ය ලක්‍ෂණය නො වැටහේ නිතර ඇති පීඩා මෙනෙහි නො කිරීම නිසා ඉරියව්වලින් ප්‍රතිච්ඡන්න වීම නිසා දුඃඛ ලක්‍ෂණය නො වැටහේ. නානා ධාතු විනිර්භෝගය මෙනෙහි නො කිරීම නිසා ඝනයෙන්ප්‍රතිච්ඡන්න වීම නිසා අනාත්ම ලක්‍ෂණය නො වැටහේ. දැන් ඒ යෝගී උපක්ලේශයන්ගෙන් මිදුණු වීථිප්‍රතිපන්න විදර්ශනා සංඛ්‍යාත උදයබ්බයපස්සනා ඤාණයෙන් ත්‍රිලක්‍ෂණ මනා වැ මෙනෙහි කරයි.
භඞ්ගානුපස්සනා ඤාණය.
එසේ මෙනෙහි කොටැ නැවත නැවතත් අනිත්‍යය, දුඃඛය, අනාත්මය යි රූපා රූප ධර්ම පිරිසිදුත් ඔහුගේ නුවණ තියුණු වෙයි. සංස්කාර වහ වහා වැටහෙයි. නුවණ තියුණුවත් ම සංස්කාර වහ වහා වැටහෙත් ම ඔහුගේ සිහිය උත්පාද, ස්ථිති, ප්‍රවෘත්ති නිමිත්තයෙහි නො සිටැ ක්‍ෂය ව්‍යය භේද නිරෝධයෙහි ම සිටින්නේ ය. එසේ භඞ්ගය දක්නා නුවණ භඞ්ගානුපස්සනා ඤාණය යි. හෙතෙම උපන් රූපාදීන්ගේ භඞ්ගය දැකැ ඒ රූපාදිය අරමුණු කොටැ උපන් චිත්තයන්ගේ ද භඞ්ගය දක්නේ ය. මහවැසි වස්නා කලැ ගංතෙරක හෝ පොකුණු තෙරෙක හෝ සිටැ බලන්නෙුකට දිය බුබුළු නැග වහ වහා බිඳි බිඳී යනු පෙනෙයි. එමෙන් හෙතෙම සංස්කාරයන්ගේ භඞ්ගාවස්ථාව ම දක්නේ ය.
භයතුපට්ඨාන ඤාණය.
එසේ භඞ්ගානුපස්සනා ඤාණයෙන් සියලු සංස්කාරයන්ගේ භඞ්ගය දකුත් දකුත් ඔහුට සංස්කාර සුවසේ ජීවත්වනු කැමැත්තකු හට සිංහ ව්‍යාග්‍ර කොටි වලස් යක්‍ෂ රාක්‍ෂසයන් මෙන් භය ජනක වැ වැටහෙන්නේ ය. ‘අතීත සංස්කාර බිඳී ගියේ ය. වර්තමාන සංස්කාර මේ බිඳෙයි. අනාගත සංස්කාර ද මෙසේ ම බිඳී යන්නේ ය යි ඔහුට වැටහෙයි. පුතුන් තුන් දෙනෙකුන් ඇති ස්ත්‍රියකි. රජ පුතුන්ගේ ඉස් ගසා දමන්නට අණ කෙළේය. වධකයෝ ඇය බලා හින්ද දී ම එක් පුත්‍රයකුගේ හිස සින්දේ ය. දෙවැන්නා ගේ හිස මේ සිඳියි. ඕ තුන්වැන්නා කෙරෙහි දු අපේක්‍ෂාව හැරැ පියන්නී ය. ඒකාන්තයෙන් හිස සිඳින බැවිනි. මේ යෝගී ද අතීත සංස්කාර බිඳී ගියා දැකැ වර්තමාන සංස්කාර බිඳෙනු දැකැ අනාගත සංස්කාර කෙරෙහි ද බිඳෙති යි තීරණය කරන්නේ ය. මේ භයතුපට්ඨානය බිය වීමෙක් ම නො වේ. තීරණයෙකි. ගිනි වළක් දුටු නුවණැතියකු හට බිය මෙන් උපදින්නේ බිය ම නොවේ. මෙහි වැටී මිනිස්සු මැරෙති යි තීරණයෙකි. මේ ත් එබඳු ය යි දත යුතු.
ආදීනවානුපස්සනා ඤාණය.
