පෙරවදන

දහම් පාසල් විභාග පැවැත්වීම පෙරසේම කරගෙන යාමට කොළඹ තරුණ බෞද්ධ සංගමයට 1978 මාර්තු මස 03 වැනි දින රජය මගින් නැවත පවරන ලදී. ඉකුත් තුන් වසර තුළ දහම් පාසල් අධ්‍යාපනය විධිමත් කොට, එක් එක් ශ්‍රේණියට අවශ්‍ය සියලු පාඩම් සඳහා එක් එක් පොත බැගින් පළකරවන ලදි. එබැවින් දැනට මූලික ශ්‍රේණියේ සිට 9 වැනි ශ්‍රේණිය ඇතුළුව පන්ති පාඩම් පොත් 9 ක් දහම් පාසල්වලට භාවිත වේ.

එහෙත් දම් පාසල් ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ට අභිධර්මය සරල බසින් ඉගැන්වීමට සුදුසු පොතක් නැතිවීම බලවත් පාඩුවක් ලෙස බොහෝ දෙනා අපට නොයෙක්වර පැමිණිලි කර ඇත. අපරදිග ජනතාව පවා මනෝවිද්‍යාව කෙරෙහි විශාල උනන්දුවක් දවන මේ යුගයේ අභිධර්මය ඉගෙන ගැනීමෙන් සිත පිළිබඳව මනා අවබෝධයක් ලබාගෙන ජීවිතය නියමාකාරයෙන් හැඩගස්වා ගැනීමට හැකිවන බව නොඅනුමානයි.

එදිනෙදා ජීවිතයේදී සෑම කෙනෙකුටම විවිධ ප්‍රශ්න හා ගැටළුවලට මුහුණ පෑමට සිදුවේ. මේවා පිළිබඳව නියමාකාර හැඟීමක් තිබේනම් අවාසනාවන්ත දුක්ඛදායක සිදුවීම්වලින් මිදී ගැටළු නිරාකරණය කර ගැනීමට පහසුවෙනවා ඇත.

ගැඹුරු ධර්මයක් වන අභිධර්මය පාසල් සිසුනට ප්‍රගුණ කරවීමට මේ පොතේ ඇති පාඩම් බෙහෙවින් උපකාර වේයයි සිතමි.

අභිධර්මය හැදෑරීම සම්බන්ධයෙන් උගතුන් වැඩි දෙනෙකුගේ පිළිගැනීම පූජ්‍ය පණ්ඩිත මාතර ශ්‍රී ධර්මවංශ නාහිමියන්ගේ කාණ්ඩ නවයකින් යුක්ත පොත් පෙළ දහම් පාසල් සඳහා සුදුසු බවයි. එබැවින් ඒ පොත් පෙළේ පළමුවන කාණ්ඩය වන මේ පොත පළ කිරීමට අප විසින් තීරණය කරන ලදි.

පූජ්‍ය වලස්ගල පුණ්ණජි මයුරවංශ ස්වාමීන් වහන්සේ මේ පොත් පෙළ පළකිරීමට බලය අප වෙත පැවරීමෙන් කරන ලද අනුග්‍රහය ගැන උන්වහන්සේට අපගේ ගෞරවාදර ස්තුතිය පුදකරමි.

තවද මෙම ග්‍රන්ථය මුද්‍රණය කිරීමට මා දිරි ගැන්වූ අප සංගමයේ ගරු සභාපති තැන්පත් රාජනීතිඥ සිරි පෙරේරා මැතිතුමාටත් මගේ කෘතඥතා පූර්වක ගෞරවය හා ස්තුතිය පුදකරමි.

මෙයට ශාසනස්ථිතිකාමී,

ඩී.සී. ශ්‍රී දිල්ලිමුනි

ධර්ම පරීක්‍ෂණ පිළිබඳ ගරු ලේකම්.

තරුණ බෞද්ධ සංගමය,

කොළඹ 08.

07. 03. 81.