මෙසේ භයතුපට්ඨාන ඤාණයෙන් සංස්කාර බිය වශයෙන් දකුත් දකුත් ඔහුට භව ගතියෙහි සත්ත්‍වාවාස සංඛ්‍යාත කිසි තැනෙක්හි තානයෙක් ලෙණයෙක් ප්‍රතිෂ්ඨාවක් ඇතැයි නො සිතෙන්නේ ය. කිසි තැනෙක කිසි සංස්කාරයෙක ප්‍රාර්ථනාවෙක් පරාමාසයෙක් නො වන්නේ ය. භවත්‍රය කකියන අඟුරු පිරුණ ගිනි වළක් මෙන් ද, සතර මහා භූත විෂඝොර සර්පයන් මෙන් ද පඤ්චස්කන්‍ධ කඩු අමෝරා ගත් වධකයන් මෙන් ද, ආධ්‍යාත්මික ආයතන ශූන්‍ය ගම් මෙන් ද, බාහිරායතන ගම් පහරන සොරුන් මෙන් ද, සප්ත විඥානස්ථිති හෝ නව සත්ත්‍වාවාස එකොළොස් ගින්නෙන් ඇවිල ගත්තාක් මෙන් ද, සියලු සංස්කාර ගඩ මෙන් රෝග මෙන් හුල් මෙන් ද නිරස වැ නීරස්වාද වැ මහා ආදීනව රාශියක් වැ වැටහෙන්නේ ය. සුවසේ ජීවත් වන කැමැති පුරුෂයකු වනයකට වන් කල ඔහුට වනය චණ්ඩ සතුන් සහිත මෙන්ද ගුහා කොටි වලස් සහිත මෙන් ද, ජලස්ථාන දිය රකුසන් ඇති තැන් මෙන් ද වැටහෙන්නේ ය. හේ බිය පත් වැ ඒ වනයෙහි ආදීනව ම දක්නේ ය. මේ යෝගී ද එසේ භය වශයෙන් දුටු සංස්කාරයන් කෙරෙහි ආදීනව දක්නේ ය. එසේ ආදීනව දක්නා නුවණ ආදීනවානුපස්සනා ඤාණය යි.
නිබ්බිදානුපස්සනා ඤාණය.
ආදීනව දුටු ඒ සංස්කාරයන් කෙරෙහි ගවර වළෙහි ස්වර්ණ රාජ හංසයා සේ මේ යෝගී නො ඇලෙන්නේ ය. කලකිරෙන්නේ ය. එසේ නො ඇලීම් වශයෙන් කලකිරීම් වශයෙන් උපදනා නුවණ නිබ්බිදානුපස්සනා ඤාණය යි. නිබ්බිදා නම් උකටලු බව ය. කලකිරුම් බව ය. හේ සංස්කාරයන් කෙරෙහි කලකිරෙමින් ම ශාන්ති පදයෙහි ඇලෙන්නේ ය. ඒ රාජ හංසයා චිත්‍රකූට පර්වතයෙහි මෙනි.
යට දැක්වුණ භයතුපට්ඨාන ඥානය ද, ආදීනවානුපස්සනා ඤාණය ද මේ නිබ්බිදානුපස්සනා ඤාණය ද යන ඥානත්‍රය බ්‍යඤ්ජන වශයෙන් වෙනස් වුව ද අර්ථ වශයෙන් එකෙක් ම යයි කියා තිබේ.
මුඤ්චිතුකම්‍යතා ඤාණය.
එසේ කලකිරුණු ඒ යෝගී දැලෙහි බැඳුණු මත්ස්‍යයා ඒ දැලින් මෙන් ද ප්‍රඥාමුඛයට අසුවුණ මැඩියා ඒ සර්ප මුඛයෙන් මෙන් ද ඒ සියලු සංස්කාරයන් කෙරෙහි මිදෙනු කැමැති වන්නේ ය. එසේ මිදෙනු කැමැති වීම් වශයෙන් උපදනා ඥානය මුඤ්චිතුකම්‍යතා ඥානය යි.
පටිසංඛානුපස්සනා ඤාණය.
එසේ මිදෙනු කැමැති වූ හෙතෙම මිදීමෙහි උපාය සෙවීම් වශයෙන් නැවත ඒ සංස්කාරයන් තිලකුණට නඟා මෙනෙහි කරන්නේ ය. සියලු සංස්කාර අනිත්‍යාන්තික හෙයින් තාවකාලික හෙයින් උත්පාද ව්‍යය පරිච්ඡින්න හෙයින් පලොක හෙයින් චල හෙයින් පභඞ්ගු හෙයින් අද්ධුව හෙයින් විපරිනාම ධර්ම හෙයින් අසාර හෙයින් විභව හෙයින් සංඛත හෙයින් මරණ ධර්ම හෙයින් අනිත්‍ය යයිද නිතර පීඩාකාර හෙයින් දුඃක්‍ෂම හෙයින් දුඃඛ වස්තු හෙයින් රෝග හෙයින් ගණ්ඩ හෙයින් සල්ල හෙයින් අඝ හෙයින් ජාති ධර්මාදි හෙයින් දුඃඛය යි ද අමිහිරි දුර්ගන්ධ පිළිකුල් ආදී හෙයින් අශුභය යි ද, හිස් හෙයින් ශූන්‍ය හෙයින් අස්වාමිකාදී හෙයින් අනාත්ම ය යි ද සලකන්නේ ය. එසේ සැලකීම් වශයෙන් උපදනා නුවණ පටිසංඛානුපස්සනා ඤාණය යි. මේ වනාහි මසුන් අල්ලන්නට ගිය මිනිසා කෙමන අටවා එහි සතකු අසු වූ බව දැන මසු ගන්මි යි අත පොවා ඔසවා බලා සොවැති දැකැ මසු ය යි ගත්තේ නයෙකැ යි දැනැ බිය වැ උගෙන් වන ආදීනව සලකා මිදෙනු කැමැති වැ ඉක්මන් නො වැ මිදීමෙහි උපාය සොයන්නාක් වැනි ය. හේ හීන් සීරුවේ නගුට අතින් ගෙනැ වෙලුම ලිහා අත ඔසවා තුන් යළක් හිස වට කරකවා “යා දුෂ්ට සර්පයැ”යි හඬ ගා වීසි කොටැ විල් ඉවුරට නැඟී ‘නපුරු සර්පයකුගෙන් මිදුනෙමි’යි ආ මග බලන්නේ ය.
සංඛාරුපෙක්ඛා ඤාණය.
පටිසංඛානුපස්සනා ඤාණයෙන් යළි තිලකුණට නඟා මෙනෙහි කරනු ලබන ඒ සංස්කාරයන් කෙරෙහි බයක් හෝ ආලයක් හෝ නො කොටැ එහි උදාසීන වීම් වශයෙන් උපදනා නුවණ සංස්කාරුපෙක්ඛා ඤාණය යි. ඒ සංස්කාර කෙරෙහි උදාසීන වන්නේ එහි ශූන්‍යත්‍වය මෙනෙහි කිරීමෙනි. ශූන්‍යත්‍වය මෙනෙහි කිරීම ද දෙයාකාරයෙකින් ද සතර ආකාරයෙකින් ද ස ආකාරයෙකින් ද අට ආකාරයෙකින් ද දස ආකාරයකින් ද දොළොස් ආකාරයකින් ද දෙසාළිස් ආකාරයකින් ද කළ යුතු ය. එසේ ශූන්‍ය වශයෙන් සලකා තිලකුණට නඟා මෙනෙහි කරන්නේ සංස්කාර කෙරෙහි මධ්‍යස්ථ වන්නේ ය. පණට මෙන් ප්‍රේම කළ භාර්යාව කෙරෙහි පසුවැ මධ්‍යස්ථ වන පුරුෂයා මෙනි. එක් පුරුෂයකුට භාර්යාවක් ඇත්තී ය. හේ ඇයට මහත් සේ ප්‍රේම කරයි. ඇය අන් පුරුෂයකු දෙස බැලීම හෝ ඔහුට වේදනා උපදව යි. එහෙත් ඕ පර පුරුෂයන් ම පතන්නී ය. පුරුෂයා ඇය කෙරෙහි කෝප වැ ඇය භාර්යත්‍වයෙන් බැහැර කෙළේ ය. ඉන් පසු ඇය රඟමඩලෙහි නටනු දුට ද ඔහුගේ සිත ඇය කෙරෙහි මධ්‍යස්ථ ය. විකෘති නැත. මේ ත් එබඳුය යි දත යුතු.
එසේ සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ථ වූ ඔහුගේ සිත මදක් නැමුණු පියුම් පතෙක ජලය මෙන් භව යෝනි ගති ආදියෙහි නො ඇලෙයි. ගින්නෙහි කුකුළු පියාපත මෙන් හැකිලෙයි. එවිට ඔහුට සංඛාරුපෙක්ඛා ඤාණය උපන්නේ නම් වේ. ත්‍රිවිධානුපස්සනා ත්‍රිවිධ විමොක්‍ෂමුඛ සප්ත ආර්ය පුද්ගල විභාගය වන්නේ මෙහිදී ය.
යට දැක්වුණු මුඤ්චිතුකම්‍යතා ඤාණය ද පටිසංඛානුපස්සනා ඤාණය ද, මේ සංඛාරුපෙක්ඛා ඤාණය ද අර්ථ වශයෙන් එකෙක් ම ය යි කියා තිබේ. ආදියෙහි මුඤ්චිතුකම්‍යතා ඤාණ මධ්‍යයෙහි පටිසංඛානුපස්සනා ඤාණ, අන්තයෙහි සංඛාරුපෙක්ඛාඤාණ වශයෙනි.
මේ සංඛාරුපෙක්ඛා ඤාණයෙන් යුත් යෝගිහුගේ විදර්ශනා ශිඛා ප්‍රාප්ත ය. උට්ඨානගාමි ය. එහෙයින් මෙයට ශිඛා ප්‍රාප්ත විදර්ශන උට්ඨානගාමි විපස්සනා යන නම් කියනු ලැබේ. ශිඛා ප්‍රාප්ත නම් උතුම් බවට පැමිණි. වුට්ඨාන ගාමි නම් මාර්ගය කරා යන වුට්ඨාන යන්නෙන් මෙහි සෝවාන් ආදී මාර්ග කියනු ලැබේ. බාහිර නිමිති වලින් ද අධ්‍යාත්මික පැවතුම් වලින් ද නැගී සිටින බැවිනි.
සච්චානුලොමික ඤාණය.
මේ සංඛාරුපෙක්ඛා ඤාණය වඩ වඩාත් ඒ යෝගීහට බලවත්තර ශ්‍රද්ධාධිමෝක්‍ෂයෙක් වේ. ඔහුගේ වීර්ය සූපගෘහිත වේ. ස්මෘතිය ද සූපස්ථිත වේ. චිත්තය සුසමාහිත වේ. සංඛාරුපෙක්ඛාව තීක්‍ෂණතර වේ. ඔහුට ඇසිල්ලෙකින් මාර්ග සිත උපදින්නේ ය යි කියයුතු අවස්ථාවට පැමිණේ. හේ ඒ සංඛාරුපෙක්ඛා සංස්කාරම අනිත්‍යය දුඃඛය අනාත්ම ය යි සම්මර්ශනය කරයි. ඔහුගේ සිත වෙන් වැ නම් කිවද මේ සිත් තුනට ම ආසෙවනය යි ද පරිකර්ම ය යි ද උපචාරය යි ද අනුලෝමය යි ද කිය යුතු ය. සච්චානුලොමික ඤාණය යනු මේ යි. කුමක් හෙයින් මෙයට ඒ නම කියත් ද? යට විපස්සනා ඥානාදී ඥාන අටට ද මතු සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන්ට ද අනුලොම් වන බැවිනි. රජෙක් විනිශ්චයකාරයකුගේ විනිශ්චයට සතුටු වන්නේ ඒ විනිශ්චයට ද පුරාණ රාජධර්මයට ද සතුටු වන්නේ ය. මේ ඤාණය රජු මෙනි. යට අෂ්ටඥාන විනිශ්චයකාර මෙනි. සත්සිත් බෝධිපාක්‍ෂික ධර්ම පුරාණ රාජ ධර්මය මෙනි.
මෙසේ උදයබ්බය ඤාණයෙහි පටන් මේ අනුලෝම ඤාණය දක්වා ඇති ඤාණ පරම්පරාව පටිපදාඤාණ දස්සන විසුද්ධිය යි දත යුතු.
ප්‍රශ්න.
- පටිපදාඤාණදස්සන විසුද්ධි යනු කිම?
- පටිපදාඤාණදස්සන විසුද්ධියෙහි ඇතුළත් ඤාණ දක්වා එය සංක්‍ෂිප්ත කොටැ ද දක්වනු.
- උදයව්‍යය ඤාණ, භඞ්ගඤාණ විස්තර කරනු.
- භය ඤාණ, ආදීනව ඤාණ, නිබ්බිදා ඤාණ පැහැදිලි කරනු.
- මුඤ්චිතුකම්‍යතාඤාණ, පටිසංඛාඤාණ, සංඛාරුපෙක්ඛා ඤාණ හඳුන්වා දෙන්න. අනුලෝම ඤාණය ද පැහැදිලි කරනු.